අපේ පොළොවේ ඉංග්‍රීසි පැළ කරමු!

– මහේෂ් හපුගොඩ –

ඊයේ දාපු ‘වැඩවසම් ගුරුවරු සහ නියුරෝසික අසන්නන්’ සටහනට තවත් යමක් එකතු වුණොත් හොඳයි කියල හිතුණ. ඒ තමයි ඉගැන්වීමේ ක්‍රම (teaching methods) ගැන ලංකාවේ තියන අවුල. විශේෂයෙන් විදෙස් භාෂා ඉගැන්වීමේදී ‘ඉගැන්වීමේ ක්‍රම’ සහ ඒවායේ තියන ගුණාගුණ ගැන දැන් සෑහෙන කාලෙක ඉඳන් ඇකඩමික් කතා බහක් තියනවා. ඉනුත් විශේෂයෙන් ඉංග්‍රීසි දෙවන භාෂාවක් හැටියට ඉගැන්වීමේ (Teaching English as a Second Language-TESL) සාර්ථක ක්‍රම ගැන අනවරත කතා බහක් තියනවා.

මම කියන්නේ ඉගැන්වීමේ විද්‍යාවට (pedagogy) හරි ගියත් නැතත් අර කියන ටියුෂන් ගුරුවරු එයාලගේ විදියට එයාලගේ විෂය අන්තර්ගතය තමාගේ ශිෂ්‍ය ප්‍රජාවට අරන් යන්න එයාලගෙම කියල ක්‍රමවේද හොයාගනිමින් ඉන්නවා කියන එක. ඒවා ඇතුලේ වැඩවසම් කෑලි, සම්ප්‍රදායික අගතීන්, ලිංග භේද අගතීන් වැහි වරුසාවට තියනවා ඇති. හැබැයි සිංහල උගන්වපු උපුල් ශාන්ත සන්නස්ගලගේ ඉඳල වයිරල් තිස්ස ගජනායක දක්වා පිරිසක් උත්සාහ කරලා තියනවා තමන් උගන්වන විෂය තමන්ගේ ග්‍රාහකයින් වෙත ගෙනියන්න.

උත්සාහ කරලා තියනවා විතරක් නෙවෙයි එයාලගේ ෆෑන් බේස් (fan base) එක ගත්තම එයාල ඒ වැඩේ ඇතුලේ විශාල ප්‍රමාණයකට සාර්ථක වෙලත් තියනවා. මම කියන්නේ ඉංග්‍රීස් දෙවන භාෂාවක් හැටියට උගන්වන ගුරුවරු මේ ගැන සැළකිලිමත් වෙන්න ඕනි කියල.

මේ ඉගැන්වීම නිසා ම ඒ ගුරුවරු යම් කල්ට් (cult) එකක් හදාගෙන තියනවා වෙන්නත් පුළුවන්. ඒ නිසාම ගවේෂකයින් (discoverers) වෙනුවට අසන්නන් (followers) පිරිසක් ඇතිවෙලා තියන්වා වෙන්නත් පුළුවන්. හැබැයි අර විභාග වලට ඕනි විදියට සහ ඒවා සමත් වෙන විදියට එයාල විෂය අන්තර්ගතය (subject content) උගන්වල තියනව කියන එක අපි පිළිගන්න ඕනි. ඒ වගේම විශාල සිසුන් පිරිසක් තවමත් ඉංග්‍රීසි අසමත් වෙන බවත් අපි පිළිගන්න ඕනි.

මේ පොළොවේ තත්වයන් එක්ක මේ පොළොවේ උදාහරණ එක්ක මේ ටියුෂන් ගුරුවරු එයාලගේ විෂය එයාලගේ විදියට පැල කරන්න හදල තියනවා. හැබැයි ඉංග්‍රීසි වල එහෙම සිත්ගන්නා සුළු උදාහරණ ඇත්තෙම නැති තරම්. එක්කෝ ඉන්නවා ඇති මම දන්නේ නැතුව.

එක කාලයක් ඉංග්‍රීසි ගුරුවරු උඩ පැන්න සෘජු ක්‍රමවේදය (Direct Methods) හරි කියල. ඊට පස්සේ ඒක හරි නැහැ කියල ව්‍යාකරණ පරිවර්තන ක්‍රමයට (Grammar Translation Method) ගියා. ඒකත් හරි නැහැ කියල ශ්‍රවන රසනක ක්‍රමය (Audio Lingual Method) හොයාගත්ත. ඊට පස්සේ ව්‍යුහවාදී ක්‍රමය (Structural Method). ඊටත් පස්සේ සන්නිවේදන ක්‍රමවේදය (Communicative Approach). පසුව නිහඬ ක්‍රමය (Silent Way). දැන් ටවුමේ තියන අලුත්ම එක තමයි මිශ්‍ර ක්‍රමය (ඒ කියන්නේ මූණට මූන සහ ඔන්ලයින් දෙක පූට්ටු කරපු ක්‍රමය – Blended Learning).

තව ටිකක් කල් ගියාම සුද්දෝ තවත් මොකක් හරි ක්‍රමයක් උන්ගේ ලෝකයට හරියන විදියට හොයගනී. එතකොට මෙහෙන් අචාර්ය උපාධි ගන්න එහෙට යන අය ඒවා දිව්‍ය වාක්‍ය වගේ අදහගෙන ඇවිල්ලා මෙහෙ අතඅරියි. අපේ උන් කට අයාගෙන ඒවා අහගෙන ඉඳියි. ඉංග්‍රීසි එතනම තියෙයි.

මම කියන්නේ අපේ ලෝකය ඇතුලේ අපේ අත්දැකීම් නොබියව සිත්ගන්නාසුළු විදියට කියන්න ඕනි ඉංග්‍රීසියක් අපිට ඕනි නැද්ද? රැජිණගේ එකම අපිත් කියවන්න ඕනිද? නැත්නම් බ්‍රිතාන්‍ය කවුන්සිලේ කියන විදියටමද අපි ඒක කරන්න ඕනි?

ඉංග්‍රීසි ගෝලීය වෙන්න හේතුව ලෙස ස්ලාවෝ ජිජැක් දකින්නේ එය මුල් ප්‍රභවයෙන් ඛණ්ඩනය වෙමින් වෙනස් වෙනස් භූමි වල වෙනස් වෙනස් අයුරින් ඒක පැළ වීම. ඒ පැළවීම් ඇතුලේ ඒ භුමියේ අලුත් එකක් හටගැනීම. උදාහරණ වශයෙන් ඇමෙරිකන් ඉංග්‍රීසි ඇමෙරිකාව ඇතුලේ පැළ වෙලා අලුත් අත්දැකීම් ප්‍රමාණයක් ලෝකයට එකතු කළා. ඉන්දියාව උණත් එහෙමයි.

අර ටියුෂන් සෙට් එක මොන අගතීන් යටතේ උණත් එයාලගේ විෂය එයාලගේ ශ්‍රාවකයෝ ළඟට අරන් ගියා. අපේ හාමුදුරු ටික උණත් යම් යම් විදියට සාර්ථක වෙලා තියනවා ඒ අතින්. ඒත් ඉංග්‍රීසි? ඒක එතැනමයි. පැළ වෙන්නේ නැහැ. පැළ කරන්න විදියක් හොයාගෙන නැහැ. ඒක තවමත් අපේ නෙවෙයි. ඒක අඟහරු ලෝකේ කුරුමිට්ටන්ගේ. ඒලියන් භාෂාවක්. An alien language.

උපුටාගැනීම : ෆේස්බුක්

Social Sharing
නවතම විශේෂාංග