විශ්වයේ තිතක් වූ අපි..!!

ඔබට ඊතලයෙන් පෙන්වන තිත පැහැදිලිව පේනවා කියලා මම හිතනවා. අපැහැදිලි නම් ටිකක් ලංවෙලා බලන්න. මොකද මේක ලොව මෙතෙක් බිහි වූ විශිෂ්ටතම ඡායාරුප වලින් එකක්. මේක 1990 දී වොයජර් යානය මගින් ගනු ලැබුවක්.

කිලෝමීටර බිලියන 6 ක් දුර සිට පෘථිවිය දෙස බලන කෙනෙක්ට පෘථිවිය පේන විදිහ මේ ඡායාරුපයෙන් පෙන්නුම් කරනවා. සෞරග්‍රහ මණ්ඩලය තුල ඉතාමත්ම පුංචි නිල්පාට තිතක් විදිහට දිස්වන ඒ ඡායාරූපය ප්‍රසිද්ධ වෙන්නෙ Pale Blue Dot කියන නමෙන්. මේ ඡායාරූපයට වශී වුන කාල් සේගන් නම් විද්‍යාඥයා පහත වචන කීපය ඒ වෙනුවෙන් ලියා තිබුනා. මේ වචන ටික ඇතුලෙ මහ ගොඩක් දේවල් තියෙනව.

“අර පෙනෙන කුඩාම කුඩාම තිත දෙස බලන්න. ඒ තමයි අපි. ඒ තමයි මෙතන. අපේ ගෙදර. ඒ තිත ඇතුලේ තමා ඉන්නේ ඔබ දන්නා සියලුම දෙනා.. ඔබ ආදරය කරන සියලු දෙනා.. ඔබ දන්නා නොදන්නා සියලු දෙනා ජිවත් වෙන්නේ, ජිවත් වුනේ ඒ තිත ඇතුලේ. අපි සතුටු වෙන්නෙත්, වේදනා විඳින්නෙත් ඒක ඇතුලේ ඉඳන්.

දහස් ගණන් ආගම්, දර්ශන, ආර්ථික ක්‍රම තියෙන්නේ ඒක ඇතුලේ යි.
දඩයක්කරුවත් – මංකොල්ලකරුවත් දෙන්නම ඉන්නේ ඒකෙ. විරයත් – බයගුල්ලත් ඉන්නේ ඒකෙ.

ශිෂ්ටාචාරය හදන්නෙත් ඒකෙ – විනාශ කරන්නෙත් ඒකෙ. රජවරු, වහල්ලු, මව්වරු, පියවරු, ගුරුවරු, සංචාරකයෝ, ප්‍රේමයෙන් වෙලුණු තරුණ ජෝඩු, බලාපොරොත්තු පිරුණු දරු පැටවු, දුෂිත දේශපාලකයෝ, සුපර් ස්ටාර් ලා, එකාධිපතියෝ, ශාන්තුවරු, පවුකාරයෝ ඔක්කොම ඉන්නේ අර පේන පුංචිම පුංචි තිත ඇතුලේ. අපේ පෘථිවිය කියන්නේ විශ්වය ඇතුලේ බොහොම පුංචි තිතක්.

නමුත් හිතන්න මේ මොහොතේත් ඒ තිත ඇතුලේ එක කොනක පදිංචි පිරිසක් තවත් කොනක පදිංචි පිරිසක් විසින් ආක්‍රමණය කරමින් ඉන්නවා. මේ පුංචි තිත ඇතුලේ ඒ මායිම් ලකුණු කරන්නවත් බැරි වුනාට ඒ දෙගොල්ලන්ගේ සිත් ඇතුලේ තියන තරහව, ක්‍රෝධය කොච්චර විශාල ඇත්ද?

උන් උන්ව මරාගන්න උන්ට කොච්චර වුවමනාවක් තියනවා ඇත්ද?
ඒ වෙනුවෙන් කොච්චර ලේ හැලෙනවා ඇත්ද?
අර ඇහැට යාන්තන් පේන තිත බෙදා ගන්න බැරුව? ”

ඉතිං මිත්‍රවරුනි අන්තිමට මම කියන්න උත්සාහ කරේ මේකයි, ඒ තමයි ඔබ මම අපි හිතන තරම් අපි විශාල වත් දියුණු වත් නැහැ. මේ තිතට වඩා ගොඩක් දියුණු ගොඩක් දේවල් මේ විශ්වයේ තියෙනවා. මේ තිත ඇතුලෙ ඉන්න ඔබෙන් මම එක දෙයක් විතරක් ඉල්ලන්නම්..!

ඔබට යන්නට පුළුවන් තරම් ඉහලට යන්න. ඒත් ඒ වෙනුවෙන් තව කෙනෙක් පහළට ඇදලා දමන්න තරම් මෝඩයෙක් වෙන්නට එපා. මොකද අපි හැමෝටම වඩා ඉහලින් තවත් බොහෝ දේවල් තියෙනවා. ඒක මතක තියාගන්න.!

(උපුටාගැනීමකි) මනීෂා උඩවත්ත මු.පො.

Social Sharing
අවකාශය නවතම