උපයන රුපියල් 100කින් රුපියල් 71ක්ම පොලී ලෙස ගෙවන්න වෙනවානම්..?

මේ සටහන ලියන්නේ මුල සිටම නොවුණත් මෑතක සිට අපේ සටහන් නිතිපතා කියවමින් සක්‍රිය ලෙස අප ලියන දේ සංවාදයට බඳුන් කරන අයෙකු විසින් පෞද්ගලිකව යොමු කළ ප්‍රශ්නයක් පාදක කර ගනිමිනුයි. ප්‍රශ්නය සරලයි. ලංකාවේ අයවැය හිඟයට (හා ඒ හේතුවෙන් ඇති වී තිබෙන අනෙකුත් කුදු මහත් සියළු ප්‍රශ්න වලට) හේතුව රාජ්‍ය ආදායම ප්‍රමාණවත් නොවීමද එසේ නැත්නම් රාජ්‍ය වියදම් ඕනෑවට වඩා වැඩි වීමද?
ප්‍රශ්නය සරල වුනත් මේ ප්‍රශ්නයට සරල පිළිතුරක් නැහැ. ඒ වගේම, ස්වභාවය අනුවම මේ ප්‍රශ්නය දේශපාලනිකයි. ඒ නිසාම, පිළිතුරත් දේශපාලනිකයි.

පිළිතුර කුමක් වුවත්, මේ ප්‍රශ්නය ඇසීම තුළම, ප්‍රශ්නය අසන්නා දේශපාලනික ලෙස එක ගොඩකට වැටෙනවා. බෙදීම තිබෙන්නේ ඒ ගොඩ ඇතුළේ. මම පෞද්ගලිකව ඉන්නෙත් මේ ගොඩේ. මේ ගොඩ කුමක්ද?

කෙටියෙන් කිවුවොත් මේ වගේ ප්‍රශ්නයක් ඇසීම තුළ රජයේ අයවැය හිඟය ප්‍රශ්නයක් සේ හඳුනා ගැනීමක් තිබෙනවා. එසේ නොසිතන අය වෙනමම කුලකයක්. රජයේ අයවැය හිඟය ප්‍රශ්නයක් කියන එක දැන්නම් ලංකාවේ ගොඩක් අයට තේරිලා. ඒ නිසා අපි එසේ නොසිතන ගොඩ පැත්තකින් තියලා එසේ හිතන ගොඩ ඇතුළේ ඉඳන් ප්‍රශ්නයට පිවිසෙමු.

මේ ගොඩ ඇතුළට ආවට පස්සේ වුනත් ප්‍රශ්නයට පිලිතුරක් යෝජනා කළ හැක්කේ දේශපාලනික මතයක් හා බද්ධ වෙමින් පමණයි. මේ ප්‍රශ්නයට ආර්ථික විද්‍යාව තුළින් “නිවැරදි” පිළිතුරක් දෙන්න බැහැ. හැබැයි වඩා හොඳ පිළිතුරක් යෝජනා කරන්න පුළුවන්.

අපි මෙහෙම හිතමු. අලියෙක් ලොකු වලක වැටිලා. දැන් මේ අලියාව ගොඩ ගත යුතුයි. එය කළ හැකි එක ක්‍රමයක් වන්නේ කොහෙන් හෝ පස් ගෙනත් පුරවා වල ගොඩ කරන එකයි. වල ටික ටික පිරෙද්දී අලියාට වලෙන් එළියට එන්න පුළුවන් වෙනවා. මෙය විසඳුමක්.

එසේ නොකර වල ගැට්ට කපා පස් ඉවත් කරමින් වල ගැට්ට ටික ටික පාත් කරන්නත් පුළුවන්. එහෙම කරලා අලියාට වලෙන් එළියට එන්න පුළුවන් තත්ත්වයක් ඇති කරන්න පුළුවන්. ඒකත් විසඳුමක්.

ඔය දෙකෙන් එකක් පමණක් නොකර දෙකම එකවර කරන්නත් පුළුවන්. වල ගැට්ට කපන අතරම ඒ පස් වලින් වල පුරවනවා. තව පුළුවන්නම් පිටිනුත් පස් ගෙනත් දමනවා. වාද විවාද නවත්තලා මේ විදිහට වල පිරවීම හා වල ගැට්ට පාත් කිරීම කියන දෙකම කරගෙන ගියොත් අලියා වඩා ඉක්මණින් ගොඩ එයි.

