මිත්‍යාදෘෂ්ටික සමාජවාදය

මේ වචනය උපුටා ගත්තෙ සී ජේ අමරතුංගගෙ ලියවිල්ලකින්. ඒක මිත්‍යාදෘෂ්ටික වාමවාදය කියලත් සඳහන් වෙනවා.

මේක දැක්ක ගමන් මට මතක් වුනේ දර්ශන ලියනගේ විසින් විදර්ශන කන්නංගරගේ දේශනයක් අරඹයා තබා තිබුනු ෆේස්බුක් සටහනක්. Idea of communism පළමු වෙළුමෙහි සංස්කාරක සටහන අරගෙන කන්නංගර දේශනයකදි අපූරු පරිවර්තනයක් කරනවා.

මේ දේශනයේ විවිධ තැන්වලදි පරිවර්තනය තමන්ට අවශ්‍ය විදිහට නමන කන්නංගර විශේෂයෙන්ම මේ කාරණයෙදි ඒක තමන්ට උවමනා මිත්‍යාදෘෂ්ටිය දිහාවටම යොමු කරනවා.

Communism’ is the idea of radical philosophy and politics. As the precondition of radical action, communism must be thought today by taking its distance from statism and economism and becoming informed by the political experiences of the twenty-first century.

මේකෙ සරල අදහස කොමියුනිස්ට්වාදය කියන්නෙ දර්ශනයේ සහ දේශපාලනයේ රැඩිකල් අදහස කියන එක. මේ රැඩිකල් ක්‍රියාවට මූලික කොන්දේසියක් විදිහට රාජ්‍යවාදයෙන් සහ ආර්ථිකවාදයෙන් කොමියුනිස්ට්වාදය දුරස් විය යුතුයි කියල මෙතනදි යෝජනා කරනවා. (මං කොමියුනිස්ට්වාදී ලියවිලි කියවන කෙනෙක් නොවන අතර මෙය දර්ශන ලියනගේ නැමැති ඕතොඩොක්ස් මාක්ස්වාදියාගේ සළකුනු කිරීම නිසාම ඇස ගැටුනු බව සඳහන් කරන්න ඕන)

Illusory Socialism - Chintana Dharmadasa

විදර්ශන කන්නංගර – සී ජේ අමරතුංග

කන්නංගර මේක පරිවර්තනය කරන්නෙ කොමියුනිස්ට්වාදය ආර්තිකවාදයෙන් සහ සංඛ්‍යානවාදයෙන් අයින් වෙන්න ඕන කියලයි. රාජ්‍යවාදය කියන කාරණය කන්නංගර විසින් මගහරින්නෙ නිකං නෙමෙයි. කන්නංගරලා මාක්ස්වාදීන් වුනත් තාම රාජ්‍යවාදයේ එල්ලීගෙන ඉන්න නිසයි. ඒ වෙනුවෙන් තමන් උපුටා දක්වන පොතේ අදහස් වුනත් විකෘති කරන්න මේ අය ලෑස්තියි.

මෙන්න මේකට තමයි සී.ජේ සහෝදරයා මිත්‍යාදෘෂ්ටික වාමවාදය කියන්නෙ. වම ගැන සම්මා දෘෂ්ටිය වෙනුවට මිත්‍යාව පැතිරවීම. මේ ලිපිය පදනම් වෙන්නෙ සී.ජේ සහෝදරයාගේ ලියමන මතයි.

‘පුරෝගාමී සමාජවාදීන්ගේ අදහස වූයේ පොදු අයිතිය යන්නයි. රජය අහෝසි විය යුතු බවද ඔවුහු ප්‍රකාශ කළහ’ – (ලෙනින්- රජය හා විප්ලවය)

මීහයිල් බකුනින්මේ රජයත් එක්ක සමාජවාදීන් එල්ලෙන්න ගත්තෙ සෝවියට් දේශයට ඇති ඇල්මත් එක්ක. ඒක සමාජවාදයක් නෙමෙයි දරුණු ඒකාධිපතිවාදයක් කියන එක මේ කාලෙ ඕන පොඩි එකෙක් දන්නවා. පොදු දේපොල ක්‍රමය ඇති කරන්න රජය පාවිච්චි කරන්න පුළුවන් කියල මාක්ස් විශ්වාස කළා. ඒ කාලෙම තවත් සමාජවාදීන් මේ අදහස දරුණුවට විවේචනය කළා.  මීහයිල් බකුනින් වගේ මොලයක් තිබුනු අරාජික සමාජවාදීන් විශේෂයෙන්ම දැඩිව විරුද්ධ වුනා.

