දියවන්නා තරණය කරන අලුත් මුහුණු මෙන්න!

මෙවර පැවති 2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය ඉතිහාසගත වූ මැතිවරණයකි. ඒ එක්සත් ජාතික පක්ෂය කිසිවෙකු නොසිතූ ලෙස අන්ත පරාජයකට පත් වීමයි. එමෙන්ම පළමු අවස්ථාවෙන්ම දියවන්නාවට තරඟ කළ අපෙක්ෂක අපෙක්ෂිකාවන් රැසකට විශාල මනාප සංඛ්‍යාවකින් ඉන් එගොඩ යන්නට අවස්ථාව උදා කර දීමද සුවිශේෂිය. එමෙන්ම පරම්පරාවෙන් දේශපාලනය කරගෙන පැමිණි ඇතැම් පවුල් වලට තිත තබමින් නවක පවුල් එක් වීමද මෙහිදි කැපී පෙනන සිද්ධියක් විය.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ බාල නැගණිය වු ගාන්ධිනී රාජපක්ෂගේ පුත් වු නිපුන රණවක පළමු වරට දේශපාලනයට පිවිසි අතර ඔහු පොදුජන පෙරමුණෙන් මාතර දිස්ත්‍රික්කයෙන් තරඟ කළේය. ඔහුද මනාප 131010 ක් ලබා ගනිමිනි. දේශපාලනයේ පරිනත චරිත රැසක් සිටියදී ඔහු ප්‍රථමවතාවෙන්ම දියවන්නාව තරණය කිරීමට වාසනාවන්ත විය.

එසේම වියත් මගේ චරිතයක් වු ආචාර්ය නාලක ගොඩහේවා ගම්පහ දිස්ත්‍රික්කයෙන් පොදුජන පෙරමුණෙන් තරඟ වැදුනේ ප්‍රසන්න රණතුංග වැනි දේශපාලනයේ පැරණි පුද්ගලයින් සමඟ කරට කරය. ඔහුද ගම්පහ දිස්ත්‍රික්කයෙන්ම මනාප 325479 ක් ලබා ගෙන ප්‍රථමයා බවට පත්ව තිබේ. ඒ අනුව ඔහුද දියවන්නාවට අලුත් මුහුණකි.

එසේම කොළඹ පුරවරයෙන් ප්‍රථමවරට තරඟවැදී රියර්අද්මිරාල් සරත් වීරසේකර පොදුජන පෙරමුණෙන් මනාප 328092 ක් ලබා ගනිමින් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රථමයා බවට පත්ව ඇත්තේ දිනේෂ් ගුණවර්ධන, සුසිල් ප්‍රේම්ජයන්ත, විමල් වීරවංශ වැනි චරිතද අභිබවා යමිනි.

ඌව පළාත් සභාවේ හිටපු ප්‍රධාන අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්ෂ මෙවර පොදුජන පෙරමුණෙන් මොණරාගල දිස්ත්‍රික්කය නියෝජනය කර මනාප 104729 ක් ලබා ගනිමින් කුලුඳුලේ දියවන්නාවට පය තබමිනි. මේ අතර ඔහුගේ පියා වු හිටපු කථානායක චමල් රාජපක්ෂ මහතාද හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් තරඟ කර දියවන්නාවට තේරී පත්ව ඇත.

මේ අතර නුවරඑළිය දිස්ත්‍රික්කය සඳහා තරඟ කළ හිටපු අමාත්‍ය ආරුමුගන් තොණ්ඩමන් මහතාගේ පුත් ජීවන් තොණ්ඩමන් ද මනාප 109155 ක් ලබාගෙන ප්‍රථමයා බවට පත්ව පාර්ලිමේන්තුවට තේරී පත්ව ඇත. ඔහුත් සමඟ නුවරඑළියෙන් දියවන්නා යන අලුත් මුහුණු වන්නේ එම්. රමේෂ්, නිමල් පියතිස්ස හා එම්. උදය කුමාර්ය.

ගාල්ල දිස්ත්‍රික්කයේ අලුත් මුහුණු වන්නේ දකුණු පළාත් හිටපු අමාත්‍ය ශාන් විජේලාල් මහතා, ඉසුරු දොඩම්ගොඩ හා සම්පත් අතුකෝරලය.

පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නවකයින් ලෙස මෙවර දියවන්නා යන්නේ අමරකීර්ති අතුකෝරල හා කින්ස් නෙල්සන්ය. කින්ස් නෙල්සන් පොලොන්නරුවට සමගි ජන බලවේගයෙන් පත් වු එකම පුද්ගලයාය.

එසේම කෑගල්ල දිස්ත්‍රික්කයෙන් අලුත් මුහුණ ලෙස ඇත්තේ රුවන්වැල්ල හිටපු ප්‍රාදේශිය සභාපති සුදත් මංජුල, හිටපු පළාත් සභා මන්ත්‍රි උදයකාන්ත ගුණතිලක හා රාජිකා වික්‍රමසිංහය.

මේ අතර උතුරු පළාත් හිටපු මහ ඇමති සි.වී. විග්නේෂ්වරන් මහතාද නවකයෙකු ලෙස මෙවර දියවන්නාව තරණය කිරීමට පෙළ ගැසී ඇත.

රත්නපුර දිස්ත්‍රික්කයෙන් ගාමිණි වලේබොඩ, අකිල එල්ලාවල හා අභාවප්‍රාප්ත රංජිත්ද සොයිසාගේ බිරිඳ වන මුදිතා ප්‍රශාන්ති ද සොයිසා  මෙවර නවකයින් ලෙස 2020 මැතිවරණයෙන් තේරී පත්ව තිබේ.

මහනුවර දිස්ත්‍රික්කයේ නීතීඥ උදයන කිරිඳිගොඩ, වසන්ත යාපා බණ්ඩාර, එම්.වේලුකුමාර් යන තිදෙනාද, අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් චන්න ජයසුමන, උද්ධික ප්‍රේමරත්න,එච්.නන්දසේන යන අයද අලුත් අය ලෙස නව පාර්ලිමේන්තුවට යාමට නියමිතව ඇත.

කලුතර දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදි සංජීව එදිරිමාන්න, පරිසරවේදී අනුප පැස්කුවල්, ලලිත් එල්ලාවල යන අයද මේ නවක පිරිසට අයත් වේ.

කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් මනාප 527,364 ක් මහින්ද රාජපක්ෂ මහතා ලබා ගනිමින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ ප්‍රථමයා බවට පත් වෙද්දි ඔහුගේ පුත් නාමල් රාජපක්ෂ හම්බන්තොට දිස්ත්‍රික්කයෙන් මනාප 166,660 ක් ලබා ගනිමින් ප්‍රථමයා බවට පත්ව ඇත.

එමෙන්ම මාතලේ දිස්ත්‍රික්කයේ ජානක බණ්ඩාර තෙන්නකෝන් මහතාද දිස්ත්‍රිකයේ ප්‍රථමයා බවට පත් වෙද්දි ඔහුගේ පුතු ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන්ද එම දිස්ත්‍රික්කයෙන්ම දියවන්නාවට තේරී පත්වීමත් මාතලේ අලුවිහාරේ පරම්පරාවේ කිසිවෙකුටත් මෙවර තේරී පත් වීමට නොහැකි වීමත් මාතලේ කැපී පෙනෙන සිද්ධියක් විය.

-ශානිකා-

Social Sharing
නවතම