අයවැය හිඟය අඩු කිරීම ගැන මම බලන්නේ ඔය තුන්වන ක්‍රමයට. ලංකාවේ වැටිල ඉන්න වල ගැඹුරුයි. වඩා වැදගත් මේ වලෙන් හැකි ඉක්මණින් ගොඩ එන එකයි. ආදායම වැඩි කිරීම වගේම වියදම් කැපීමත් මේ සඳහා විසඳුම්. ඔය දෙකම කරන තරමට වඩා ඉක්මණින් ගොඩ එන්න පුළුවන්. ඔය දෙකෙන් එකක් නොකර අනෙක් එක පමණක් කළ යුතුයි කියන අයට බොහෝ විට තියෙන්නේ අලියාව ගොඩ නොගෙන වල ඇතුළේම තියා ගැනීමේ අවිඥානික හෝ සවිඥානික අරමුණ වෙන්න පුළුවන්.

දදේනි අනුපාතයක් ලෙස ලංකාවේ රාජ්‍ය ආදායම ලෝකයේ බොහෝ රටවල් වලට වඩා අඩුයි. ලෝක බැංකු දත්ත අනුව, ලංකාව ඉන්නේ පහළම 10% ඇතුළේ. අනෙක් අතට දදේනි අනුපාතයක් ලෙස ලංකාවේ රාජ්‍ය වියදම් දිහා බැලුවත් පහළම 30% ඇතුළේ ඉන්නවා. මේ අනුව, ලෝකයේ රටවල් 70%ක පමණම රාජ්‍ය වියදම් අනුපාතිකව ලංකාවට වඩා වැඩියි කියන කාරණයට සමහර අය බර තබනවා. ඒ අනුව, ආදායම් වැඩි කර ගනු මිස වියදම් කැපීමක් අවශ්‍ය නොවන බව යෝජනා කරනවා.

මේ ආදායම් වියදම් විවාදය ඇතුළේ දෘෂ්ඨිවාද ගණනාවක් දැකිය හැකියි. ඒවා වර්ගීකරණය කිරීම සංකීර්ණ වැඩක් වුනත්, දළ වශයෙන් පහත කොටස් හඳුනා ගන්න පුළුවන්. මේ වර්ගීකරණය සංකල්පීය පදනම මත කරන දෙයක් මිසක් ලංකාවේ දේශපාලන ධාරා මත පදනම්ව කරන දෙයක් නෙමෙයි. ලංකාවේ දේශපාලන ධාරා තුළින් මේ සංකල්පීය අදහස් හඳුනා ගත හැකි වුවත්, අනන්‍ය ලෙස හඳුනා ගන්න බැහැ. දේශපාලන ධාරා හැම එකක්ම වගේ අඩු වැඩි වශයෙන් දෙලොවක් අතර ඉන්න නිසා අඩුම වශයෙන් ගොඩවල් දෙකකවත් කලවමක්.

මධ්‍යගත සැලසුම් සමාජවාදීන් – මේ අය ඇත්තටම අයවැය හිඟයක් නඩත්තු කිරීම වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. නමුත්, බදු වැඩි කිරීම වෙනුවෙන් පෙනී සිටින්නේත් නැහැ. ධනවතුන් මත බදු අය කර අඩු ආදායම්ලාභීන් සුබසාධනය කිරීම සමාජවාදී අදහසක් වුනත්, පූර්ණ මධ්‍යගත සමාජවාදී ක්‍රමයකදී නිෂ්පාදනය හා බෙදාහැරීම කරන්නේ රජය විසින් නිසා බදු අය කළ හැකි ධනවතුන් ඉතිරි වෙන්නේ නැහැ. රජයටම ව්‍යාපාර කරලා ලාබ හොයා ගන්න වෙනවා. පරම්පරාවකට හෝ දෙකකට කලින් ලංකාව ඇතුළේ වගේම ලෝකයේත් ජනප්‍රිය වී තිබුණු මේ දෘෂ්ඨිවාදයට දැන් ලෝකයේ හෝ ලංකාවේ ලොකු ඉල්ලුමක් නැහැ. මේ අදහස් පද්ධතියේ නෂ්ඨාවශේෂ පමණක් එහෙන් මෙහෙන් මතු වෙනවා.

