සෞඛ්‍ය සේවය කඩාවැටීමක අත ළඟ

 

ඖෂධ හිඟය,වෛද්‍ය උපාංග හිඟය සහ විඳුලි කප්පාදුව හේතුවෙන් සෞඛ්‍ය සේවය කඩා වැටීමේ අවදානමක් මතුව ඇති බවත් ඒ හේතුවෙන් හදිසි මෙන්ම සාමාන්‍ය සෞඛ්‍ය සේවාවන්ට බලපෑම් එල්ල වී ඇති බවත් රතු කුරුස සංවිධානය ඔක්තෝමබර් මාසයේ නිකුත් කළ සමීක්ෂණ වාර්තාවේ දැක්වේ.

එසේම ඉන්ධන හිඟය සෞඛ්‍ය සේවා කාර්යය මණ්ඩලය සහ රෝගීන් ප්‍රවාහනයට බලපෑම් එල්ල කර තිබීමත් සෞඛ්‍ය සේවය බිඳ වැටීමට හේතු වී ඇති බව එම වාර්ථාව පෙන්වා දෙයි.

මෙම සමීක්ෂණයට සහභාගී වූ පවුල් අතරින් වැඩි ප්‍රතිශතයක සෞඛ්‍ය මෙම වසරේ ජනවාරි මසට සාපේක්ෂව සැප්තැම්බර් මස වන විට පිරිහීමට ලක්ව ඇතැයි රතු කුරුස සංවිධානය ප්‍රකාශ කළේය.වතුකරයේ සෑම පවුල් හතරෙන් තුනකම මෙම වසරේ ජනවාරි මසට සාපේක්ෂව සැප්තැම්බර් මස වන විට සෞඛ්‍ය පිරිහීමට ලක්ව ඇතැයි රතු කුරුස සංවිධාන වාර්තාවේ දැක්වේ.

එසේම ලබන වසරේ සැලකිලිමත් වියයුතු කරුණු අතර මරණ අනුපාතය සහ සෞඛ්‍ය පිරිහීම යන කරුණු සමීක්ෂණයේදී ඉස්මතු වූ බව රතු කුරුස සංවිධානය පැවසුවේය.

සමීක්ෂණයට සහභාගී වූ පවුල් තුනෙන් එකකට බෝ නොවන රෝග, හෘද රෝග, දියවැඩියාව සහ මානසික රෝග සඳහා ප්‍රතිකාර ලබා ගැනීමට බාධා එල්ල වී ඇති බවත් ශල්‍යකර්ම අවලංගු කිරීම හේතුවෙන්ද සමීක්ෂණයට සහභාගී වූ පවුල් පීඩා විඳ ඇති බවත් එම වාර්තාවේ සඳහන් වේ.

වතුකරයේ ජනතාව අතර මෙම තත්ත්වය තවත් දරුණු බවත් ඔවුන්ට ගුණාත්මක සෞඛ්‍ය සේවයක් ලබා ගැනීම ඉතාමත් අපහසු වී ඇති බවත් එම වාර්තාවේ දැක්වේ.

ඖෂධ මිල සහ තමන්ට අවශ්‍ය බෙහෙත් ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳ සමීක්ෂණයට සහභාගී වූ පවුල් සියල්ල ඉස්මතු කළ බව රතු කුරුස සංවිධානය ප්‍රකාශ කළේය.

Social Sharing
නවතම