ලේ විකුණා ජීවත් වීම..!

චීනයේ සංස්කෘතික විප්ලව අවධිය පසුබිමේ තබා යූ හුවා ලියා චූලානන්ද සමරනායක පරිවර්තනය කරන ලදුව පළ වූ ‘රුහිරු විකුණා යැපුණු මිනිසෙක්’, පශ්චාත් විප්ලවීය චීනයේ ඛේදාන්තය නියෝජනය කරන්නකි. මානුෂීයතා නොසිතා නොබලා සටන් පාඨ හෝ න්‍යායන් මත විප්ලව ගොඩනගන්නටත් ක්‍රියාත්මක කරන්නටත් යාමේදී එයින් තැලෙන අහිමිවන මනුෂ්‍ය ජීවිත සම්බන්ධයෙනුත්, එයින් වාසිගන්නා දුර්දාන්ත පාලකයනුත්, ‘දෙවරක් පීඩිත’ කතුනුත් සහිත මෙම කෘතිය, රාජ්‍යය විචාරන්නන් පෙනීසිටින්නේ මහජනතාව වෙනුවෙන් නොවන බව යලි යලි සපථ කරවයි. ඒ අතින්, මෙහි ස්වභාවය ‘ෆොන්ටමාරා’වට දෙවනි නොවේ.

යූ හුවාගේ කෘතියේ එන ක්සූ සන්ගුවාන් ඇතුළු පවුල සේ ම, දුක්ඛිත බවට පත් තවත් චීන ලේඛකයෙකි බා ජිං. සංස්කෘතික විප්ලවය සමයේදී ඔහුව රැකියාවෙන් දොට්ට දමන ලදී. ඔහු ලියූ දෑ නිරර්ථකව දෝෂදර්ශනයට ලක් කරන ලදී. විප්ලවයට අනුමැතිය නොදක්වන සියල්ලන්ටම කළ පරිද්දෙන් යළි නොලිවිය යුතු බව පවසා, මඩ පෝස්ටර වීදි දිගේ අලවා තබන ලදී. (බාජිංගේ ‘පවුල’ නවකතාවෙන් ඔහු බැට දෙන සැටිත් බැටෙහි ගිලී වැටෙන මිනිස්කම්වල සැටිත් බලන්න)

‘රුහිරු විකුණා යැපුණු මිනිසෙක්’ කෘතියේ එන්නේ, විකුණන්නට යමක් නැති හෙයින් සහ නම්බුවක් යැයි එරට සැලකුණු හෙයින් ලේ විකුණා ජීවත්වූ මිනිසෙකු ගැන කතාන්දරයකි. නොනවත්වා මාසගණන් ලේ දීමෙන් මිය ගිය මිනිසුන්, රෝගී වූ ගම්මාන පවා තිබියදී ජීවිතේ අනතුරේ හෙළමින් ලේ විකුණන මට්ටමට ජන ජීවිත පත්කිරීමෙන් පමණක් එවක විසූ පාලකයෝ නොසෑහෙත්. ක්සූන්සන්ගුවාන්ගේ බිරිඳ ක්සූයූලාන් කිසිදු වරදක් නොකරම, හිස බූ ගා නගරය මැද වරදක් කළ අයෙකු විලසින් දවසම හිටවයි. එපමණකුත් නොවේ, ඈ දවස අවසානයේ නිවසට ආ විට නිවසේ සිටි අය විසින් ඇයට දොස් කිව යුතු වේ. චීනයේ එවක නීතිය එයයි. සාගත සමයේදී සිය දරුවන්ට කන්නට දෙයක් දෙන්නට අතමිට නොමැති නිසා, විවිධ රසවත් කෑම වර්ග හදන හැටි කියා ඔවුන්ට කෙල ගිලින්නට සලස්වා එයින් තෘප්ත කරවීමට ක්සූ සන්ගුවාන්ට සිදුවේ. යූ හුවා දුක් විඳීමේ අන්ත උපරිමයට අපව ගෙනයන්නේ, ඇඟට පතට නොදැනෙන ස්වරයකිනි.