කේන්සියානුවාදීන් – අයවැය හිඟයක් නඩත්තු කිරීම වෙනුවෙන් පෙනී සිටින අයව හැඳින්විය හැකි උචිතම ක්‍රමය ඔවුන්ව කේන්සියානුවාදීන් ලෙස හැඳින්වීමයි. ඇත්තටම මේ අදහස් පද්ධතිය ඇතුළේ තියෙන්නෙත් කේන්සියානුවාදයේ විකෘතියක් මිසක් කේන්සියානු අදහස්ම නෙමෙයි. මේ අයගේ ක්‍රමයට සල්ලි අච්චු ගසමින් රජයට ආදායම ඉක්මවා වියදම් කළ හැකියි. ප්‍රායෝගිකව ගොඩක් රටවල් මේ වැඩේ කරනවා. ලංකාව අමාරුවේ වැටුනෙත් මේ ක්‍රමය නිසා. අර්බුදයත් එක්ක මේ ක්‍රමයේ අවදානම් ගොඩක් අයට පෙනී ගොස් තිබුණත්, අර්බුදයට හේතු බාහිර සතුරන් මත පටවමින් නැවත මේ ක්‍රමය වෙත යාමේ උත්සාහයන් වල අඩුවක් පෙනෙන්නට නැහැ.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන් – ධනවතුන් මත බදු අය කර අඩු ආදායම්ලාභීන් සුබසාධනය කිරීම වෙනුවෙන් පෙනී සිටින අය හැඳින්විය හැකි හොඳම යෙදුම මෙයයි. මේ ක්‍රමය ලෝකය පුරාම ජනප්‍රියයි. ලංකාව ඇතුළෙත් ජනප්‍රියයි. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියක් ඇතුලෙ රාජ්‍ය වියදම් වැඩියි. එහෙත්, බදු ආදායම්ද වැඩි නිසා, අයවැය හිඟයක් ලොකුවට නැහැ. බදු වැඩියෙන් අය කරන්න නම් ධනවතුන් සිටිය යුතුයි. ආදායම් විෂමතා වලට බය නැතිව ඉඩ දිය යුතුයි. ආදායම් විෂමතා හමුවේ සමාජ සාධාරණත්වය ඇති කරන වැඩේ බදු හරහා සිදු වෙනවා.

ලිබටේරියානුවන් – මේ අය කුඩා රජයක් වෙනුවෙන් පෙනී සිටින අය. අයවැය හිඟයක් වෙනුවෙන් පෙනී සිටින්නේ නැහැ. නමුත්, විශාල ලෙස බදු අය කිරීම වෙනුවෙන් පෙනී සිටින්නේත් නැහැ. පෞද්ගලික අංශයේ නිදහස වෙනුවෙන් දැඩි ලෙස පෙනී සිටිනවා. ලංකාවේ හෝ ලෝකයේ විශාල පිරිසක් මේ ගොඩේ නැහැ. නමුත් බටහිර රටවල ඇතැම් දක්ෂිණාංශික දේශපාලන පක්ෂ ඇතුළේ ලිබටේරියානුවාදයේ අංකුර තිබෙනවා. ඉතා මෑතක සිට ලංකාවේ ඇතුළේ ලිබටේරියානු අදහස් වෙනුවෙන් පෙනී සිටින යම් පිරිසක් හඳුනා ගන්න පුළුවන්.

මධ්‍යගත සැලසුම් සමාජවාදයට ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ඇතුළේ යා හැකි දුර සීමිතයි. එතැනින් එහාට යා හැක්කේ ප්‍රචණ්ඩත්වය සමඟ පමණයි. ලිබටේරියානුවාදීන් ප්‍රචණ්ඩත්වය වෙනුවෙන් පෙනී නොසිටින හා එයට එරෙහි පිරිසක් වුවත් ලිබටේරියානුවාදයට වුනත් ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ඇතුළේ එහි පරිකල්පනීය තත්ත්වය කරා යන්න අසීරුයි. විශේෂයෙන්ම ලංකාව වගේ අඩු ආදායම් කාණ්ඩයේ රටක. ලංකාවේ දේශපාලන-ආර්ථිකය දෝලනය වෙන්නේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදය හා කේන්සියානුවාදය අතරයි.

මධ්‍යගත සැලසුම් සමාජවාදයක් තුළ මුළු බරම තබන්නේ සමාජ සාධාරණත්වය වෙතයි. මෙහිදී සමාජ සාධාරණත්වය ලෙස හඳුනා ගැනෙන්නේ සියල්ලන්ගේම ජීවන තත්ත්වය සමාන මට්ටමක පවත්වා ගැනීමයි. මෙය කළ හැක්කක් වුවත්, සියල්ලන්ගේම ජීවන තත්ත්වය සමාන මට්ටමක පවත්වා ගැනීම තුළ සියල්ලන්ගේම ජීවන තත්ත්වය ඉහළ මට්ටමක පැවතීම සහතික කෙරෙන්නේ නැහැ. මේ ක්‍රමය අසාර්ථක ඒ නිසයි.

ලිබටේරියානුවාදය තුළ සමාජ සාධාරණත්වය වෙනස් අයුරකින් අර්ථ දැක්වෙනවා. එහිදී කෙනෙකුගේ ජීවන තත්ත්වය නිර්ණය වන්නේ නිෂ්පාදනය සඳහා ලබා දෙන දායකත්වය මතයි. මෙහි ආන්තීය පරමාදර්ශී තත්ත්වය තුළ නිෂ්පාදනය සඳහා ප්‍රමාණවත් දායකත්වයක් ලබා දිය නොහැකි අයෙකුට එසේ කළ හැකි අයගේ අනුකම්පාව අවශ්‍ය වෙනවා.

