දැන් අපිට ඕනී අල්ලගන්න බලන් ඉන්න මිනිස්සු..!

– කේ. සංජීව –

මේ දවස්වල මුහුණු පොතට අඟුල් වැටිලා ඒනිසා හිතට එන කාංසාවක් වුණත් ලියාගන්න ක්‍රමයක් නෑ. එහෙම වුණාම ඒක දියකරලා හරින්න ක්‍රමයක් නෑ. හරි මේකයි කතාව. පහුගිය ටිකේ ෆේස්බුක් ගියාම නිතරම ඇස් අස්සට පැනපු නිවේදනයක් තිබුණා. ඒකෙන් කීවේ පේරා කැම්පස් එකේ අංජන ආගිය අතක් නෑ සොයා දෙන්න කියන එක. සුදු වෑන් කතා ගැන ලියපු විශේෂයෙන් එක්නැළිගොඩ ගැන ලියපු මට මේ අරගලය සහ රනිලාගමනය එක්ක මේ ආගිය අතක් නැතිවීම ගැන නිතරම ආපු නිවේදනය මාර කරදරකාරී සිතුවිල්ලක් හිතට අරගෙන ආවා. ඒනිසාම මේ අතුරුදන් වීම ගැන මම අවධානයෙන් හිටියා. නුවර පොලිස් මිත්‍රයෙක්ට පවා එක මොහොතකදි කතා කළා. එහෙම මෙහෙම කාලය ගලාගෙන ගියා. මේ වෙනකොට අංජන ගැන කතාව වෙනස් වෙලා. ඒක වෙනස් නෙවෙයි සමාන කතාවක්. බොහෝ කාලෙක ඉඳලා ලංකාවේ ඇහෙන කතාවක් මේක. මෙවැනි වර්ගයේ කතාවලින් කප් ගහපු රටක් ලංකාව. ඉතිං මේක ගැන අමුත්තක් මට නම් නෑ. ඒත් දුකක් සහ වේදනාවක් මට තියෙනවා මේ රට ගැන. සහ අපි ගැන. ඉතිං මමත් කාලයක් තිස්සේ අංජන වගේ කෙනෙක් ගැන හිතමින් හිතෙන් දුක් විඳිමින් ඉන්නවා. ඒක මිත්‍ර ප්‍රේමය ගැන කැක්කුමක්. ඒක අතින් ගිලිහිලා බිම වැටීම ගැන ප්‍රශ්නයක්. ඒක කියන්න කලින් මෑතකම වුණ සිදුවීමක් කියන්නම්..

මම මේ මෑතක රත්නපුරේ ගියා ලෙඩ වෙලා ඉන්න අම්මා බලන්න. එහෙම ගිහිං ගෙදර ඉන්නකොට මගේ ලොකු නංගී බැඳපු හාදයාගේ තාත්තා ගැන ලොකු නංගී මෙහෙම කිව්වා.

‘ බලන්නකෝ හැමදාම මේ මනුස්සයා එල්ලෙනවා කියලා කියනවානේ. සමහර දවසට ලණුවක් අරං රබර් වත්තට යනවා. ගෙදර කලබල කරනවා මැරෙනවා කියලා. මොනා කරන්න ද මන්දා ‘

මේ කියන පුද්ගලයා මගේ හොඳ වයසක මිත්‍රයෙක්. ඒ මිත්‍රත්වයට හේතුව තමයි මෙයා ජනකවියෙක් වීම. මෙයා ගම ගැන ගමේ මිනිස්සු ගැන සෝපාස කවි කප්පිත්තෙක් වුණ නිසාම මගේ මිත්‍රත්වය විශාලයි. ඒත් මම මේ නිව්ස් එක ඒ තරමට හිතට ගත්තේ නෑ. ඕනෑම ප්‍රශ්නයක් දිහා විහිළුවෙන් බලලා ඒකට හිනාවෙන්න පුලුවන් වුණ මේ මිනිහා කවදාවත් මැරෙන එකක් නෑ. කොහොම හරි හවසට පොඩි එකක් දාගෙන ජීවිතය ඉස්සරහට මේ කුණාටු කාලේ වුණත් තල්ලු කරගෙන යයි කියලමයි මට මගේ හිත කීවේ.

