දෙමළා වුනත් ඛේදවාචකයේ නවතම වින්දිතයා දර්ශන් ධර්මරාජ්

නන්දා මාලිනිය විසින් ගායනා කරන ගීතයක ඇතුළත් පදයක් වූ ” දෙමළා වුනත්” වචන කිහිපයට ඒ දිනවල ප්‍රගතිශීලී ව්‍යාපාරයන් ගෙන් දැඩි විරෝධයක් එල්ල විය.

එම පද කිහිපය පසුකාලීනව සිංහල සමාජයේ ගැවසුනු, සිත් දිනාගත් දෙමළ ජාතිකයන්ට භාවිතා විය. ලක්ෂ්මන් කදිරගාමර් මහතා දෙමළ වුනත් වෙසක් උත්සවය ලෝක සැමරුම් දිනයක් කළ බවත්, දෙමළ වුනත් එල්ටීටීඊ ය ජාත්‍යන්තරව තහනම් කිරීම කළ බවත් පැවසූහ.

දෙමළා වුනත් අදහස නැවත සමාජය තුළ ප්‍රචලිත වූයේ චරිතාංග නළුවෙක් වූ දර්ශන් ධර්මරාජ් ගේ හදිසි, කම්පන සහගත වූ මරණය නිසයි.

ලංකාවේ කලා ක්ෂේත්‍රයේ දෙමළ බිස්නස් ප්‍රජාවක් සිටියි. ඔවුන් බොහෝවිට ද්විභාෂිතයි. නැත්නම් ත්‍රිභාෂිතයි. ඔවුන් කොළඹ වටේ තියෙන කලා හා සංස්කෘතික කටයුතු වල අයිතිකාරයන් වේ.

මේ ව්‍යාපාරික කලා දෙමළ ප්‍රජාව විසින් කාලයක් මුලුල්ලේ දෙමළ ජනතාවගේ අනන්‍යතාවයන් රැක ගනිමින් ඔවුන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් දකුණේ සිට අරගල කළ ප්‍රගතිශීලී දෙමළ ජනතාව පසුපසට ඇද දැමුවේ ය.

ඔවුන්ගෙන් බාහිරව කලා ලොව යමක් සිදුනොවේ. රාජ්‍ය නොවන සංවිධාන, වෙළඳ දැන්වීම් ව්‍යාපාරයන්, ටෙලිනාට්‍ය, චිත්‍රපට වල අවශ්‍යතාවයන්ට මැදිහත් වන අතර වෙනත් බාහිර කිසිවෙකුට ඊට සම්බන්ධවීමට ඉඩක් නොදේ.

මේ පිරිස යුද සමයේ රාජපක්ෂ රෙජීමයට සහය දැක්වූ අතර තමන්ගේ ම දෙමළ ජනතාවට එරෙහිව කටයුතු කලේය. ඒ අතර සිංහල ජනතාව අතර රටට ආදරය කරන ජනතාවක් ලෙස පෙනී සිටියේය. ඒ නිසාම දැඩි යුද සමයේ වුව ඔවුනට නිදහසේ සැරි සැරීමට බාධාවක් නොවීය.

ඔවුන් සිංහල ටෙලිනාට්‍ය හා සිනමා නිර්මාණයන්හී දෙමළ ජනතාව නියෝජනය කිරීමේ වගකීම දැරුවේය. ජාත්‍යන්තර ප්‍රජාවගේ සංහිඳියා ව්‍යාපෘතීන් හී කොටස්කරුවන් වූ ඔවුන් සිංහල සමාජයේ ” දෙමළා ” වුනත් ව්‍යපෘතිය ඉදිරියට ගෙන ගියේය.

දර්ශන් ගේ ඉරණම ඒ අතින් ඛේදවාචකයකි. මන්ද ඔහු රංගන පෞරුෂය දෙමළා වුනත් ව්‍යාපෘතිය තුළ දිය වීමයි. දර්ශන් ගැන කතා කරන සියලුම කලා ක්ෂේත්‍රයේ නියැළෙන බොහෝ දෙනෙක් දෙමළා වුනත් කියමින් පවසන්නේත් ඔහු ද කලින් සඳහන් කළ ප්‍රජාවට අනුගතවීම නිසයි.

දර්ශන් ගේ අවාසනාව ඔහු තරුණ වියේදීම මිය යෑම පමණක් නොවේ. ඔහුගේ අනන්‍යතාව රැකෙන පරිදි රංගනයක නියැලීමට නිර්මාණ කේෂ්ත්‍රය තුළ ඉඩක් නොලැබීම යි.

මුස්ලිම් කලාකරුවන් ගේ ඉරණම ද මීට වෙනස් නොවේ.

සුදේශ් ද සිල්වා

Social Sharing
අවකාශය නවතම