සමාජ ප්‍රජාතන්ත්‍රවාදය තුළ මෙන්ම කේන්සියානු අදහස් වලින් ව්‍යුත්පන්න කරගත් ක්‍රමය තුළ ද සිදුවන්නේ ඉහත අන්ත දෙක අතර තුලනයක් ඇති කිරීමයි. ඇමරිකාවේ රිපබ්ලිකන් පක්ෂය විසින් නියෝජනය කරන්නේ ලිබටේරියානු අදහස්ම නොවුනත්, එම පක්ෂය තුළ අනෙක් ප්‍රධාන පක්ෂයට සාපේක්ෂව ලිබටේරියානු අදහස් වැඩියෙන් නියෝජනය වනවා. රිපබ්ලිකන් පක්ෂය බොහෝ විට අඩු ආදායම් බදු හා කුඩා රජයක් වෙනුවෙන් පෙනී සිටිනවා. මෙයින් වෙනස්ව ඩිමොක්‍රටික් පක්ෂය සමාජ ප්‍රජාතන්ත්‍රවාදය හා සුබසාධනය වෙනුවෙන් පෙනී සිටිනවා. ජනමතය මේ දෙක අතර දෝලනය වනවා.

කේන්සියානු ක්‍රමය හා සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය යන ක්‍රම දෙකේදීම වෙන්නේ වෙළඳපොළ නිදහස මූලධර්මයක් ලෙස පිළිගන්නා අතරම වෙළඳපොළ අපරිපූර්ණ බව ද මූලධර්මයක් ලෙස පිළිගනිමින් අවශ්‍ය තැන් වලදී රජය වෙළඳපොළට මැදිහත් වීම හා වෙළඳපොළ පරාජිතයින් සුබසාධනය කිරීමයි. සමාජ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයකදී සෘජු බදු වලට බර තැබෙනවා. කේන්සියානු ක්‍රමයේ අවසන් ප්‍රතිඵලය “උද්ධමන බදු” හෝ වෙනත් වක්‍ර බදු හරහා අයවැය හිඟය පියවා ගැනීමයි. ලංකාව වැනි රටවල සමාජ ප්‍රජාතන්ත්‍රවාදය වුනත් ගොඩක් වෙලාවට නවතින්නේ කේන්සියානු ක්‍රමයට ගිහින්.

අයවැය හිඟය නඩත්තු කළ යුතුද? පියවිය යුතුද? අයවැය හිඟය පියවිය යුතුනම්, එය කළ යුත්තේ වියදම් අඩු කිරීමෙන්ද බදු වැඩි කිරීමෙන්ද? වැඩි කළ යුත්තේ සෘජු බදුද වක්‍ර බදුද? කැපිය යුත්තේ කවර වියදම්ද?

මේ ගොඩක් ප්‍රශ්න දේශපාලනික ප්‍රශ්න. ඒ නිසා, අවසන් තීරණය පැමිණිය යුත්තේ රටේ මහජනතාවගෙන්. එක් එක් දේශපාලන පක්ෂය තමන්ගේ විසඳුම සමඟ මහජනතාව වෙත යාමෙන් පසුව මහ මැතිවරණයකදී ජනතා කැමැත්ත දැන ගත හැකියි. ඒ හැර, ආර්ථික විද්‍යාඥයෙකුට දේශපාලනයෙන් වියුක්ත “නිවැරදි” විසඳුමක් යෝජනා කළ හැක්කේ ඇතැම් සන්දර්භ වලදී පමණයි.

දේශපාලන ධාරා දෙකක අවසන් ඉලක්කය එකමනම්, ආර්ථික විද්‍යාඥයෙකුට එම දේශපාලන ධාරා දෙක විසින් යෝජනා කරන ප්‍රවේශ දෙක සංසන්දනය කර, එකම නිශ්චිත අවසන් ඉලක්කය වෙත යාම සඳහා වඩා කාර්යක්ෂම ක්‍රමය පෙන්වා දිය හැකියි. අවසන් ඉලක්ක වෙනස්නම්, දේශපාලනය බැහැර කර මෙවැනි සංසන්දයක් කිරීම අසීරුයි.

