ඊයේ අත්අඩංගුවට ගත් පුද්ගලයන් සම්බන්ධව මානව හිමිකම් කොමිසම වාර්තාවක් කැඳවයි

සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ විරෝධතාව අතරතුර පුද්ගලයින් 83 දෙනෙකු අත්අඩංගුවට ගැනීම පිළිබඳව ශ්‍රී ලංකාමානව හිමිකම් කොමිසම කඩිනම් වාර්තාවක් කැඳවා තිබේ.

මානව හිමිකම් කොමිසම සඳහන් කළේ, හෙට (26) පෙරවරුවේ අදාළ වාර්තාව සිය කොමිසම වෙත යොමු කරන්නැයි පොලිස්පතිවරයාට දැනුම් දුන් බවයි.

දැනට අත්අඩංගුවට ගෙන සිටින පිරිසගේ තත්ත්වය පරීක්ෂා කිරීම සඳහා මානව හිමිකම් කොමිසමේ නිලධාරීන් අදාළ පොලිස් ස්ථාන වෙත යොමු කිරීමට පියවර ගෙන ඇත.

මේ අතර විරෝධතාවය අතරතුර අත්අඩංගුවට ගත් 83 දෙනා අද (25) අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දූව සඳහන් කළේ .

පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේ, ඔවුන්ගෙන්ඊයේ (24) රාත්‍රියේ ප්‍රකාශ සටහන් කර ගත් බවයි.

සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන කොළඹ දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ සෘජු අධීක්ෂණය යටතේ සිදුකිරීමට නියමිතය.

මර්දනයට එරෙහිව සමාජවාදී තරුණ සංගමය සංවිධානය කළ සාමකාමී විරෝධතා පා ගමනක් අතරතුර අත්අඩංගුවට ගත් පිරිස අතරට භික්ෂූන් වහන්සේලා දෙනමක්, පිරිමි පුද්ගලයින් 77 දෙනෙකු සහ කාන්තාවන් 04 දෙනෙකු ඇතුළත් වේ.

අත්අඩංගුවට ගත් පිරිස අතර සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක, එරංග ගුණසේකර වේ.

අත්අඩංගුවට පත්  පිරිස මේ වන විට සිටින්නේ මරදාන හා කොම්පඤ්ඤ වීදිය යන පොලිස් ස්ථානවලයි.

(නිව්ස්ෆර්ස්ට්)

Social Sharing
නවතම