සඳ බිඳුන ‍ගොවිඳු හෙල- චමිලා මැණික්ගමගේ

පෙමක් යනු කවරක්ද? ආත්මීය කැපකිරීමක්ද, සුන්දරම විඳුමක්ද, මානව බැඳුම්හී අසිරිමත් කලාපයක්ද, මේ සියල්ල අතරේ චමිලා මැණික්ගමගේ කිවිඳිය පවසන්නී ඒ ඇබ්බැහියක් බවයි. ඇය තම කාව්‍ය කෘතිය අරඹන්නේ පෙම්වත් මිනිසකුට ඇබ්බැහි වුනෙමි යනුවෙක් කවියක් ඉදිරිපත් කරමිනි. ඇගේ කවිය යනු පෙමක ඇති අසිරිය මෙන්ම ඉන් ජනිතවන සියුම් වේදනාවන්ගේද එකතුවකි. ඒ පෙම අතහැරිය නොහැකිය, අත්පත් කරගන්නටද නොහැකිය. වෙනකක් තබා අසලම දකින්නට තිබුණද එය අහිමි පෙමක්මය. එහෙත් පෙම අහිමි වූ පමණින් පෙම් කරෙුමට තහනම් නියෝග පනවන්නට හැකි කාටද? එහෙයින්ම පෙම අහිමි වූ අය පෙරලා තමන්ට පෙම නොලැබුණද මනසින් දිගටම ඒ පෙමෙහි අසිරිය විඳියි. වේදනාවක්ද සමගම. මේ බුද්ධියට හසුනොවන එහෙමපිටින්ම හැඟීම් කලාපයන්ටම පැවරුණකි. චමිලා මේ චිත්ත ස්වභාවය මනාව කවියට නගන්නීය.

මේ ආදරය ගැන ඇය විසින් ලියනු ලබනා කවි ගණනාවක්ම කෘතියෙහි අන්තර්ගතය. එනමුදු ඒ කවි කියවන විට ඒකාකාරී බවක් හෝ වෙහෙසක් පාඨකයාට නොදැනෙන සේ ඇය කවි රචනා කරයි. මේ කවියෙහි වැඩ කර පුරුදු නිර්මාණකරුවකුගේ සමත්කමකි. මේ ඇය මේ අත්දැකීමම වෙනත් තානයකින් අල්ලන අයුරයි.

බොහොම ඈතක පපුව මැද්දේ
ඇනුණ කටුවක් තියෙනවා
අඬන හිනැහෙන විටදි තාමත්
වරින් වර එය රිදෙනවා

ඇය තම කවියෙහි භාවිතා කරනා කාව්‍යාත්මක යෙදුම් ඇගේ කවියෙහි අලංකාරය වැඩි කරයි. ඇය රහස් සැඟවූ අහසක් නම් කවියෙහි සොබා දහමෙහි රටාවන් ඇසුරින් ජීවිතව සිත්තම් කරන්නේ කියවන්නා තුළ සියුම් හැඟුම් දනවන අයුරිනි.

මල් වඩාගත් ගස්
උකුලට අරන් තුරු පත්
හෙමින් ගයනවා ඇති
සුළං සරින් ගීතයක්

නිර්මාණකාරියගේ පරිකල්පන හැකියාව කවියෙහි සාර්ථකභාවයට පිටිවහලක් ලැබෙන්නේ ඇය සොබා දමහ මෙන්ම ජීවිතයද විනිවිදින්නට විවර කරනා කවුළුව තුළිනි.

මිනිස් පැවැත්මෙහි අනිවාර්ය සාධකයක් සේ සලකනු ලබන දරුවන් නොමැති විට අප වන් සමාජයකට එය දරා ගැනීම බෙහෙවින් අසීරුය. බොහෝ විට එහි පාපය පැටවෙනුයේ කාන්තාවටමය. වඳ ගැහැණිය යන්න අප සමාජයෙහි තවමත් සලකනු ලබන්නේ සාපයක් මෙනි. ඇයට බොහෝ ස්ථාන වල හිමිවනුයේ මුල්ලකි. අනෙක් අතින් තමන් දරුවන් හදන්නේ නැතැයි තීරණය කරනා පවුලක් වුව අප සමාජයට පිටස්තරයන් පරිදිමය. චමිලා කිරි සිහින සිහිනයක යන කවියෙහි සාකච්ඡාවට ගන්නේ මේ කරුණය.

