ජනපති පළාත් පාලන චන්දෙ කල් දමන්න උපක්‍රම යොදනවා – ඩලස්

ජනාධිපතිවරයා විසින් පළාත් පාලන මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පිළිබඳව කරන ලද ප්‍රකාශය තැති ගන්වන සුළු බියකරු ප්‍රකාශයක් බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම ප්‍රකාශ කළේ ය.

ජනාධිපතිවරයා පෙර ජනාධිපතිවරුන්ට සාපේක්ෂව පාර්ලිමේන්තුව ඇමතීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබේ. එම කිසිදු අවස්ථාවකදී වචනයකුදු සඳහන් නොකරන ලද පළාත් පාලන මැතිවරණ ක්‍රමය පිළිබඳව හදිසියේ ප්‍රකාශයක් නිකුත් කිරීම එම මැතිවරණය කල් දමා ගැනීමේ කූට උපක්‍රමයක් බව අලහප්පෙරුම මහතාගේ අදහසය.

ඔක්. 10 සඳුදා කඹුරුපිටිය ප්‍රාදේශීය සභාවේ නිදහස් ආයුර්වේද මධ්‍යස්ථානය හා දිවා සුරැකුම් මධ්‍යස්ථානය පුරවැසි අයිතියට පත් කරලීමේ අවස්ථාවේදී මන්ත්‍රීවරයා මෙම ප්‍රකාශය සිදු කළේ ය.

“මම මේ පිළිබඳව මැතිවරණ කොමිසමේ සභාපතිතුමා සමග සාකච්ඡා කළා. එතුමා කිව්වේ මැතිවරණ කොමිසම එක්ක මේ පිළිබඳව වචනයක්වත් කතා කරල නෑ කියලා. කිසිදු අදහස් විමසීමක් කරලා නෑ කියලා. එතුමා මේ අදහස දැනගෙන තියෙන්නෙත් ඊයේ මාධ්‍ය වාර්තා කරාට පස්සේ. අන්න ඒක තමයි මේකෙ තියෙන බරපතළ ම අනතුර.

පනතට අනුව, පළාත් පාලන ආයතනවල ආයු කාලය විෂය භාර අමාත්‍යවරයාගේ බලතල උපයෝගි කරගෙන වසරක් දිගු කරලයි තියෙන්නෙ.

ඒ වසරෙත් අවසන් කාර්තුව තමයි මේ ගෙවෙමින් යන්නේ. ඒ කියන්නේ මැතිවරණය සඳහා අවශ්‍ය මූලික කටයුතු සූදානම් කරන අදියරට තමයි අපි නීත්‍යනුකූලව එළැඹිලා ඉන්නේ. එහෙම තියෙද්දී මෙහෙම අදහසක් පළ කරන්නේ අවංක වුවමනාවෙන් නොවෙයි කියන එක තමයි අපේ අත්දැකීම.

පළාත් පාලන සභික සංඛ්‍යාව යම්කිසි සමාලෝචනයකට ලක් කරන එක වරදක් නෙවෙයි. ඒක හොඳ වැඩක්. මොකද විශාල මහජන මතයක් ගොඩනැගිලා තියෙනවා. දරන්න බැරි මහජන නියෝජිතයෝ සංඛ්‍යාවක් පොදු ජනතාව නඩත්තු කරනවා කියලා. එනිසා ඒ සංඛ්‍යාව සමාලෝචනය කිරීමේ කිසිම වරදක් නෑ.

ඒ වගේ ම මැතිවරණ ක්‍රමය පිළිබඳව සලකා බැලීමෙත් වරදක් අපි දකින්නේ නෑ. නමුත් බලන්න මිත්‍රවරුනි ලංකාවේ මැතිවරණ ක්‍රමවල තියෙන විකෘතිය. දේශපාලන බල ව්‍යුහයන් හතරක් ලංකාවේ ක්‍රියාත්මක වෙනවා. ඒ බල ව්‍යුහයන් හතරට ම ක්‍රියාත්මක වෙන්නේ ක්‍රම හතරක්. ජනාධිපති ක්‍රමය මුළු ලංකාව ම මැතිවරණ කොට්ඨාසයක් විදියට සලකලා පවත්වන මැතිවරණය. ඒක ගැටලුවක් නෑ.

පාර්ලිමේන්තු මැතිවරණය. ඒක තියෙන්නෙ සම්පූර්ණයෙන් ම සමානුපාතික ක්‍රමයකට පළාත් සභාව. ඒ කියන්නෙ දැනට අත්හිටුවල තියෙන පනතට අනුව පළාත් සභාවේ තියෙන්නෙ 50ට 50 සමානුපාතික කේවල මිශ්‍රණයක්.

ඒ වගේ ම පළාත් පාලන මැතිවරණවල තියෙන්නෙ 60/40 අනුපාතයේ කේවල සමානුපාතික මිශ්‍රණයක්. මැතිවරණ තුනට ක්‍රම තුනක් අපේ රටේ ක්‍රියාත්මක වෙනවා. ඒ නිසා ලෝකේ දියුණු ප්‍රජාතන්ත්‍රවාදයක් සහිත රටවල්වල ක්‍රියාත්මක වෙනවා වගේ මේ මැතිවරණවල යම්කිසි ප්‍රමිතියක් අපි ගොඩනඟා ගත යුතු වෙනවා. ඒක පිළිබඳව කිසිම ගැටලුවක් නෑ.

නමුත් අපිට සාධාරණ සැකයක් තියෙනවා ආණ්ඩුව මේ සූදානම් වෙන්නෙ මැතිවරණ සිතියම අකුළා දැමීමේ කූට උත්සාහයක දැයි මේ නිරත වෙන්නේ කියලා.

සමාජයෙන් නොමැති විකෘති මතයක් පිළිබිඹු වන පාර්ලිමේන්තු බහුතරය උපයෝගී කරගෙන මැතිවරණ කල් දැමීමේ රජයේ උත්සාහය අපි නියත වශයෙන් ම පරාජයට පත් කළ යුතුව තියෙනවා.”

ඩලස් අලහප්පෙරුම

 

(නිව්ස්පීඩියා)

Social Sharing
නවතම