එළියට යනවා නං නළලේ පොට්ටුව මකාගෙන යන්ඩ

එල් වෛත්‍යනාදන්, එල් සුබ්‍රමානියම් සහ එල් ශංකර් ලෝකයා හඳුනන්නේ වයලීන් බ්‍රදර්ස් නැතිනම් වයලීන සහෝදරයෝ ලෙස. වැඩිමලා එල් වෛත්‍යනාදන්. දැන් මිය ගිහින්. මද්දුමයා එල් සුබ්‍රමානියම්. විශිෂ්ඨ වයලීන වාදකයෙක් සහ සංධ්වනි මෙහෙයවන්නෙකු ලෙසද ප්‍රකටයි. බාලයා එල් ශංකර්. මේ සහෝදරයින් තිදෙනා අතරින් ප්‍රථමයෙන්ම බටහිර සංගීත කරලියේ නමක් දිනාගත් චරිතයයි එල් ශංකර්. ප්‍රකට ජෑස් ගිටාර් වාදක ජෝන් මැක්ලොෆ්ලින් ගේ නායකත්වයෙන් සකීර් හුසේන්, රාමන්ඩ් රාඝවන් සහ වික්කු විනයාක්රාම් (මගේ ගුරුජි) ගේ සංයෝජනයෙන් 1974 දී ආරම්භ කළ ශක්ති සංගීත කණ්ඩායමට වයලීන වාදකයෙකු ලෙස එක්වූ එල් ශංකර් ඉතා කෙටි කලකදී ජාත්‍යන්තර ප්‍රජාවගේ අවධානයට ලක්වුනා.

ඩබල් වයලීනය ලෝකයට හඳුන්වා දුන්නේ ඔහුයි. Peter Gabriel, Phil Colins, Elton John, Bruce Springsteen, Yoko Ono වැනි ලෝක ප්‍රසිද්ධ සංගීතවේදීන් සමග ගනුදෙනුවක යෙදුනු, ග්‍රැමී සම්මානයෙන්ද පුදලද ප්‍රථම දකුණු ඉන්දියානු වයලීන වාදකයා ඔහුයි.

මදුරාසි සංගීත මහෝත්සවය පැවැත්වූ දෙසැම්බරයේ දවසක මට එල් ශංකර් මුණ ගැහෙනවා. එකල ඔහු ජීවත්වුනේ ඇමෙරිකාවේ. ප්‍රසංගයකට සහභාගී වෙන්නට මදුරාසියට පැමිණි වේලේ ඔහු නවාතැන්ගෙන සිටි New Woodlands හෝටලයේ අවන්හලේදියි ඔහු මට හාපුරා කියා මුලිච්චි වෙන්නේ.

“අපේ අප්පා ලක්ෂ්මිනාරන් අයියර්. වයලීන වාදකයෙක් සහ ගුරුවරයෙක්. අම්මා සීතාලක්ෂ්මි. ඇය වීණා වාදනයට දක්ෂයි. අපේ පවුලේ සහෝදරයෝ තුන්දෙනයි සහෝදරියෝ දෙන්නයි. අපේ අප්පා 1940 ගණන්වල අග යාපනයේ රාමනාදන් සංගීත විද්‍යාලයේ ආචාර්යවරයෙකු ලෙස පත්වීමක් ලැබ ලංකාවට සංක්‍රමණය වෙනවා. අපේ පවුලේ උදවිය සේරම යාපනයට පදිංචියට යනවා. මම වයලීන වාදනය ඉගෙනගන්න පටන් ගත්තේ පුංචිම කාලේ. මගේ මංගල වයලීන වාදන ප්‍රසංගය අරන්ගේත්‍රම් පවත්වනකොට මට වයස අවුරුදු හත පිරුනා විතරයි. ප්‍රසංගය පැවැත්වුනේ නල්ලූර් කන්දසාමි කෝවිලේ මැද මිදුලේ. වසර ගනනාවක්ම යාපනයේ සේවය කළ අප්පා පසු කලෙක කොළඹ ලලිත කලා විද්‍යාලයට මාරුවක් හදාගන්නවා. අපි නතරවෙලා හිටියේ බොරැල්ල හන්දියට කිට්ටු ගෙදරක”