‘ඔබ විසින් හොඳම විප්ලවවාදියෙක් අරගෙන එයාට උපරිම බලය පැවරුවත් අවුරුද්දකින් ඒ විප්ලවවාදියා සාර්ට වඩා අන්ත වනු ඇති’ කියල බකුනින් කිව්වා.

මීහයිල් බකුනින්

මීහයිල් බකුනින්

සී.ජේ සහෝදරයාගේ ලියමන තවදුරටත් මෙහෙම කියනවා.

‘මිත්‍යාදෘෂ්ටික වාමවාදය තුල පෞද්ගලික ධන උත්පාදනය සලකන්නේ අපරාධයක් හැටියටයි. ඔවුන් විශ්වාස කරන්නේ ධනපතියන් ලාබ ලබන්නේ භාණ්ඩ වැඩිමිළට විකිණීමෙන් බවයි’

ධනපතියන් ලාබ ලබන්නේ භාන්ඩ වැඩිමිළට විකුනලා කියන එක මාක්ස් එංගල්ස්ගෙ කතාවටම විරුද්ධ කතාවක්. ‍කොමියුනිස්ට් ප්‍රකාශනයේ කියන්නෙ ‘ධනපතියන්ගේ ලාභ බඩු ඕනෑම චීන මහා ප්‍රාකාරයක් බිඳ දමනු ඇති’ කියලයි. ප්‍රාග්ධනය කෘතියේ මාක්ස් කියන්නෙත් ධනපතියන් ලාබ ලබන්නේ භාණ්ඩ ඒවායේ වටිනාකමට විකිනීමෙන් කියලයි. එම වටිනාකම තීරණය වෙන හැටිත් මාක්ස් පෙන්නනවා. ඒ භාණ්ඩ නිෂ්පාදනය සඳහා අවශ්‍ය වෙන සමාජීය ශ්‍රම කාලය මතයි.

මෙම වටිනාකම මිළක් බවට පත්වෙද්දි මේ නිෂ්පාදිත භාණ්ඩය සහ මුදල් කියන භාණ්ඩය අතර හුවමාරුවෙන් වැඩි හෝ අඩු අනුපාතයක් ගන්නවා කියල මාක්ස් කියනවා. මිළ සහ වටිනාකම අතර නොගැලපීම මිළ ආකෘතිය තුලම තීරණය වෙන බවත් ඒක දෝෂයක් නොවන බවත් කියනවා. අද අපිට දේශනා දෙන මාක්ස්වාදීන් අපිට කියන්නෙ වෙනම කතන්දරයක්.

Illusory Socialism - Chintana Dharmadasa

මහාචාර්ය ඔස්කා ලැන්ජ්

මහාචාර්ය ඔස්කා ලැන්ජ් කියන පෝලන්ත ආර්ථික විද්‍යාඥයා ( එයා තමයි සමාජවාදයේ ආර්ථික දර්ශනය කියන පොත ලියන්නෙ) කියනවා සමාජවාදී ක්‍රමයකදීත් ධනවාදී තරගකාරී වෙළඳපොලේ මිළ ක්‍රමය අනුගමනය කිරීමේ වැදගත්කම. ඒක පිලිගන්නෙ නැති සමාජවාදීන් පසුගාමීන් වගේ මාක්ස්ගේ න්‍යායික උරුමයටවත් තරම් නොවන අය විදිහටයි ලැන්ජ් පෙන්වා දෙන්නෙ. අවාසනාවට අපිට ලංකාවෙ ඉන්න තරමක් ඉන්නෙ එහෙම කට්ටිය.

‘යම් දවසක ලෝකයේ වෙළඳපොල සම්පූර්ණයෙන් සංවර්ධනය වී තවදුරටත් වර්ධනය විය නොහැකි තැනකදී, ශ්‍රමයේ ඵලදායීතාව තව තවත් වැඩි වෙනවා නම් එතනදි නිෂ්පාදන බලවේග සහ වෙළඳපොල සීමා අතර ගැටුම් ඇතිවනු ඇත. මේවා නැවත නැවත ඇතිවෙමින් තවත් දැඩි වනු ඇත’ – රෝසා ලක්සම්බර්ග්

නිෂ්පාදන බලවේග වර්ධනය වෙන තරමට වෙළඳපොල ප්‍රසාරණය නොවීම තමයි විප්ලවය ඇතිකරනවා කියල ප්‍රගතිශීලී සමාජවාදීන් දකින්නෙ. ඒ කියන්නෙ ශ්‍රමය තව තවත් නිර්මාණශීලී වෙනවා. ඒකට අවශ්‍ය කරන තත්වයන් වෙළඳපොල ඇතුලෙ නිර්මාණය වෙන්නෙ නෑ. එතකොට මේ වෙළඳපොල බිඳවැටෙමින් ශ්‍රමයෙන් වැඩියෙන් වැඩගන්න පුළුවන් තත්වයක් නිර්මාණය වෙනවා.

