යුද්ධය කෙතරම් බිහිසුණු ද යත් එය තව තවත් බිහිසුණු ය

අදුරු සෙවණැලි ද ගිනි පැහැ හාත්පස මළානික ශෝකය ද අතරින් Folemam පසුපස දිව එන්නේ වියරු බලු රැළකි. දෙදෙනෙකු තිදෙනෙකු දස දෙනෙකු නොව විසි හයකි. හරියට ම බල්ලන් විසි හයදෙනෙකි. ඊශ්‍රායල හමුදාවේ සෙබලෙකු ව ලෙබනන යුද්ධයට අතරමැදි වූ Foleman ගේ භ්‍රාන්ත වූ හුස්ම අතරින් waltz with Bashir සිනමාපටය ඇරඹෙන්නේ එලෙසිනි.

1982 ලෙබනන් යුද්ධයත් ලොව සෑම යුද්ධයකම නැවත නැවත මතුවන කෲරත්වයේත් සාහසික බවේත් අක්මුල් හොදින් පාදන මෙම සිනමාපටය ප්‍රංශ නිෂ්පාදනයකි. ප්‍රංශය සතු සුපෝෂණීය සිනමාවේ තියුණු සමාජයීය විවරණය එක සේ රැකගත් මෙම සිනමාපටය War/ Documantry ගණයට අයත් animation movie එකකි.

ෆෝල්මන් යනු යුද්ධය සමයේ බියකරු සිහිනයකින් නිතර පීඩා විදිනු ලැබ එහි අරුත් සොයමින් සිනමා චාරිකාව අරඹන කථා නායකයා ය. ඔහුගේ තරුණ සමයේ මතකය ගිලිහී ගොසිනි. මිතුරෙකුගේ ද උදව් ඇතිව ෆෝල්මන් තමා දකින සිහිනයේ සිටි සහෝදර සෙබලුන් අතරින් 2006 වසර වනවිටත් ජීවතුන් අතර සිටින අය සොයා යයි. ඒ ෆෝල්මන්ගෙන් ගිලිහුණු මතකය ආවර්ජනය කරගනු පිණිස ය.

එකින් එක කතා ලෙහී යන්නේ යුද්ධයේ තිරශ්චීන කැපුම් පෙති තුලිනි. මූලික සිදුවීම පසුබිම් වෙනුයේ ලෙබනනයේ බීරූට් අගනුවර පිහිටි Sabra and Shatila සරණගත කදවුරු ප්‍රදේශය වටා ය. 1982 සැප්තැම්බර් මස ලොවක් කම්පා කරමින් එහි සිදුවූ මිනිස් සංහාරයේ සිනමා වාර්තාව යි waltz with bashir.

මෙම වාර්ථා චිත්‍රපටය Ari Folman ගේ අධ්‍යක්ෂණයකි. Sabra and Shatila සරණාගත කදවුර තුළ සිදුවූ පලස්තීන සරණාගතයින් සමූලඝාතනය කිරීමේ අනුවේදනීය යුධ අපරාධය, වාර්ථා චිත්‍රපටයකට නැගිය හැකි උපරිම සිනමා ස්වභාවයක ලා ගොනු කරන්නට අධ්‍යක්ෂකවරයා සමත් ව තිබේ.

චිත්‍රපටය අවසානයට දිගහැරෙන මෙම සමූලඝතනයේ සැබෑ වීඩියෝපට විසින් ඔබ ගෙනයන්නේ වෙන අන් තැනකට නොව, යුද්ධය කෙතරම් බිහිසුණු ද යත් එය නැවත නැවත කතා කරද්දී නැවත නැවතත් අලුතින් ම බිහිසුණු බව කියාපෑමට ම පමණි. එම වසරේ හොදම විදෙස් සිනමාපටයට හිමි golden globes සම්මානය දිනීම කිසි සේත් අරුමයක් නොවන්නේ සිනමාවේ සමාජ කාර්‍යයභාරය මැනවින් ඔපදමන ලද වාර්ථා සිනමාපටයක් බැවිනි.

– Nuwan Ishara Mahagamage –

Social Sharing
අවකාශය නවතම