“1958 මැයි මාසේ දවසක අපිට හිතවත් අසල්වැසියෙක් ඇවිත් අප්පාට දැනුම් දෙනවා රටේ පුංචි කලබලකාරී වාතාවරණයක් මතුවෙමින් තියෙන නිසා පොඩ්ඩක් අවදානමින් ඉන්න කියලා. පොඩි අපට මේ ගැන ලොකුවට තේරුමක් නැහැ. මොනවාගේ කලබලයක්ද. කාටවත්ම කරදරයක් නැතිව ජීවත්වෙන අපිට කවුද එදිරිවාදිකමක් කරන්නට ඉදිරිපත් වෙන්නේ. අවට හිටිය හැමෝම අප්පාගේ යාළු මිත්‍රයෝ. ඒ අය අප්පාට හරි ලෙන්ගතුයි. අප්පාව ඇමතුවේ මාස්ටර් කියලා. ඒ වුනත් මට මතකයි අප්පා, අම්මටයි අක්කලා දෙන්නටයි කියනවා එළියට යනවා නං නළලේ පොට්ටුව මකාගෙන යන්ඩ කියලා. ඔන්න එතකොට නං අපිට යාන්තමට බයක් දැනුනා”

ඔය කියන්නේ 1958 කෝලාහලේ ගැන. ඒකට සුළුතර දෙමළ ජනතාව බලක්ක කරගත් ලංකාවේ ප්‍රථම දෙමළ විරෝධී සංහාරය කියලත් කියනවා. ඊට ඉහත වසර දෙකක පමණ වේලේ සිට කැකෑරෙමින් තිබුනු ආරෝවන් උච්ච වුනා. 1958 මැයි විසි දෙවැනිදා සිට විසි නව වෙනිදා දක්වාම මේ කරලි කෝහල දිග්ගැහුනා. මියගිය ගණන 158 සිට 1500 දක්වා වග විවිධ ලිපිලේඛන වල සඳහන් වෙනවා. වින්දිතයින් වැඩි පිරිස ද්‍රවිඩ ජාතිකයින් වුනත් මඩකලපුව සහ යාපනය දිස්ත්‍රික්ක පුරා දෙමළ මැර කල්ලි එල්ල කළ ප්‍රතිප්‍රහාර හේතුවෙන් සිංහලයින්ගේ දේපළ වලටද හානි වුනා. මේ අවාසනාවන්ත වාර්ගික කෝලාහලය නිසා සිංහල සහ දෙමළ ප්‍රජාවන් අතර විශ්වාසය බිඳුනා.

“කළුවර වැටුනා. බොරැල්ල හන්දිය පැත්තෙන් විශාල සද්දයක් ඇහෙනවා. කලහකාරී පිරිස් දෙමළ ගෙවල් හොය හොයා ගහනවා. අපේ අල්ලපු ගෙදර හිටියේ සිංහල පවුලක්. අපිට හරීම හිතවත්. ඒ ගොල්ලෝ අපිට කිව්වා ගේ පිටිපස්සේ තාප්පෙන් පැනලා ඒ ගොල්ලන්ගේ ගෙදරට එන්න කියලා. අපි වෙන කිසිම දෙයක් ගත්තේ නැහැ. අපි කට්ටියම අපේ වයලීන විතරක් අරං කාටත් නොපෙනෙන්න අල්ලපු ගෙදරට ගිහිං හැංගුනා”

ඊට දවස් කිහිපයකට පස්සේ තමන්ගේ වයලීන විතරක් තුරැළු කරගෙන ඇඳිවත පිටින්ම ශංකර්ලා ලංකාව අතඇරලා යන්නම යන්න ගියා

එක අතකට මේ නාරාවලේ තැවෙන්නේ නැතිව ශංකර්ලා මෙහෙන් ගිය එක කොච්චර වාසනාවක් ද?

-විෂ්ණු වාසු-
උපුටාගැනීම : ෆේස්බුක්

Social Sharing
අවකාශය නවතම