බඩගගා තුරු මුදුන සොයා ගිය සමන් වැල
කොළ හැලී වියපත්ව කඩදාසි මල් පඳුර
වැල් කැඩුන ඔංචිල්ලෙ පෙඳ පාසි වැළඳගෙන
වක්කඩේ ඔබ ඔබා හැංගුවද හකුරු මුල

ඇය විටෙක සම්මතය පසෙක දා අසම්මතය යයි පොදුවේ සලකනු ලබනා කුටුම්භයෙක් දුක් තැවුල් මැද හදිසියේ මතුවන සතුටු නිමේෂයන් ගැන කතා කරයි. ජීවිය යනු නියම පිලිවෙලට තිබෙන්නක් නොව බොහෝ වෙනස් මානයන් ඇති පැවැත්මක් බව ඇය අපට කියන්නී එකට ගෙවනා ජීවිතය තුළ අනේක විධ කරදර මැද ජීවිතයම හමුවන නිමේෂයන් ගැන සියුම් උපහාසයක්ද මතු කරමිනි.

ඉඳහිට කඳුලකින් මත්වුන
රතු බිලක් ආවාම කළුවර
ඉටි පෙරෙන ආලෝක වැදැල්ලක
ඒ තමයි මධු සාද රාත්‍රිය
චමිලා තහවුරුව ඇති මතයන් සිය කවියෙන් වෙනස් ආකාරයකින් විමසන්නටද උත්සාහ දරනා අවස්ථා මෙහි දැකිය හැකිය. ලියා ඇති සාහිත්‍යය අනුව යශෝදරා යනු සියල්ලඉවසා දරාගෙන සිටි කුල කතකි. ඇය ගැන ලයූ බොහෝ අයද පිරිමිය. එහෙත් චමිලා යශෝදරා දෙස වෙනත් කෝණයකින් බලයි. ඒ යශෝදරා සාහිත්‍යෙයන්ම වසන ලද කත නොව වෙනත් ජීවියෙකි. ඇය අපට වඩා සමීපය. ඇය සිය කවිය හමාර කරන්නේ මෙවන් තැනකිනි.

නුඹ බුදුවූ පසුව
අවලාද නොඅසන්න
ජාතක පොතේ ලියන්නාට
බොරු ගොතා කී
යශෝදරා වෙමිය මම

කැටන්දොළ බණ්ඩා සහ කඩියා යන කවෙහිදී අපට සිහිපත් වනුයේ විමලරත්න කුමාරගම කවියා ගේ කාව්‍ය මාර්ගයයි. චමිලා අතීත මතකයක් හරහා ගැමියෙකුගේ ජීවන පුවත දිගහරින්නීය. එහි ඇත්තේ කතන්දරයකි. එහෙත් ඒ කතාව හරහා ඔහු මිනිසා සහ සත්වයා අතර ඇති දීර්ඝකාලීන සම්බන්ධයෙහි සංවේදී තැන්ද මතු කර දක්වයි.

ගසින් වැටුන බණ්ඩාගේ මලගමින් පසුව කඩියාගේ ජීවිතය ගෙවෙන ආකාරය ඇය අපට දක්වන්නේ මේ අයුරිනි.

එදා පටන් කවියා වලිගය නොවනයි
බත් කට ලැබෙන පැලකට මුර වැඩ සපයයි
දාවල ගෙවෙන්නේ බණ්ඩගෙ පැල අසලයි
කඩියා දකින මගේ ඇහැ නිතරම නළියයි

තම කවිය හරහා නොයෙක් ඉසවු ස්පර්ශ කළද චමිලාට පෙමෙහි ආකර්ශණයෙන් මිදෙන්නට නොහැකි සෙයකි. මේ ඇගේ කෘතියෙහි අවසන් කවියයි.

ඔබේ එක
වදනකින්
ඇද වැටෙමි

නෙතේ එක බැල්මකින්
යළි පිපෙමි

– චූලානන්ද සමරනායක –
උපුටාගැනීම : ෆේස්බුක්

Social Sharing
අවකාශය නවතම