ජනමත සමීක්ෂණයක් නොකළත්, රටේ බොහෝ දෙනෙකුට අවශ්‍ය වන්නේ මේ වැටී සිටින ආර්ථික අර්බුදයෙන් ගොඩ යන්නයි. මධ්‍යගත සමාජවාදයක් වෙනුවෙන් පෙනී සිටින සමාජවාදීන්ට පමණක් එය එසේ නොවන්නට පුළුවන්. ආර්ථිකය කඩා වැටෙන තරමට ඔවුන්ගේ ඉලක්කයට යාම පහසු වෙනවා. ඒ වගේම, රාජ්‍ය යාන්ත්‍රණය තිබෙන මට්ටමින් හෝ පවත්වා ගැනීම කවදා හෝ ඔවුන්ට තමන්ගේ ඉලක්කය වෙත යා හැකි වුවහොත් අවශ්‍ය වෙනස්කම් කිරීමේදී පහසුවක් වෙනවා. මේ දෘෂ්ඨිවාදය තුළ සිටින අයගේ චේතනාන්විත ඉලක්කය ආර්ථික අර්බුදය විසඳීම පමා කිරීමයි. ඉතිරි කණ්ඩායම් තුනට ආර්ථික අර්බුදය විසඳීම පමා කිරීමේ ඉලක්කයක් ලොකුවට තියෙන්න හේතුවක් නැහැ. මොකද අර්බුදය ඔඩු දිවුවොත්, යම් හෙයකින් තමන්ට බලය ලැබුණොත්, ප්‍රශ්නය තමන්ගේ වෙනවා. ඔවුන් බොහෝ දුරට කරන්නේ තමන්ගේ කෝණයෙන් ප්‍රශ්නය දෙස බලමින් විසඳුම් යෝජනා කිරීමයි.

මුල් කණ්ඩායම හැර ඉතිරි කණ්ඩායම් තුනේ සිටින අයගේ දිගුකාලීන ඉලක්ක මොනවා වුනත්, ඒ ඉලක්ක ගැන හිතන්න බැරි තරමට අර්බුදයේ ගැඹුර වැඩියි. ඒ නිසා, මැතිවරණ ක්‍රමය ගැන විශ්වාසය තබනවානම්, මේ වෙලාවේ කළ හැකි හා කළ යුතු හොඳම දෙය හැකි ඉක්මණින් ආර්ථික අර්බුදයේ ගැඹුරුම තැනින් උඩට පැමිණීම පිණිස කළ හැකි හැම දෙයක්ම කිරීමයි. තමන්ගේ දිගුකාලීන දේශපාලන අරමුණු හා පෑහෙන දේ පමණක් කිරීම ප්‍රමාණවත් නැහැ.

– මේ වෙලාවේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ට අවශ්‍ය තරමට ධනවතුන් මත බදු ගහන්න හෝ දුප්පතුන්ට සහන දෙන්න බැහැ. බරෙන් කොටසක් දුප්පතුන් මතද පැටවෙන එක නොවැලැක්විය හැකි දෙයක්. ධනවතුන්ට මෙන්ම දුප්පතුන්ටද බදු බරට කර ගහන්න වෙනවා.

– ලිබටේරියානුවන් කැමති තරමේ නිදහසක් ව්‍යාපාරිකයින්ට දෙන්න බැහැ. ඔවුන් කැමති තරමට රජය කුඩා කරන්න හෝ සහනාධාර කපන්නත් බැහැ. ආර්ථික වර්ධනය අඩාල වුනත්, තාවකාලිකව හෝ ධනය උපයන්නන්ට පීඩා කර දුප්පතුන්ට සහන දෙන්න වෙනවා.

– කේන්සියානු ක්‍රමයනම් කොහොමටත් හරියන්නේ නැහැ. ප්‍රශ්නය ඇති වෙලා තියෙන්නේම ඔය ක්‍රමය නිසා. හැබැයි සමාජ ප්‍රජාතන්ත්‍රවාදීන්ට හා ලිබටේරියානුවන්ට අවශ්‍ය තරම් හදිසියෙන් මේ ක්‍රමයෙන් මිදෙන්නත් බැහැ. සරලව කිවුවොත්, වෙන විකල්පයක් නැති වූ විට, යම් තරමකින් හෝ සල්ලි අච්චු ගහන්නත් වෙනවා.

කෙටියෙන් කිවුවොත් දෘෂ්ඨිවාද මත පදනම් වූ දිගුකාලීන ඉලක්ක පැත්තකින් තියලා ප්‍රායෝගිකව කළ හැකි හැම දෙයක්ම කරන්න වෙන තත්ත්වයකයි ලංකාව ඉන්නේ. ඉන්න තැනින් ගොඩ නොයා රටට දිගුකාලීන පැවැත්මක් නැහැ.

සංඛ්‍යා දෙකක් පමණක් අරගෙන ලංකාවේ ප්‍රශ්නයේ ගැඹුර පැහැදිලි කරන්න පුළුවන්. පළමුවැන්න රාජ්‍ය ආදායමේ ප්‍රතිශතයක් විදිහට රජයේ වාර්ෂික පොලී වියදම. දෙවැන්න සමස්ත රාජ්‍ය වියදමේ ප්‍රතිශතයක් විදිහට රජයේ වාර්ෂික පොලී වියදම. ඔය දෙකෙන් කොයි එක ගත්තත් මේ වෙද්දී ලෝකයේ අංක එක ලංකාව.

