2020 සටනේ අනුරාධපුරෙන් එලියට හා ඇතුලට ගිය ඇත්තෝ!     

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණයේදී අනුරාධපුර දිස්ත්‍රිකකයේ මන්ත්‍රී ආසන නමයෙන් මන්ත්‍රී ආසන හතක් ලබා ගනිමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ විශිෂ්ඨ ජයග්‍රහණයක් ලබාගනිද්දී පසුගිය පාර්ලිමේන්තුවේ සිටි පක්ෂ විපක්ෂ ප්‍රබලයන් කිහිප දෙනෙකුට එම ධූර අහිමි කරමින් පාර්ලිමේන්තුවට අනුරාධපුර දිස්ත්‍රික්කයේ කෝඩුකාර නවක මන්ත්‍රීවරුන් පස් දෙනෙකු තෙරීපත්වීම විශේෂත්වයකි.

මේවර මනාප ලයිස්තුවේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට හිටපු අමාත්‍ය අනුරාධපුර දිස්ත්‍රික් නායක එස්.එම් චන්ද්‍රෙස්න මහතාට හැකිවී තිබු අතර, ඒ මහතා ලබාගත් මනාප සංඛ්‍යාව 139368 කි. ඒ මහතා පසුගිය 2015 වසරේ ලබාගත් මනාප ඡන්ද 118234 ප්‍රමාණයට තවත් මනාප ඡන්ද 21134 එක්කාසුකර ගැනීම විශේෂත්වයකි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනුවෙන් නවකයන් ලෙස පාර්ලිමේන්තුවට තරඟ කල මහාචාර්ය චන්න ජයසුමන මහතා මනාප 133980 ලබාගෙන මනාප ප්‍රථිපල සටහනේ දෙවන ස්ථානයට පත්වී සිටින අතර ප්‍රවීණ චිත්‍රපට හා ටෙලි නාට්‍ය නළු උද්දික ප්‍රේමරත්න මහතා මනාප  133550 ලබාගෙන ප්‍රථිපල සටහනේ තෙවන ස්ථානය හිමිකරගෙන සිටි.

හිටපු උතුරුමැද පලාත් සභා මන්ත්‍රී කේ.එච් නන්දසේන මහතා මනාප ඡන්ද 53618 ක් ලබාගෙන ප්‍රථිපල සටහනේ හයවන ස්ථානයත් හිටපු උතුරුමැද පලාත් සභා මන්ත්‍රී කේ.පී.එස් කුමාරසිරි මහතා මනාප ඡන්ද 49030 ලබාගෙන ප්‍රථිපල සටහනේ හත්වැනි ස්ථානය හිමිකරගෙන සිටී. නවකයන් හා කෝඩුකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ලෙස ඔවුන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් මෙවර පාර්ලිමේන්තුව නියෝජනය කිරීමට නියමිතය.

ප්‍රථිපල සටහනේ සිවුවැනි ස්ථානය හිමිකර ගැනීමට හිටපු රාජ්‍ය අමාත්‍ය එච්.බී ශෙහාන් සේමසිංහ මහතාට හැකිවී තිබෙන අතර ඒ මහතා මනාප ඡන්ද 119878 ලබාගෙන තිබෙන අතර පසුගිය මැතිවරණයේ මනාප ඡන්ද 64865 ලබාගත් ඒ මහතා මෙවර මනාප ඡන්ද 55013ක් සිය මනාප ගොන්නට එක්කාසු කර ගෙන තිබේ.

හිටපු රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මනාප ඡන්ද 75535 ලබාගෙන මනාප ලයිස්තුවේ පස්වන ස්ථානයට පත් වී සිටින අතර, ඔහු ගියවර ඡන්දයේදී ලබාගත් මනාප ඡන්ද 60071ක ප්‍රමාණයට තවත් මනාප 15464 ප්‍රමාණයක් එක්කාසු කරගෙන තිබේ.