කොහොමහරි මම ගෙදර ඉඳලා මගේ නවාතැනට ආවා. ඒ ඇසිල්ලකින් රත්නපුරෙන් ආපු දූරකථන ඇමතුම කීවේ මෙහෙම කතාවක් ‘ අයියේ බලන්නකෝ තාත්තා ගෙදර පිටිපස්සේ ගොරකාගහේ එල්ලිලානේ ‘

මම මොනවද කියන්නේ.. මම සෑහෙන්න වෙලාවක් නිරුත්තර සමාධියක.. ජීවිතේ කියන්නේ ඕක තමයි තණ අඟ පිනි බිඳක් වගේ.. ඔහොම කතා කියන්න පුලුවන්. ඒත් මරණය වෙත සීරුවට ගමනක් යන්න පටන් ගත්ත මනුස්සයෙක් ආපස්සට හරවන්න අමාරු නෑ ඒක කරන්න පුලුවන්. ඒක කරන්න නම් අපි ඒ ජීවිතය අස්සට කිමිඳෙන්න ඕනෑ. ඒකට දැනුමක් විතරක් තිබිලා මදී. සහකම්පනය ඕනී මයි. අනික් පැත්තෙන් තමන්ගේ කාලය ගැන නොසිතා කාලය ඒ මනුස්සයා වෙනුවෙන් දියකරලා දාන්න සූදානමින් ඉන්න ඕනී.

‘ අපරාදේ මට මිනිහා එක්ක කයියක් ගහන්න තිබුණා. අපරාදේ ගල් බෝතලයක් අරගෙන ගිහිං කතා කරන්න තිබුණා අපිට. මම මගේ නවල් එක ගැන මිනිහා එක්ක කතා කරන්න හිටියේ ඇයි ඉතිං ඒකට නොගියේ ‘ දැන් මට දිගින් දිගටම මෙහෙම හිතෙනවා. ජීවිතේ කියන්නේ කාලයට. ඔව් කාලය කියන්නේ හැම දෙයක් ම. මට ඒ පොඩි කාල කෑල්ල අස්සේ මිනිහා එක්ක දියවෙන්න බැරිවුණා.

මට Run Lola Run ෆිල්ම් එක මතක් වෙනවා. කාලය.. අරුමැසි තත්පරයෙන් පංගුවකට කොච්චර දේවල් කරන්න ඇහැක්ද? Krzysztof Kieślowski ගේ ෆිල්ම් එකක් තියෙනවා දුම්රියක් අල්ලා ගැනීම සහ මඟහැරීම ගැන කතාවක් ඒක. අල්ලා ගැනීම සහ මඟහැරීම අතර තත්පර කිහිපයක වෙනස කතන්දර කීයක් නම් නිර්මානය කරන්න පුලුවන්ද? ජීවිතය කියන්නේ කාලයට. එහෙම බැලුවාම මරණය සොයාගෙන යෑම ගැන සුබවාදීව හිතන අයත් ලෝකයේ ඉන්නවා. ‘ඒකට අයිතියක් තියෙනවා ඕනෑම කෙනෙක්ට’ එහෙම කියන අයත් ඉන්නවා. මමත් පුද්ගලිකව මරණයේ සෞන්දර්‍ය විඳින්න ආස කෙනෙක්. ඒක ගැන රෝමාන්තික රචනා ලියන්න කැමති කෙනෙක්. නොමියෙමි කියන්නේ මගේ ආසම කවි පොත..!. බර්ග්මාන් වගේ අධ්‍යක්ෂක කෙනෙක්ගේ ෆිල්ම් බැලුවොත් මරණයේ සෞන්දය ගැන මේ කතාව ඔබට තේරෙයි. ඒත් මේ කතාව වෙන කතාවක්..

