රජය තවමත් කරන්නේ අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීමද?

කොරෝනා වයිරස වසංගතයෙහි ව්‍යාප්තිය වැළැක්වීම සහ අවම කිරීම සඳහා, කොළඹ සිටින/කොළඹට අනුයුක්ත රාජ්‍යතාන්ත්‍රිකයින් ශ්‍රී ලංකාවට ඇතුළු වන විට/නැවත පිටවන විට ඔවුන් සම්බන්ධයෙන් සිදුකළ යුතු PCR පරීක්ෂණ සහ නිරෝධායන ක්‍රියා පටිපාටි සම්බන්ධයෙන් ජුනි 4 වැනි දින ජනාධිපති ලේකම් කාර්යාලය විසින් සංශෝධිත උපදෙස් හදිසියේම  නිකුත් කෙරුණි.

ඊට හේතු වුයේ ඇමරිකානු රාජතාන්ත‍්‍රික නිලධාරියකු කටුනායක ගුවන් තොටුපලේ PRC පරීක්ෂණය ප‍්‍රතික්ෂේප කර මෙරටට ඇතුල් වීම නිසාය. මෙම ඇතුල් වීම මාධ්‍ය හරහා ප්‍රසිද්ධ වුයේ නැතිනම් මෙලෙස නිරෝධායන උපදෙස් හදිසියේම සංශෝධිත නොවනු ඇත.

කෙසේ නමුදු මෙම සංශෝධිත වු උපදෙස් සම්බන්ධයෙන්  කොළඹ පිහිටි සියලු රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල, එක්සත් ජාතීන්ගේ නියෝජිත කාර්යාල සහ එහි විශේෂිත නියෝජිතායතන්, ජාත්‍යන්තර සංවිධාන සහ නිර්වේතනික කොන්සල් කාර්යාල වෙත රාජ්‍යතාන්ත්‍රික මාර්ග ඔස්සේ දැනුම් දීමට විදේශ සබ‍ඳතා අමාත්‍යාංශය වහාම පියවර ගෙන තිබුණි.

මෙම සංශෝධිත උපදෙස්  වුයේ :

අදාළ බලධාරීන්ගෙන් පූර්ව අනුමැතිය ලබා ගැනීම පිණිස, රාජ්‍යතාන්ත්‍රික කටයුතු සඳහා ශ්‍රී ලංකාවට ඇතුළුවීමට/නැවත පිටවීමට නියමිතව සිටින රාජ්‍යතාන්ත්‍රිකයින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් පිළිබඳ තොරතුරු, අදාළ රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල විසින් විදේශ සබඳතා අමාත්‍යාංශයට වාචික සටහනක් (Note Verbal) මගින් කල්තබා දැනුම් දිම.

එම රාජ්‍යතාන්ත්‍රික කාර්ය මණ්ඩලයේ සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් විසින් අදාළ රටවලින් පිටත්ව යාමට පෙර පැය 72 ක් ඇතුළත ලබාගත් PCR පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කළ යුතු වීම.    

එම රාජ්‍යතාන්ත්‍රික කාර්ය මණ්ඩලයේ සාමාජිකයින්ට සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට අදාළ PCR පරීක්ෂණ වාර්තා ලබා දීමට නොහැකි නම්, ඔවුන් කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපලේ දී අනිවාර්ය PCR පරීක්ෂණයකට භාජනය කිරිම.

දූත මණ්ඩල ප්‍රධානීන් සහ පවුලේ සාමාජිකයන් ඔවුන්ගේ නිල නිවාසවල දී ස්වයං නිරෝධායනයට ලක් විය යුතු අතර  පැමිණෙන අනෙකුත් සියලුම රාජ්‍යතාන්ත්‍රික කාර්ය මණ්ඩලය සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින් දූතමණ්ඩල ප්‍රධානීන්ගේ එකඟතාවයට හා අධීක්ෂණයට යටත්ව දින 14 ක කාලයක් සඳහා ශ්‍රී ලංකා රජය විසින් නිර්දේශ කරනු ලබන හෝටලයක (වෙන් වෙන් වශයෙන් පිහිටි නිවාස නොමැති නම්) නිරෝධායන ක්‍රියා පටිපාටීන් අනුගමනය කළ යුතු වීම.     

