අන්තර්ජාලයේ ඡන්ද නීති කැඩීම වැළක්වීමට මැතිවරණ කොමිසමට සම්පත් නෑ! – CMEV

මහ මැතිවරණය වෙනුවෙන් ප්‍රචාරක කටයුතු සිදු කිරීම සඳහා ලබා දී තිබු කාලය අවසන් වී ගතවූ  කාලය තුලදී පාලනය කර ගත නොහැකි තරමට සමාජ මාධ්‍ය ජාලා යොදාගෙන නීති විරෝධී ඡන්ද ප්‍රචාරයේ යෙදෙන බවට ප්‍රධාන දේශපාලන පක්ෂ චෝදනාවට ලක්ව සිටී.

එලෙස ඡන්ද නීති කැඩීම වැළක්වීමේ පියවර ගැනීමට සමත් කමක් මැතිවරණ කොමිසම සතුව නැති බවත් මුල් පෙලේ මැතිවරණ නිරීක්ෂණ සංවිධානයක් පවසයි.

එසේ වෙතත්, නීති විරෝධී දැන්වීම් දහස් ගණනක් වලකාලන්නට කොමිසම පියවර ගෙන ඇති බව අන්තර්ජාල ක්‍රියාධාරීන් සමූහයක් කියා සිටී.

මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය ( CMEV ) පවසන්නේ අගෝස්තු 3 සදුදා දිනයේ පමණක් එවැනි නීති විරෝධි දේශපාලන ප්‍රචාරක පෝස්ටු 5000 ට අධික ප්‍රමාණයක් තම සංවිධානය විසින් නිරීක්ෂණය කළ බවයි.

ඒ අතුරින්  පොස්ටු 750 ක ප්‍රමණ ප්‍රමාණයක් සම්බන්ධයෙන් එදිනම මැතිවරණ කොමිසමට පැමිණිලි කළ බව පෙන්වා දෙන CMEV ජාතික සම්බන්ධීකාරක මංජුල ගජනායක පවසන්නේ මැතිවරණ කොමිසම එයට යහපත් ප්‍රතිචාර දැක්වු බවයි.

කෙසේ නමුත් නිමේෂයක් තුළ සංසරණය වන විශාල පෝස්ටු ප්‍රමාණයක් සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීම සදහා මැතිවරණ කොමිසම සතු මානව හා භෞතික සම්පත් ප්‍රමාණවත් නොවන බව ඔහු මාධ්‍යවේදීන් හා කියා තිබේ.

“මැතිවරණ නිහඬ සමයේ  ජීව ගුණය මුළුමනින්ම විනාශ කිරීමට”  සමාජ මාධ්‍ය ඔස්සේ සිදු කරන  දේශපාලන ප්‍රචාරණ කටයුතු හේතු වන බව  පෙන්වා දෙන  මංජුල ගජනායක එහි  වගකීම ෆේස් බුක් ආයතනය ගත යුතු බවද අවධාරණය කරයි.

නිහඩ සමයේ මෙවැනි තත්ත්වයක් නිර්මාණය විය හැකි බව මැතිවරණ  නිරීක්ෂණ සංවිධාන හා මැතිවරණ කොමිසම විසින් කල්වේලා ඇතිව  ෆේස්බුක් සමාගම  දැනුවත් කර තිබුනද  ෆේස්බුක් සමාගමට එවැනි ප්‍රචාර වැලැක්වීම සදහා නිසි   සූදානමක් තිබී නොමැති බව පෙනී යන්නේයැයි ඔහු වැඩි දුරටත් මාධ්‍යවේදීන් හා කියා තිබේ.

අගෝස්තු 3  දිනයේ මෙන්ම අගෝස්තු 4 දිනයේදීත් මුදල් වියදම් කරමින්  අපේක්ෂකයන් විශාල පිරිසක් සමාජ මාධ්‍ය ඔස්සේ  මෙවැනි ප්‍රචාරණ කටයුතු විශාල වශයෙන්  සිදුකර ඇති බව පෙන්වා දෙන නිදහස් හා සාධාරණ මැතිවරණයක් සඳහා ජනතා ක්‍රියාකාරිත්වයේ ( PAFFREL )  විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මාධ්‍යවේදීන් හා කියා ඇත්තේ අගෝස්තු 3 සදුදා රාත්‍රී 8 වන විට පමණක් එවැනි ප්‍රචාරක පෝස්ටු 2566 ක් පමණ තම සංවිධානය විසින් නිරීක්ෂණය කර ඇති බවයි.

ඒ සම්බන්ධයෙන් මැතිවරණ කොමිසම දැනුවත් කළ අතර එයින් 1000 ක පමණ ප්‍රමාණයක් ඉවත් කිරීමට මැතිවරණ කොමිසමට හැකිවී තිබු බව ඔහු වැඩි දුරටත් පවසා තිබේ.

සමාජ මාධ්‍ය ජාල ක්‍රියාධාරීන් සමූහයක් වන හෑෂ්ටැග් පරපුර ( #GENERATION ) විසින් අගෝස්තු 4 දා රාත්‍රී 9 ට ප්‍රකාශයට පත් කරන ලද දත්ත අනුව නීතිවිරෝධී ෆේස්බුක් දැන්වීම් 3515 ක් පිළිබඳව කරන ලද පැමිණිලි අතරින් 2363 ක් ඉවත් කරවන්නට හෝ අක්‍රීය කරවන්නට මැතිවරණ කොමිසම පියවර ගෙන ඇත.

එම නීතිවිරෝධී දැන්වීම් අතරින් අඩකට ආසන්න ප්‍රමාණයක් පලකොට ඇත්තේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ අපේක්ෂකයන් වෙනුවෙනි.

Social Sharing
නවතම