දැනුවත්ව මරණය තෝරාගැනීම සහ depression හින්දා මරණය තෝරාගැනීම කියන්නේ අහසයි පොළවයි වගේ කතා දෙකක්… depression අස්සේ මරණය තෝරාගැනීම කියන කතාව අස්සේ තිබෙනවා ‘තනි කිරීම’ කියන කතාව. පිටස්තරව ජීවත්වීම සහ පිටස්තරව ජීවත්වෙන්න වීම අතර විශාල පරතරයක් තියෙනවා. ලංකාව කියන්නේ ජීවිතේ එන ප්‍රශ්නවලට මරණයෙන් උත්තරයක් සොයාගන්න ට්‍රයි කරන මිනිස්සු බහුල රටක්. ඒකට අපේ ලේ නහර අස්සේ දිය වෙලා තියෙන බුදුදහමත් එක හේතුවක් වෙන්න පුලුවන්. හැබැයි රාජ්‍යය තමන්ගේ පුරවැසියෝ අතහැරලා දාලා තියෙනවා කියන කතාව මේක අස්සේ තියෙනවා. අපි ඒ කෝනයෙන් මේක දිහා බලන්න අවශ්‍යයි. මිනිස්සුන්ට ජීවිතයෙන් ගිහිල්ලා තමන් ඉස්සරහට එන ප්‍රශ්න වලට උත්තර හොයන්න පොළඹවනවා කියන්නේ ඒ රට ගැන ප්‍රශ්නයක් ඒක. ඒ රටේ සිස්ටම් එක ගැන ප්‍රශ්නයක් ඒක.

ලංකාව මේ සියදිවි හානි කරගැනීම කියන එකෙන් කප් ගහපු රටක් නිසාම පදුරකට ගැහුවත් කවුන්සලින්කාරයෝ දෙන්නෙක් තුන්දෙනෙක් එළියට වීසි වෙනවා. හැබැයි මේ හාදයෝ කරන මඟුලක් තියෙනවද? ඒක ප්‍රශ්නයක්. මම හිතන්නේ දැනුවත් සහකම්පනීය යාලුවෙක්ට මේ හාදයන්ට වඩා වැඩි දෙයක් කරන්න පුලුවන්. ලෝකේ කොහෙත් මිනිස්සු අධි වේගයෙන් තමන්ගේ ඇතුලට රිංගමින් ඉන්න කාලයක් මේක. ඒනිසා මිත්‍ර බැඳීම් කියන්නේ තව දුරටත් යථාර්ථයක් ද කියන ප්‍රශ්නය තියෙනවා. ගෙදරක ඉන්න සැමියා බිරිඳ දරුවෝ වුණත් වෙන වෙනම කැඩුන ජීවිත දැන් ගෙවන්නේ. මම ඒකට අකමැතී කියනවා නෙවෙයි ඒත් මානව ශිෂ්ඨාචාරය එහෙම ගමනක් තමයි මේ යමින් තියෙන්නේ. ඒනිසා කෙනෙක්ට කියන්න පුලුවන් ඔය යාළු භූමිකාව කොහොමද කරන්නේ කියලා. ෆේස්බුක් චැට් අස්සේ ගොඩනැඟෙන මිත්‍රකම් ප්‍රේමයන් ගොඩක් ඉන්ද්‍රජාලිකයි. ඒවා අස්සේ ඉන්නේ ඕනෑම වෙලාවක ප්‍රාතිහාර්‍යන් පාන්න සූදානම් මිනිස්සු. ඒනිසා ඒවා අස්සේ වුණත් මේකට විසඳුම තියෙනවා කියලා මට හිතෙන්නේ නෑ. ඒනිසා කවුන්සලින් කියන එක නිවැරදිව ස්ථාපනය වෙන්න ඕනී. ඒවගේම රාජ්‍ය මිනිස්සු ගැන මිනිස්සුන්ගේ තනි තනි ජීවිත ගැන මීට වඩා හිතන්න ඕනී. මිනිස්සුන්ට ජීවිතය විඳින්න අවශ්‍ය දේවල් රාජ්‍ය වහාම සම්පාදනය කරන්න ඕනී. ඒකෙන් විතරයි මේ ප්‍රශ්නයට උත්තර හම්බ වෙන්නේ.

දැන් මම මගේ අනිත් කතාව කියන්නම්. මම කොළඹ ආපු මුල් කාලයේ මම බොහොම ළඟින් ආස්‍රය කරපු මිතුරියක් හිටියා. ඇය ජීවත්වුණේ වනවාසල. දවසක් දෙකක් ඇය මට කතා කරලා කීවා ‘ මචං මට උබත් එක්ක ටිකක් කතා කරන්න ඕනෑ හමුවෙන්න පුලුවන් ද?’ මම හිතන්නේ ඔහොම ඇමතුම් දෙකක් විතර ආවා. ඒත් අපිට හමුවෙන්න බැරිවුණා. ඒකට හේතුව වුණේ මට කාලය සොයාගන්න නොහැකි වීම. පස්සේ කාලය ගතවුණා. ගෑනිගෙන් කිසිම සද්දයක් නෑ. දූරකථනය වැඩත් නෑ. මාස තුනකට විතර පස්සේ මම ඈ සොයාගෙන ගියා. වනවාසල දුම්‍ රිය නැවතුමෙන් බැහැලා මුලින්ම අහන්න ඕනී කියලා හිතෙන කඩෙන් ඇහුවා ඈ ගැන.