මාස කිහිපයකට උඩ දී “community kitchen’ නම් සංකල්පය අරගලය තේමා කරගෙන මෙරට ක්‍රියාත්මක වූයේය. ප්‍රධාන නගර කිහිපයකම බලගැන්වුණු මෙයින් ආහාර අවශ්‍යතාව සපුරාලීමට නොහැකි මිනිසුන්ගේ සුබසිද්ධිය පොදුවේ ඉලක්ක කර ගැනිණි. අරමුණ අතින් මීට වෙනස්  වුවත්, ක්‍රියාත්මක වන ආකාරය අතින් සමාන වූ මෙවැනි යමක් ගැන සුචරිත ගම්ලත් ‘සුබස් මිණි ආර’ කෘතියෙහි ‘පුරුෂෝත්‍තමවාදය – 7’ ලිපියෙහි කතාකරයි. ඔහු එහි කියන්නේ, කාන්තාව සේදුම් සහ ඉවුම් කටයුතුවලින් මුදවා ඇයට ජීවිතය විඳින්නට ඉඩ හැර, එම කාර්ය රජය විසින් බාරගෙන නිල වශයෙන් සේවකයන් යොදවා සෑම නගරයකම  ක්‍රියාත්මක වන පරිදි ප්‍රජා ආපනශාලා සහ ලොන්ඩරි පිහිටුවිය යුතු බවයි. එවිට කේවලව දිනපතා උයන්නටත් සෝදන්නටත් කාන්තාවන්ට සිදුනොවේ. මෙය ලංකාවට අමුත්තක් වුව ඇතැම් රටවල ක්‍රි‍යාත්මක වන්නකි. කෙසේ හෝ මෙවැනි ම යමක් ගැන, යූ හුවාගේ මේ කෘතියෙහිත් එයි.  රතු පටි හැඳි මිනිසුන් විසින් තමන්ගේ ගෙවල්වල ඉවීම තහනම් කර, ඒ භාණ්ඩ රාජසන්තක කරන බවත්, උවමනා අය නගරෙ ඇති කැන්ටිම්වලට ගොස් ආහාර ගත යුතු බවත් නියම කරන බව කතුවරයා කියයි. මෙය පෙර කී ලෙස හොඳක් නොව ඔවුන්ට අමතර පීඩනයක් සේ දිස්වෙයි.  චීනයේ සංස්කෘතික විප්ලව සමයේදී මෙසේ සාමුහික ආහාර ගන්නා තැන් නිර්මාණය කරන්නේ මිනිසුන්ට විවේකෙන් සිටීමට නොවේ. ඔවුන් වෙත අමතර වැඩ පැටවීමටයි. ගම්බද මිනිසුන්ව නගරයට ගෙන්වා ඔවුන්ගෙන් වැඩ ගැනුමටයි. උයන සෝදන කාලය ඉතුරුකරගෙන ඒ කාලයෙනුත් මිනිසුන් යන්ත්‍ර කරවීමටයි. කතා නායකයාගෙ පුතුන්ට සිද්ධවෙන්නෙත් එයයි. පට පණු කෝෂ විකුණූ ක්සූසන්ගුවාන්ට සේද කම්හලේ යකඩ උණුකරන්නට වෙන්නේත් ඒනිසයි.

