මර්ධනය නොහොත් අලියා නෙළුම් පොහොට්ටු ගිලීමේ කතාව

-කේ. සංජීව-

ජනාධිපති වික්‍රමසිංහට වගේම පොලීසිය භාර අමාත්‍යවරයා ටිරාන් අලස්ටත් ජනවරමක් නෑ. ඒත් අද මේ දෙන්නම ජනතා හඬ මර්ධනය කරන්න හමුදාවේ සහ පොලීසියේ බලය භාවිතා කරමින් ඉන්නවා. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිවරයාගේ මේ හැසිරීමෙන් පේනවා ඔහු ජනතා හඬ මර්ධනය කරලා ඉස්සරහට යන්න පුලුවන් කියලා හිතන බව. වික්‍රමසිංහ ජනාධිපතිවරයා පැහැදිලිවම දෙවන ධුර කාලයක් සඳහා තරඟ කරන්න සූදානම් වෙමින් සිටිනවා. ඔහු ඒ සඳහා මේ වෙනකොට තෝරාගෙන තිබෙන්නේ පොහොට්ටුවේ රෝද පද්ධතිය. එහෙම නැත්තං යට ලේයර් එකේ සිරා භාණ්ඩ ටික. කෙටියෙන්ම කියනවා නම් බැසිල් රාජපක්ෂ එක්ක හිටපු පළාත් පාලන සෙට් එක සහ ඊට උඩ කට්ටුව.

මේ ළඟදී මේ ලියුම්කරුට රනිල් වික්‍රමසිංහට බොහෝ හිතවත් ඔහු ළඟින්ම ඉන්න කෙනෙක් මුණගැහුනා, ඔහු මේ අලුත් බැඳීම මෙහෙම විස්තර කළා. ‘ ලොක්කා හදන්නේ ඊළඟ ඡන්දය පොහොට්ටු පොඩ්ඩෝ අලියගෙන් දාලා දිනන්න. චොකා මල්ලි වගේ පොහොට්ටු චන්ඩි යුඑන්පී අපේක්ෂකයෝ වෙන්න ඉඩ තියෙනවා ඊළඟ ඡන්දයේ දී’ අලියා නැඟිට්ටවලා ගන්න රනිල් වික්‍රමසිංහගේ මේ උපාය හොඳ වෙන්න පුලුවන්, ඒත් මේක රට නැවතත් විශාල අනතුරකට නිරාවරණය කරනවා.

රනිල් වික්‍රමසිංහගේ ආගමනය සමග රටේ ආර්ථික සෙමෙන් යම් ස්ථාවරත්වයකට එමින් තිබෙනවා ඒක බොරුවක් නෙවෙයි. සංඛ්‍යා දත්ත විශ්ලේෂනයෙන් ඒක පැහැදිලියි. ඒ වගේම ඔහු මේ දියත් කරලා තියෙන ‘මර්ධන නාට්‍’ය විසින් කරන්නේ ගමේ පොහොට්ටුවාදීන් චූන් කරන එක. එහි අරමුණ පොහොට්ටුව අලියාගේ බෙල්ලේ එල්ලා ගැනීම වෙන්න පුලුවන්. එලබෙන පාර්ලිමේන්තු මැතිවරණයකදී අලි පොහොට්ටු සන්ධානයක් මගින් පාර්ලිමේන්තුවේ බලය අරගෙන දෙවෙනි අදියරේදී එම බලවේගය හරහා නැවත වතාවක් ජනාධිපති වීම රනිල් වික්‍රමසිංහගේ හීනය වෙලා තිබෙනවා කියලා, මේ මර්ධනය කියන නාට්‍යයෙන් අපිට පේනවා.

මේ නාට්‍යයේම කොටසක් විදිහට ඔහු දැන් අධි ආරක්ෂිත කලාප ගැන ගැසට්ටුවක් ගහලා. නීතීඥ සංගමය මේ ගැන තමන්ගේ ස්ථාවරය ප්‍රකාශයට පත් කරමින් මේ නව අධි ආරක්ෂිත කලාප බිල්ලා මැවීම විරුද්ධ වෙලා තියෙනවා. රාජ්‍ය රහස් පනත භාවිතා කරලා මේ විදිහට අධි ආරක්ෂිත කලාප නම් කිරීම හරහා රටේ ජනතාවගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය, සාමකාමීව රැස්වීමේ අයිතිය වගේ අයිතීන් උල්ලංඝනය වෙනවා කියලා තමයි ඔවුන් ප්‍රකාශ කරන්නේ. ඒ වගේම රාජ්‍ය රහස් පනත භාවිතා කරලා අධි ආරක්ෂිත කලාප නම් කිරීමට ජනාධිපතිවරයාට බලයක් නෑ කියලා නීතීඥ සංගමය ප්‍රකාශ කරනවා.