ලෝක බැංකු දත්ත අනුව (https://data.worldbank.org/indicator/GC.XPN.INTP.RV.ZS?most_recent_value_desc=true) රාජ්‍ය ආදායමේ ප්‍රතිශතයක් ලෙස පොලී වියදම් වැඩිම රට ලංකාවයි. මෙය (2020දී) 71.4%ක්. ලෝක බැංකු දත්ත වල යාවත්කාලීන වී නැතත්, 2021දීත් මෙම සංඛ්‍යාලේඛණය පැවතුනේ මේ මට්ටමේමයි. දෙවෙනි තුන්වෙනි තැන් වල සිටින ඝානාව හා සිම්බාබ්වේ අගයයන් පිළිවෙලින් 44.6% හා 38.8%. ලෝකයේම සාමාන්‍ය අගය 6%ක්. “අපි වෙනස්” කියන එක (ශ්‍රී ලංකාව විශාල outlier කෙනෙක් කියන එක) ඉතාම පැහැදිලියිනේ. උපයන රුපියල් 100කින් රුපියල් 71ක්ම පොලී ලෙස ගෙවන්න වෙනවානම් ගොඩයාමක් ගැන හිතන්න පුළුවන්ද?

මේ අගය පහළ දා ගත හැක්කේ කොහොමද?

අඩු වශයෙන් විසඳුම් තුනක් යෝජනා කරන්න පුළුවන්.

– ආදායම වැඩි කර ගැනීම

– පොලී අනුපාතික අඩු කර ගැනීම

– ණය බර අඩු කර ගැනීම

ආදායම වැඩි කර ගැනීම මගින් අනුපාතය පහළ දමා ගත හැකි බව ඉතාම පැහැදිලියි. නමුත් පොලී අනුපාතික අඩු කර ගැනීම ශ්‍රී ලංකා රජයට පහසුවෙන් කරගත නොහැකි දෙයක්. පොලී අනුපාතික තීරණය කරන්නේ (බොහෝ දුරට) ණය දෙන අයයි. ණය බර වැඩි වන තරමට ණය ආපසු ලබා ගැනීමේ අවදානමද ඉහළ යන නිසා පොලී අනුපාතික ඉහළ යනවා. ඒ නිසා පොලී අනුපාතික අඩු කර ගත හැක්කේ ණය බර අඩු කර ගැනීමෙන් පමණයි.

ණය බර අඩු වෙන්නේ දැනට තිබෙන ණය ආපසු ගෙවුවොත් පමණයි. මෙහිදී ණය ආපසු ගෙවීම කියන එකෙන් අදහස් වෙන්නේ ශුද්ධ වශයෙන් ණය ආපසු ගෙවීම. අලුත් ණය අරගෙන පරණ ණය ගෙවුවා කියලා ණය බර අඩු වෙන්නේ නැහැ. එහෙම කරන්න පුළුවන් වෙන්නේ අයවැය අතිරික්තයක් ඇත්නම් පමණයි.

වියදම් නොකපා, ආදායම් වැඩි කරගැනීමෙන් පමණක් අයවැය හිඟය අතිරික්තයක් බවට පත් කරන්න පුළුවන්ද?

නිකම් කතාවට ඔය වගේ දෙයක් කියන්න පුළුවන් වුනත් ප්‍රායෝගිකව රාජ්‍ය ආදායම කෙටි කලකින් මේ තරමට වැඩි කර ගන්න බැහැ. එහෙම කරන්නනම්, රාජ්‍ය ආදායම 142% කින් පමණ වැඩි කර ගන්න වෙනවා. ඉදිරිපත් වී තිබෙන සාර්ව ආර්ථික වැඩ පිළිවෙළේ දළ ඉලක්කය ඔය හිඟයෙන් බාගයක් පියවා ගැනීම. ඒ කියන්නේ රාජ්‍ය ආදායම 71% කින් පමණ වැඩි කර ගැනීම. ඉතිරි 71% පොලී වියදම්. පොලී වියදම් ගෙවන්න තව දුරටත් ණය ගන්න වෙනවා. (මේ වැඩේ වෙන්නෙත් 2024දී. එතෙක් ප්‍රාථමික හිඟයක් ඉතිරි වෙනවා. අපි පහසුවට මේ ප්‍රාථමික හිඟය නැති වෙනවා කියලා හිතමු.)

රාජ්‍ය අයවැයෙහි ප්‍රාථමික ශේෂය ශුන්‍ය කරගෙන පොලී වියදම් ගෙවන්න පමණක් ණය ගත්තත්, ණය බර තව දුරටත් වැඩි වෙනවා. ණය බර වැඩි වෙද්දී පොලී අනුපාතික පහළ යන්නේ නැහැ. ණය ප්‍රතිව්‍යුහගත කිරීමෙන් පසුව ඉදිරි අවුරුදු දෙක තුනේ ණය වාරික හා පොලී ගෙවීම් පහළ යන්න පුළුවන්. නමුත්, පසුව ඒ කොටසත් එක්කම ගෙවන්න වෙනවා.