මෙම දින 14 ක නිවාස නිරෝධායනය අවසන් වූ වහාම ඒ බව රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල/නියෝජිතයින් විසින් විදේශ සබඳතා අමාත්‍යාංශයට දැනුම් දිය යුතු වන අතර, කොරෝනා වයිරස් වසංගතය පැතිරීම පාලනය කිරීමට සහ වැළැක්වීම සඳහා දූත මණ්ඩලය විසින් ගනු ලැබූ ක්‍රියාමාර්ගයන්ට අනුව, එම නිලධාරියා දූත මණ්ඩලයෙහි සේවය නැවත ආරම්භ කිරීමට පෙර දූත මණ්ඩලය මඟින් සිදු කරන ලද දෙවැනි PCR පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කිරිම.     

රාජ්‍යතාන්ත්‍රික කාර්ය මණ්ඩලයේ සහ ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ගේ ගමන් විස්තර, ඔවුන් පිටත් වීමට අවම වශයෙන් පැය 48 කට පෙර රාජ්‍යතාන්ත්‍රික දූත මණ්ඩල/නියෝජිත කාර්යාල මඟින් මෙම අමාත්‍යාංශයේ සංධාන ප්‍රධානී වෙත යැවිය යුතු වීම

යන කරුණුය.

ශ්‍රී ලංකා රජය විසින් නිකුත් කරනු ලබන ඉහත ක්‍රියා පටිපාටීන් අනුගමනය කිරීම සඳහා ඇති එකඟතාවයට යටත්ව, රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් ශ්‍රී ලංකාවට පැමිණීම අනුමත කරන බව විදේශ අමාත්‍යාංශය තවදුරටත් පවසා තිබුණි.

මෙම ඇමරිකානු රාජ්‍ය ත්‍රාන්ත්‍රික නිලධාරියාගේ පැමිණීම සම්බන්ධයෙන්  අමෙරිකානු තානාපති කාර්යාලය ද  නිල නිවේදනයක් නිකුත් කර තිබුණි.  එහි සඳහන් වුයේ සිය රාජතාන්ත‍්‍රික කාර්ය මණ්ඩලය සම්බන්ධයෙන් සෑම විටම විදේශ සබදතා අමාත්‍යාංශය සමග සමීපව කටයුතු කරන බවය.

නමුත් මෙහිදි විශේෂ අවධානයට යොමු කළ යුතු ප්‍රධාන කරුණක් ඇත. ඒනම් මෙම රාජ්‍ය ත්‍රාන්ත්‍රික නිලධාරියා ලංකාවට ඇතුලු වු පසුව රජය විසින් මෙම නිරෝධායන උපදෙස් සංශෝධිත කිරීමය. ඒසේ කිරිමෙන් පෙනී යන්නේ ලංකා රජය කිසි විටෙකත් මෙවැනි කරුණක් සම්බන්ධයෙන් පෙර සුදානමක් නොතිබුණු බවය. ඒකී රාජ්‍ය ත්‍රාන්ත්‍රික නිලධාරියා රටට ඇතුල් වීමෙන් පසු කර කියා ගත නොහැකි වූ තැන රජය ඉක්මනින්ම නිරෝධායන උපදෙස් සංශෝධිත කිරීමට පියවර ගත්තේය. යම් හෙයකින් මෙම නිලධාරියා කොවිඩ් 19 ආසාදිත වුවෙකු නම් යළි මුලු රටම අනතුරේ වැටෙන්නේය. ඒ් රජය මේ සම්බන්ධයෙන් කිසිඳු පෙර සුදානමක් නොතිබුණු හෙයිනි.

අභාවප්ප්‍රාප්ත ආරුමුගම් තොණ්ඩමන් මහතාගේ අවමංගල්‍ය කටයුතු සතියක් පුරා සිදු කෙරෙද්දී  ඒදෙස ඇහැක් ඇර නොබලපු නාමල් රාජපක්ෂත් මෙම ඇමරිකන් නිලධාරියා මෙරටට  ඇතුලු වීම විවේචනය කර තිබු අතර ඒය බොහෝ දෙනෙකුට හාස්‍ය දනවන්නක් විය.

මේ සියල්ල දෙස බැලිමේදි පෙනී යන්නේ රජය සෑම විටම සෑම දෙයක් ගැනම ක්‍රියා මාර්ගයක් ගනු ලබන්නේ යමක් සිදු වුවාට පසු බවය. ඔවුන්ට  පෙර සුදානමක්, පෙර සැලැස්මක් තවමත් නැත්තේය.

-ශානිකා-

Social Sharing
නවතම