යූ හුවාගේ කතාව ඛේදාන්තයක් වුව එය ඉදිරිපත්වන්නේ හාස්‍යජනක ලෙස බැලූබැල්මට පෙනෙන සිදුවීම් ලෙසිනි. තමන්ගේ බිරිඳගේ පෙර සම්බන්ධයෙන් උපන් පුතා ලෙස සැලකෙන දරුවාට ක්සූ සන්ගුවාන් හරිහැටි නොසලකයි. තමාගෙ නියම පියා සොයා යන්නැයි කියයි. එසේ ගිය පසු තරහ වෙයි. ඒ නියම පියා මැරෙන්න ඔන්න මෙන්න කියා තිබියදී ගෙයි වහලයට නැග, ‘තාත්තේ යන්නෙපා ඉන්නැ’යි කෑමොර දෙන්නැයි දරුවාගෙන් ඉල්ලයි. ආයෙ පුත්‍ර ප්‍රේමය බලවත් වී, පුතා සොයා ගොස් ඔහු අරහෙම කැ ගෑ පසු වහලෙන් ප්‍රවේශමෙන් බිමට බස්සවාගනී. ඔහු අනෙකාගෙ පුතා නොව මගේම එකායි පවසයි. අඹුසැමියෝ ගෙයි රන්ඩු පිටට දෙත්. ගෙයි දොරකඩට පැමිණෙන බිරිද අසල්වාසීන්ට ඇසෙන සේ ප්‍රශ්න කෑගසන්නට වන අතර අසල්වැසියෝ රොයිටර් සේවාවෙන් උපරිම පල ලබති. ක්සූසන්ගුවාන් තමා ආසා කළ ගැහැනිය වෙතට ගොස් ඇගේ කකුල කැඩී ඇති බැවින් සිය ලේ විකුණා ඇයට කෑමබීම ගොඩක් ගෙනියන අතර, ඇගේ සැමියා මේ සම්බන්ධය දැන ඒ කෑමබීම රොත්තම රැගෙන ක්සූසන්ගුවාන්ගෙ ගෙදෙට්ට ඇවිත් ඔහුගේ බිරිඳට කියයි. ඉස්පිරිතාලෙ ඉන්නා පුතා වෙනුවෙන් මුදල් උපයන්නට පියා දිනපතා ලේ විකුණනන්ට ගොස් අන්තිමේ රෝහලේ ක්ලාන්ත වී වැටෙන අතර, දොස්තරට සිද්ධවෙන්නේ ගත්ත ලේ ටික යලි පණලබන්නට ඔහුටම දෙන්නටයි. ඒටික මදි නිසා අමතරත් ලේ දෙයි. ඊට ගාස්තුව ගෙවන්නට ක්සූසන්ගුවානට සිදුවේ. මේවා එක්වරක් කියැවීමෙන්, හිනායන සිදුවීම්‍ ය. ඒත් හිනා වූ පසු නොසෑහෙන්න අඬන්නට හිතෙන කාරණාය.

තෝල්ස්තෝයි සිය ජීවිතේ අවසන් කාලයේදී නිවසින් පිටව ගියාක් මෙන්, කොලරා කාලේ ආලේ අරීසාත් දාසාත් බෝට්ටුවක නැගී ජීවිතේ හොඳ ම ගමන ගියාක් මෙන්, ඇරිස්ටොෆනීස්ගේ මැඬියෝ නාට්‍යයේ දියෝනිසස් සිය වහලා සමඟ ඔරුවකින් නැගී මැඩියෝ සිටින විලක් මැදින් පාතාලෙට ගිය ගමන මෙන්, ක්සූස්න්ගුවාන් ද කතාවසානයට එද්දි, මිතුරන් දෙදෙනෙකු හා පාරුවකින් දියෙන් ගමනක් යයි. මේ ගමන විශේෂය. මේ පියෙකු ලෙස ඔහු කරන ඉහළ ම කැපකිරීමයි. මේ යන්නේ සිය ජීවිතය කැපකරමිනි. ගමන යන්නෙ රෝහලේ සිටින පුතා සොයාගෙනය. ඔහු වෙනුවෙන් මුදල් සෙවීමට ලේ විකුණමින් යන ගමනයි. ජීවිතය නම් ගඟ දිගේ දිනපතා ලේ විකුණමින්, එනම් තමන්ගෙ ආයුකාලය අඩුකරමින් ඔහු යන මේ ගමන ‘රුහිරු විකුණා යැපුණු මිනිසෙක්’ කතාවේ ටර්නින් පොයින්ට් එකකි.

‘රුහිරු විකුණා යැපුණු මිනිසෙක්’ පොතේ පරිවතිත බස සජීවීය. පණ ගැහෙනසුලු ය. අව්‍යාජය. හැබෑය. ගැමි බසත්, නූතන බසත් එක්කර තනා ගත් බසකි මේ. එනිසා චීනය නොව මේ ලංකාවම යැයි සිතේ. බසෙන් පමණක් නොව, අනෙක් සමාජ, දේශපාලන කරුණු අතින් ද මෙය ලංකාවෙන් වෙනස් නොවේ.

‘සිංහබාහු’ගෙන් පසුවත් පුතු සෙනේ මස් නහර හම සිඳ යන විලාසේ පත්තියම් කරගන්නට වුවමනා නම්, ඔබ යූහුවාගේ පොත කියැවිය යුතුය.

 

– ඩිල්ශානි චතුරිකා දාබරේ –

Social Sharing
අවකාශය නවතම