අපි හිතමු රාජ්‍ය ආදායම 71%කින් වැඩි කරගෙන පොලී වියදම් දැනට තියෙන මට්ටමේම තියා ගත්තා කියලා. එහෙම කළත් පොලී වියදම් හා රාජ්‍ය ආදායම් අතර අනුපාතය අඩු වෙන්නේ 42% පමණ දක්වා පමණයි. තව දුරටත් ලැයිස්තුවේ දෙවෙනි තැන! කරන්න බැරි දෙයක් වුනත්, ආදායම් 142%කින් වැඩි කරගෙන අයවැය හිඟය මුළුමනින්ම පියෙවුවා කියමු. ඒත් ලංකාවේ පොලී වියදම් රාජ්‍ය ආදායමෙන් (හා රාජ්‍ය වියදමෙන් ) 32.9%ක්! ලංකාව ලැයිස්තුවේ මුල් රටවල් පහ අතර.

අයවැය හිඟය පියවා ගැනීමේ ඉලක්කය අත හැරලා ප්‍රාථමික අයවැය හිඟය පමණක් පියවා ගැනීමට ඉලක්ක කිරීම ගැන ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවා එකඟ වී තිබෙන්නේ මුල් ඉලක්කය කෙටිකාලීනව කෙසේවත් ලඟා කර ගත නොහැකි ඉලක්කයක් නිසා. දෙවැනි ඉලක්කයට යන එක වුනත් ලේසි වැඩක් නෙමෙයි. වක්‍ර බදු වැඩි නොකර සෘජු බදු පමණක් වැඩි කර ඒ ඉලක්කයට වුනත් යන්න අමාරුයි. ඒ වගේම, සෘජු බදු වැඩි නොකර වක්‍ර බදු වලින් පමණක් ඔය ඉලක්කයට යන්නත් බැහැ. මේ අතරමැදි ඉලක්කයට යද්දී වුනත් රටේ සල්ලි තියෙන අයට වගේම සල්ලි නැති අයටත් පීඩා විඳින්න වෙනවා. ඒ වගේ තත්ත්වයක් තියෙද්දී, වියදම් පැත්ත අමතක කරලා ඔයිටත් වඩා බදු ගහන එක කරන්න බැහැ.

අනෙක් පැත්තෙන්, බදු වැඩි නොකර වියදම් කපා ප්‍රශ්නයෙන් ගොඩ යන්න පුලුවන්ද? මේක කොහොමටවත්ම කරන්න බැහැ. ආදායමෙන් 71%ක් පොලී ගෙවන්නම ගියාට පස්සේ අනෙක් හැම දේටම ඉතිරි වෙන්නේ 29%ක් පමණයි. ඒ ප්‍රමාණය රජය අවම මට්ටමකින් පවත්වා ගෙන යන්නවත් ප්‍රමාණවත් නැති මුදලක්. හැබැයි කපන්න පුළුවන් වියදම් නැහැ කියලා කියන්න බැහැ.

බදු වැඩි කිරීමට වගේම රජය ආදායම ඉක්මවා වියදම් කිරීමටත් විරුද්ධ කොටසක් ඉන්නවා. ඒ අය කියන්නේ වියදම් කපා ප්‍රශ්නය විසඳිය යුතු බවයි. මෙය කළ නොහැක්කක්. මෙයට ප්‍රති තර්කයක් ඉදිරිපත් කරන ඇතැම් අය පෙන්වා දෙන්නේ ලෝකයේ අනෙකුත් රටවල් එක්ක බැලුවහම ලංකාවේ රාජ්‍ය වියදම් වැඩි නැති බවයි.

දදේනි ප්‍රතිශතයක් ලෙස ගත්තොත් ලෝකයේ රටවල් වලින් 70%ක පමණම රාජ්‍ය වියදම් ලංකාවට වඩා වැඩියි. හැබැයි මේ ගොඩේ ඉහළින්ම ඉන්න රටවල් බොහොමයක්ම ඉහළ ආදායම් ලබන රටවල්. ලංකාවේ රජයට ඒ රටවල් තරමටම වියදම් කරන්න පුලුවන්ද? මේ රටවල් අතරින් කොටසක් විශාල ලෙස බදු අය කරන සමාජ ප්‍රජාතන්ත්‍රවාදී රටවල්. තවත් කොටසක් ලෝකයේ ප්‍රධාන මුදල් ඒකකයක් භාවිතා කරන, ඒ නිසාම පහසුවෙන් අඩු පොලී ණය ලබාගත හැකි රටවල්. ඔය කාණ්ඩ දෙකටම වැටෙන රටවලුත් තිබෙනවා. ඒ වගේම, ඉහළ ආදායම් ලබන රටවල් වුනත්, ණය අර්බුද වලට ගිය ඇතැම් රටවල්ද මේ ගොඩේ දකින්න පුළුවන්.