සමගි ජනබලවේගයෙන් පළමුවරට දියවන්නාවට තරඟ කල උතුරුමැද පළාත් සභාවේ හිටපු මන්ත්‍රී රෝහන බණ්ඩාර විජේසුන්දර මහතා එම මනාප ලයිස්තුවේ මනාප ඡන්ද 39520 ක් ලබාගෙන දෙවන ස්ථානයට පත්වෙමින් පාර්ලිමේන්තුවට නවකයෙකු වශයෙන් තේරී පත්වීමට සුදුසුකම් ලබා තිබේ.

ගියවර මැතිවරණයෙදී එක්සත් ජාතික පක්ෂ මනාප 44626 ලබාගෙන ලයිස්තුවේ සිව්වැනි ස්ථානය ලබාගත් අබ්දුල් ඉෂාක් රහුමාන් මහතා මෙවර සමගි ජනබලවේගය යටතේ තරගකර මනාප ඡන්ද 49298 ලබාගනිමින් එම ලයිස්තුවේ ප්‍රථම ස්ථානයට පත්වී තිබේ. පසුගිය මැතිවරණයට වඩා ඔහු මනාප ඡන්ද 4672ක් එක්කාසු කර ගැනීමට සමත්වි තිබුණි.

සමගි ජනබලවේගයෙන් පාර්ලිමේන්තුවට තරඟ කල දශක දෙකක පමණ කාලයක් අනුරාධපුර නැගෙනහිර හා අනුරාධපුර බටහිර ආසනවල නායකයන් ලෙස කටයුතු කල එක්සත් ජාතික පක්ෂයේ ප්‍රබලයන්වූ හිටපු අමාත්‍ය චන්ද්‍රාණි බණ්ඩාර මහත්මිය මෙවර මනාප ඡන්ද 34215 ප්‍රමාණයක් ලබාගෙන ඇති අතර, පෑලිස්ගේ හැරිසන් මහතා මනාප ඡන්ද 30900 ලබාගෙන සිය ස්ථානයන් අහිමිකර ගැනීම විශේෂත්වයකි.

මෙවර පාර්ලිමේන්තුව අහිමිවී ඇති සෙසු මන්ත්‍රීවරයා වන්නේ උතුරු මැද පලාතේ හිටපු පළමු ප්‍රධාන අමාත්‍යවරයාවූ ජී.ඩි මහින්දසෝම මහතාගේ පුත්‍රයාවු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම ගමගේ මහතායි. ඔහු ලබාගෙන ඇති මනාප සංඛ්‍යාව 29324 කි. පසුගිය පාර්ලිමේන්තු මැතිවරණයේදී පෑලිස්ගේ හැරිසන් මනාප 113346 ක් චන්ද්‍රාණි බණ්ඩාර මනාප 83666ක් හා චන්දිම ගමගේ මනාප 50112 ලබාගෙන මනාප ලයිස්තුවේ ඉහලින් සිටියහ.

පසුගිය 2015 මැතිවරණයෙදී අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මනාප ඡන්ද 69489 ලබාගෙන මනාප ලයිස්තුවේ දෙවැනියාවූ වීරකුමාර දිසානායක හා මනාප 54460 ලබාගෙන මනාප ලයිස්තුවේ පස්වෙනියාවූ එච්.සි මුතුකුමාරණ මහතාට මෙවර පාර්ළිමෙන්තුවට තේරිපත්වීමට නොහැකිවිය.

මැදවච්චිය ආසනයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයට එක්සත් ජාතික පක්ෂයෙන් තරඟ කල හිටපු අමාත්‍ය ආචාර්ය මර්වින් සිල්වා මහතා හා ජාතික ජනබලවේගයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් මහ මැතිවරණයට තරඟ කල වසන්ත සමරසිංහ මහතාත් අන්ත පරාජයකට පත්විමත් විශේෂත්වයකි.

  • අනුරාධපුර මහේෂ් විජේසුරිය
Social Sharing
නවතම