ඒකපාර්ශ්විකව නඩුව කැඳවා නියෝග ලබා ගැනීම වැරදි පූර්වාදර්ශයක් – ජනාධිපති නීතිඥ සාලිය පීරිස්

නීතිපතිවරයා යනු විශේෂ වරප්‍රසාද සහිත පුද්ගලයකු නොවන බවත්, පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට එරෙහි පෞද්ගලික නඩුවේ නීතිපතිවරයා පාර්ශ්වකරුවකු නොවී තිබියදී ඊයේ මෝසමක් මගින් ඒකපාර්ශ්විකව නඩුව කැඳවා නියෝග ලබා ගැනීම බරපතළ වැරදි පූර්වාදර්ශයක් බවත් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා අද කොටුව මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතාට දැනුම් දුන්නේය.

ජනාධිපති නීතිඥවරයා මේ බව දැනුම් දුන්නේ ජනමාධ්‍යවේදියකු වන තරිඳු ජයවර්ධන ගොනු කළ පුද්ගලික නඩුවක් මෝසමක් මගින් අද කොටුව මහේස්ත්‍රාත් අධිකරණයේදී කැඳ වූ අවස්ථාවේදී ය. සහකාර පොලිස් අධිකාරී නලීන් දිල්රුක් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස් චූදිතයන් ලෙස නම් කරමින් මෙම නඩුව ගොනු කර තිබේ.

මෙම නඩුව මෝසමක් මගින් කැඳවීමට අවශ්‍යව තිබුණේ නම් නීතිපතිවරයා පැමිණිලිකරු හෝ පැමිණිලිකරුගේ නීතිඥවරයා දැනුම්වත් කළ යුතුව තිබූ බවත්, එලෙස දැනුම්වත් නොකළ බව මහේස්ත්‍රාත්වරයාට සඟවමින් නීතිපතිවරයා වෙනුවෙන් ඔහුගේ නියෝජිත ජේෂ්ඨ රජයේ නීතිඥ සමින්ද වික්‍රම මහතා කරුණු දක්වා ඇති බවත් ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළේය .

මෙම නඩුව මෝසමක් මගින් ඊයේ කැඳවා ඇති බව සහ එහිදී එහිදී නීතිපතිවරයා විසින් පැමිණිලිකරුගේ පාර්ශ්වය ව්‍යාජ කරුණු අධිකරණයට ඉදිරිපත් කර ඇති බව ප්‍රකාශ කළ බවට ජනමාධ්‍යවලින් දැනගත් බවත් පැමිණිලිකරු හෝ පැමිණිලිකරුගේ නීතිඥවරයා කිසිම ව්‍යාජ කරුණක් ඉදිරිපත් කර හෝ අධිකරණය නොමග යැවීමක් සිදු කර නැති බවත් ජනාධිපති නීතිඥවරයා කීවේය.

නීතිපති දෙපාර්තමේන්තුව දැක්වූ කරුණු ජනමාධ්‍ය වල පළ වී තිබූ බවත් එහිදී නීතිපතිවරයා පොලිස් ආඥා පනතේ 88 වගන්තිය සහ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 97 වගන්තිය මෙම නඩුවට අදාල කළද, එම දෙකම මේ නඩුවට අදාල නැති බවත් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා ප්‍රකාශ කළේය.

මෙම නඩුව පැමිණිලි පාර්ශ්වය නැතිව කිසිම අවස්ථාවක කැඳවීමට අවස්ථාව නොදෙන ලෙස ද ඔහු ඉල්ලා සිටියේය.

අයුතු අවහිරය කරමින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ සහ ජාතික මංමාවත් පනත යටතේ සහකාර පොලිස් අධිකාරී නලීන් දිල්රුක් සහ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොෂාන් ඩයස් චූදිතයන් කරමින් ජනමාධ්‍යවේදී තරිඳු ජයවර්ධන විසින් මෙම ⁣පුද්ගලික නඩුව පවරා තිබේ.

මෙම නඩුවට අදාලව පොලිස් නීති කොට්ඨාසය මැදිහත්වී ඇතැයි ද අධිකරණයේදී කියැවුණු අතර සාලිය පීරිස් මහතා ප්‍රකාශ කළේ පොලිස් නීති කොට්ඨාසය ද මෙම නඩුවේ පාර්ශ්වයක් නොවන බවයි. නීතිපති ඒකපාර්ශවිකව කරුණු දක්වමින් නියෝග ලබා ගත්තද, තමන් එසේ නොකරන බවත් නොවැම්බර් 8 වැනිදා නඩුව කැඳවන අවස්ථාවේදී කරුණු දැක්වීම් කර ඉල්ලීම් ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වන බවත් සාලිය පීරිස් මහතා කීවේය.

පැමිණිල්ල වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස්, නීතිඥ තනුක මාධව නන්දසිරි, මනුජය ද සිල්වා, ජයන්ත දෙහිඅත්තගේ, මිගාර ඩොස් ඇතුළු නීතිඥවරු 15 දෙනෙක් පමණ පෙනී සිටියහ.

උපුටාගැනීම : තරිඳු ජයවර්ධන

Social Sharing
නවතම පුවත්