                                                                               ග්‍රීසිය – 58.5%

ප්‍රංශය – 52.1%

ඉතාලිය – 50.6%

එක්සත් රාජධානිය – 47.2%

නෝර්වේ – 45.8%

නෙදර්ලන්තය – 43.2%

ස්පාඤ්ඤය – 41.8%

ෆින්ලන්තය – 41.2%

ඩෙන්මාර්කය – 39.2%

නවසීලන්තය – 36.6%

ස්වීඩනය – 35.1%

මේ රටවල් සුබසාධනය වෙනුවෙන් සැලකිය යුතු වියදමක් දරන රටවල් බව කවුරුත් වගේ දන්නා දෙයක්. ඒ නිසාම, ලංකාවටත් ඒ තරමටම වියදම් කරන්න පුළුවන්ද? ලංකාව සංසන්දනය කළ යුත්තේ ඔය වගේ රටවල් එක්කද?

ඉහත සඳහන් රටවල් එක්ක බැලුවොත්නම් (දදේනි ප්‍රතිශතයක් ලෙස) ලංකාවේ රාජ්‍ය වියදම් වැඩි නැහැ. නමුත් කලාපීය රටවල් එක්ක බැලුවොත් කතාව ටිකක් වෙනස්.

බංග්ලාදේශය – 8.1%

මියන්මාරය – 14.7%

පකිස්ථානය – 15.5%

ඉන්දියාව – 15.7%

ඉන්දුනීසියාව – 16.5%

මැලේසියාව – 18.5%

පිලිපීනය – 19.6%

ශ්‍රී ලංකාව – 19.9%

නේපාලය – 20.2%

තායිලන්තය – 22.1%

ලෝකයේ රටවල් එක්ක බැලුවොත් ලංකාව ඉන්නේ පහළම 30% අතර තමයි. හැබැයි ඔය 30% අතර, ලංකාවටත් වඩා පහළින්, කලාපීය රටවල් ගණනාවක් දකින්න පුළුවන්. මෙයින් පැහැදිලිව පෙනෙන්නේ ලංකාවට රාජ්‍ය වියදම් අඩු කර ගැනීමේ අවකාශයක් තිබෙන බවයි.

උඩ ලැයිස්තුවේ ඇති වැඩියෙන් වියදම් කරන රටවල් විශාල ලෙස පොලී ගෙවමින්, ණය බරෙන් පීඩා විඳිමින් එසේ වියදම් කරන්නේ නැහැ. ඔවුන් වැඩියෙන් වියදම් කරන්නේ ඒ වියදම් අදාළ රටවල රජයයන්ට දරා ගත හැකි නිසයි. අනෙක් අතට ආදායමෙන් සැලකිය යුතු කොටසක් පොලී වියදම් සේ ගෙවිය යුතු පහළ ලැයිස්තුවේ රටවල් තමන්ගේ වියදම් ගැන වඩා සැලකිලිමත්.

ග්‍රීසිය – 6.6%

ප්‍රංශය – 2.9%

ඉතාලිය – 8.3%

එක්සත් රාජධානිය – 5.8%

නෝර්වේ – 0.7%

නෙදර්ලන්තය – 1.7%

ස්පාඤ්ඤය – 6.5%

ෆින්ලන්තය – 1.8%

ඩෙන්මාර්කය – 1.3%

නවසීලන්තය – 3.1%

ස්වීඩනය – 0.8%

බංග්ලාදේශය – 21.1%

මියන්මාරය – 9.6%

පකිස්ථානය – 11.5%

ඉන්දියාව – 23.0%

ඉන්දුනීසියාව – 19.1%

මැලේසියාව – 15.3%

පිලිපීනය – 13.3%

ශ්‍රී ලංකාව – 71.4%

නේපාලය – 20.2%

තායිලන්තය – 5.0%

කෙටියෙන් කිවුවොත් ලංකාව වැටී ඉන්න වලෙන් ගොඩ යන්නනම් සෘජු බදු වගේම වක්‍ර බදුත් වැඩි කරන්න වෙනවා. රජයේ වියදම් කපන්නත් වෙනවා. ඔය හැම දෙයක්ම කරන තරමට ඉක්මණින් ගොඩ යා හැකියි. හැබැයි මේ හැම දෙයකින්ම රටේ මිනිස්සු පීඩාවට පත් වෙනවා. ඒ පීඩාව දරාගත නොහැකිනම්, ප්‍රතිඵලය පීඩාව වඩා වැඩි කාලයක් විඳින්න වීම වුවත්, යම් ප්‍රමාණයක් සල්ලි අච්චු ගහන්න වෙනවා.

– ඉකොනොමැට්ටා –

Social Sharing
ආර්ථික නවතම