ඒ කියන්නෙ වෙළඳපොලේ දියුණුවට බාධා කිරීම සමාජවාදීන්ගේ කාර්යයක් නෙමෙයි. සමාජවාදය කියන්නෙ ධනවාදයට අත්පත් කරගන්න බැරි වෙන සීමාව වෙන්න ඕන. මීට වඩා දියුණු තත්වයක් වෙන්න ඕන. ගෝලීයකරණයට සහ වෙළඳපොලකරණයට බාධා පැමිනවීම කියන්නෙ මිත්‍යාදෘෂ්ටික සමාජවාදීන්ගේ දහමක් විතරයි.

Illusory Socialism - Chintana Dharmadasa

මාක්ස්ට අනුව ප්‍රාග්ධනය කියන්නෙ සමාජීය ධනයක්

ලංකාවෙ වාමාංශිකයො කතා කරන්නෙ ධනපතියන්ගේ ධනය සමාජයට අහිමි වෙනවා වගේනෙ. ඒ ධනය සමාජමය කාර්යයක් ඉටු කරනවා කියල මේ අය දකින්නෙ නෑ. ඒත් මාක්ස් එයාගෙ දාස් කැපිටාල්වල කියන්නෙ වෙන කතාවක්. මාක්ස්ට අනුව ප්‍රාග්ධනය කියන්නෙ සමාජීය ධනයක්. තුන්වෙනි වෙළුමෙ 15 වෙනි පරිච්ඡේදයේ කියන විදිහට, ප්‍රතිවිරෝධී ආකාරයෙන් වුනත් ධනේශ්වර ක්‍රමය විසින් පුද්ගලික දේපොල සහ පෞද්ගලික ශ්‍රමය අහෝසි කරනවා.

සම්මා සමාජවාදීන් දකින්නෙ ධනේශ්වර සංවර්ධනය සමාජවාදයේ මූලිකම අවශ්‍යතාවයක් විදිහට. ඒක විරුද්ධ විය යුතු තත්වයක් විදිහට නෙමෙයි. අද ලංකාවෙ අපි මුහුණ දෙමින් ඉන්නෙ ධනේශ්වර සංවර්ධනයට මිත්‍යා සමාජවාදීන් බාධා කිරීමේ අවාසනාවන්ත තත්වයකට. එහෙම බාධා කරමින් රාජ්‍යයට බලය ලබාදීම මගින් ලංකාවෙ මිත්‍යා සමාජවාදීන් උත්සාහ කරන්නෙ රටම ආපහු වැඩවසම් ක්‍රමයකට අරන් යන්න.

Illusory Socialism - Chintana Dharmadasa

වී අයි ලෙනින්

වී අයි ලෙනින් රුසියාව ගැන මේ කතාව කියනවා. එයාගෙ සමාජ ප්‍රජාතන්ත්‍රවාදයේ උපක්‍රම දෙකක් කෘතියේ ලෙනින් කියනවා ‘රුසියාව ධනවාදයෙන් පීඩා විඳිනවාට වඩා ධනවාදය ප්‍රමාණවත් ලෙස සංවර්ධනය නොවීමෙන් පීඩා විඳිනවා’ කියල.

සී.ජේ අමරතුංග මේක ලංකාවට ගලපමින් තමන්ගේ ලියමන අවසන් කරනවා.

‘ලංකාව ධනවාදයෙන් පීඩා විඳිනවාට වඩා ධනවාදය ප්‍රමාණවත් ලෙස සංවර්ධනය නොවීමෙන් පීඩා විඳිනවා’

ලංකාවෙ වාමවාදීන්ගේ කතන්දර අහන එක පරිස්සමෙන් කරන්න ඕන. පුළුවන් හැම වෙලාවකම අඩුම තරමෙ ඉංග්‍රීසි කෘතියවත් බලන්න ඕන. ඒක අමාරු නම් කීප දෙනෙකු විසින් කළ පරිවර්තනවත් බලන්න ඕන (මේක ලංකාවෙ ඕනම අදහසක් සම්බන්ධයෙන් වලංගුයි)

මොකද වාමවාදීන් තමන්ගේ පරිවර්තන ඇතුලෙ ප්‍රමෝට් කරන්නෙ ගතානුගතිකවාදය. ඒවා කියවීමෙන් දියුණු වාමවාදයක් වෙනුවට නිර්මාණය වෙන්නෙ රටම වලපල්ලට ගෙනියන අමනවාදයක්.

චින්තන ධර්මදාස

දේශපාලන හා සමාජ විශ්ලේෂක

අධ්‍යක්ෂ – facultyofsex

උපුටා ගැනීම – theleader.lk

Social Sharing
අවකාශය