දැන් අපිට පැහැදිලි වෙන්න ඕනෑ රනිල් වික්‍රමසිංහ මේ බැට් කරමින් ඉන්න විකෙට්ටුවේ ස්රූපය ගැන. අලියගේ බඩේ නෙළුම් පොහොට්ටු සැඟවෙන කාලයක් ඉස්සරහට එන්නේ. අලියා ගිල්ල දිවුලට වුණ දේ අලියා ගිලපු පොහොට්ටුවට වෙයිද කියන්න නම් දන්නේ නෑ ඒත් රට පැත්තෙන් බැලුවාම මේ පොහොට්ටු ගිලිල්ල ඒ තරම් සුබවාදී නෑ.

රනිල් වික්‍රමසිංහ – ටිරාන් අලස් ගේ මේ නාටකයේ උච්චතම අවස්ථාවක් උච්චතම රංගයක් ඊයේ කොළඹ නගරශාලාවට ආසන්නයේ පෙන්නුවා. ජල ප්‍රහාර බැටන් ප්‍රහාර කඳුළු ගෑස්වලට පස්සේ 84 දෙනෙක් විරෝධතාකරුවෝ අත්අඩංගුවට ගන්න පොලීසිය කටයුතු කළා.

‘අරගලයට නව ජවයක් – තරුණ බලය යළි කොළඹට’ කියන තේමාව යටතේ සමාජවාදී තරුණ සංගමය ඊයේ (24) කොළඹදී සංවිධානය කරලා තිබුණ විරෝධතාවය තමයි මේ විදිහට ගහලා මර්ධනය කරලා තිබුණේ. මේ අත්අඩංගුවත් ගත්ත පිරිස අස්සේ එරංග ගුණසේකර වගේම ජාතික ජන බලවේගයේ කැටිපේ ආරච්චිත් ඉන්නවා. මේ පොලිස් ප්‍රහාරයෙන් 07 දෙනෙක් තුවාල ලබලා තිබෙනවා. කොටි සංවිධානයට සල්ලි දීලා රනිල් වික්‍රමසිංහගේ ජනාධිපති හීනය 2005 දී බකල් කරප්පු ටිරාන් අලස් තමයි මේ ප්‍රහාර වලට සහ මර්ධනයට අණ දෙන්නේ. මේ මෙහෙයවීමට රනිල් වික්‍රමසිංහගේ නිබඳ සහාය ලැබෙන බව පේනවා. ඒ ඊළඟ ජනවරම දිනාගැනීම වෙනුවෙන්.

රනිල් වික්‍රමසිංහ මේ රටේ ආර්ථිකය ගොඩගන්න අවංකව උත්සාහ ගන්නවා නම් අපි ඒකට විරුද්ධ නැහැ. ඔහු මේ වෙලාවේ ගනිමින් සිටින නව ආර්ථික ප්‍රථිසංස්කරණ වැඩපිළිවෙලේ බොහෝ දේවල් වලට අපි පක්ෂයි. ඒත් ඊළඟ ජනවරම වෙනුවෙන් පොහොට්ටුව චූන් කරන්න ඔහු කරමින් සිටින මේ ‘ලැජ්ජා සහගත මර්ධනයට’ වගේම ‘බිල්ලන් මැවීමට’ අපි විරුද්ධ බව කිව යුතුයි.

අධි ආරක්ෂිත කලාප නම් කරන්න දැන් රට අස්සෙ යුද්ධයක් නෑ. දැන් රටේ ඉන්නේ බඩගින්නට විරුද්ධව සටන් කරන ජනතාවක්. තමන්ගේ දරුවන් මන්ද පෝෂණයෙන් ගලවා ගන්න යුද්ධ කරන මාපිය හමුදාවක් තමයි දැන් රටේ ඉන්නේ.

ඒ නිසා මර්ධනය හරහා ජනවරමක් දිනාගන්න රනිල් වික්‍රමසිංහ කල්පනා කරනවා නම් ඒක ගැන දෙපාරක් හිතන එක හොඳ වෙන්න පුලුවන්…!

ඡායා : ලංකාදීප

Social Sharing
නවතම විශේෂාංග