‘ අයියෝ මහත්තයා එයා නැතිවුණානේ. මාස තුනක් වෙනවා. එයා කෝච්චියට පැන්නා නේ ‘

මොනවද කියන්නේ? මම ආපස්සට හැරුණා… ඇය අපිට හමුවෙන්න බැරිවුණේ? ඇයි මම ඒක ගැන හිතුවේ නැත්තේ. මම තවමත් හැමනිතරමත් ඒක හිතනවා.

කාලය.. තමයි හැම දේම…!

මේක අපි හැවෝටම අමාරු කාලයක්. වෙනදා වගේ නෙවෙයි හැවෝටම ‘මැරිලවත් යන්නේ නෑනේ’ කියලා හිතෙන කාලයක් මේක. ‘මේක මහා කරුමයක්’ කියලා හිතෙන කාලයක් මේක. ගොඩක් අයට සල්ලි නෑ, හම්බවෙන පඩිය මාසේ ජීවත් වෙන්න දරුවෝ ජීවත් කරන්න වේලක් ඇර වේලක් කන්නවත් ප්‍රමානවත් නෑ. ආලෝකය ලපයක් පේන්නවත් නෑ. හැමතැනම තියෙන්නේ මරණ ආශාවන්වලට පාර කියන උමතු කළුවරක් විතරයි. පාර්ලිමේන්තු මන්ත්‍රී අමරකීර්ති අතුකෝරළට මිනිස්සු ගහන විදිහ ගැන මම පහුගිය ටිකේ දිගටම කල්පනා කළා, මට ආපු උත්තරේ මරණය ගැන මිනිස්සු දකින ප්‍රචණ්ඩ හීනය තමයි එතන තියෙන්නේ. තමන්ගේ ජීවිතය අකමැත්තෙන් නසාගන්නවා කියලා කියන්නේ මට හිතෙන්නේ ඊට එහා ප්‍රචණ්ඩත්වයක් මිනිහෙක්ට තනියෙන් අත් කරගන්න අමාරු ක්ෂිජයක්. මිනිස්සු එතනට අරගෙන යන්නේ රාජ්‍යය. ඒකේ කතා දෙකක් නෑ. රාජ්‍ය තමන්ගේ පුරවැසියා අතහැරලා තියෙන වෙලාවක් මේක.

මට හිතෙන්නේ අපි රාජ්‍යයක් විදිහටම ඉන්නේ වහාම සුවපත් වෙන්න ඕනී තැනක. මේක අපරාධ රාජ්‍යක්. එතකොට මිනිස්සු ‘මේ කරදරයෙන් ගැළවෙන්න ඕනී’ කියලා තමන්ම ඉවර කරගැනීමේ ප්‍රචණ්ඩත්වයකට ගොඩවීම සාමාන්‍ය දෙයක් බවට පෙරළෙමින් තිබෙනවා. රාජ්‍යට මිනිහෙක් ගේ ජීවිතයක් කොච්චර වටිනවාද? යුද්ධය අස්සේ මිනී ගැනපු අපි ලෙඩ නොවී තියේවිද? මහපාරේ ලසන්ත වික්‍රමතුංග හරක් මරණ ආයුධයකින් ඇනලා මරණකොට ඒක ඉවසගෙන හිටපු මිනිස්සු අපි. එහෙම අපිට අංජනගේ ජීවිතය ටිකක් තදට දැනෙනවා කියන්නේ සුබ ආරංචියක්..!

දැන් අපිට ඕනෑ බැඳීම්. දැන් අපිට ඕනෑ සහා කම්පනයන් සහිත මිනිස්සු. මේක මේ යුගයේ රෝමාන්තික අදහසක් වෙන්න පුලුවන්. ඒත් මම ආසයි Kurt Cobain මැරුණ විදිහට වගේම අකමැත්තෙන් මැරෙන්න හීන දකින මිනිස්සු ඒ පාරෙන් හරෝලා මෙහෙට වරෙන් කියලා කියන මිනිස්සු ඉන්න ලෝකෙකට..!

Social Sharing
අවකාශය නවතම