තොරතුරු දෙන්න බෑ – පොලීසිය

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් සහ අත්අඩංගුවට ගෙන රඳවා තබාගෙන සිටින පුද්ගලයන් සංඛ්‍යාව ලබාදීම ශ්‍රී ලංකා පොලිසිය තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම පිළිබඳ කොමිෂන් සභාවේදී ප්‍රතික්ෂේප කර තිබෙනවා.

එම තොරතුර ලබාදීම ජාතික ආරක්ෂාවට බලවත් අගතියක් විය හැකි බව පොලිස්පතිවරයා නියෝජනය කරමින් තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවට පැමිණි පොලිස් නීති කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක නීතිඥ වසන්ත කුමාර කොටියාකුඹුර පවසා ඇත්තේ.

තොරතුරු පනත අනුව පනතේ ප්‍රතිපාදනවලට එකඟව කටයුතු කර ඇති බව ඔප්පු කිරීම පොලිසියේ යුතුකමක් වුවද, සංඛ්‍යාත්මකව ඉල්ලන එම තොරතුරු මුදා හැරීම මගින් ජාතික ආරක්ෂාවට අගතියක් වන්නේ කෙසේදැයි පෙන්වාදීමට එම පොලිස් පරීක්ෂකවරයා අපහොසත් වූ බව වාර්තා වෙනවා. තොතුරු කොමිෂන් සභාව මෙම තොරතුරු මුදා හැරීමට නියෝග කරන්නේ නම් එම නියෝග මත තොරතුරු මුදා හැරිය හැකි බවයි පොලිස් පරීක්ෂක නීතිඥ වසන්ත කුමාර කොටියාකුඹුර කියා ඇත්තේ.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් සංඛ්‍යාව සහ රඳහා තබාගෙන සිටින සංඛ්‍යාව හෙළිදරව් කිරීම නිසා ජාතික ආරක්ෂාවට කිසිම තර්ජනයක් ඇති නොවන බවත්, ඉල්ලා සිටින සංඛ්‍යාත්මක දත්ත සම්බන්ධයෙන් පොදු අධිකාරියට එවැනි ස්ථාවරයක් ගැනීම දෝෂසහගත බව පුනරුත්ථාපන කොමසාරිස් ජනරාල් කාර්යංශය තීන්දුවේ ද සටහන් වී ඇති බවත් තොරතුරු ඉල්ලුම්පත්‍රය යොමු කළ මාධ්‍යවේදී තරිඳු ජයවර්ධනගේ නීතිඥ සුරේන් ඩී පෙරේරා කොමිෂන් සභාවේදී පවසා තිබුණා.

මේ හා සමාන සංඛ්‍යාත්මක දත්ත පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පසුගිය දිනෙක මාධ්‍ය සාකච්ඡාවකදී පවා ප්‍රකාශ කළ බව කී නීතිඥවරයා පොලිසිය තොරතුරු පනතේ ප්‍රතිපාදන අවභාවිත කරමින් සිටින බවත්, අඩු තරමේ පනතට එකඟව කටයුතු කළ ආකාරය පැහැදිලි කිරීමට පවා ඔවුන්ට නොහැකි බවත් සඳහන් කළා. පොලිස් නීති කොට්ඨාසයේ අධ්‍යක්ෂවරයා මීට පෙර මෙම තොරතුරු ඉල්ලීමට ප්‍රතිචාර දක්වමින් ඉල්ලා ඇති දේ ‘තොරතුරු’ ගණයට නොවැටෙන බව ප්‍රකාශ කළ බවත්, නම් කළ නිලධාරියාට අභියාචනා කළ පසු වෙනත් ස්ථාවරයක් ගනිමින් ජාතික ආරක්ෂාව නිසා ලබාදීමට නොහැකි බව ප්‍රකාශ කළ බවත් කී නීතිඥ සුරේන් ඩී පෙරේරා පොලිසිය තොරතුරු ලබා නොදීමේ අරමුණෙන් විවිධ ස්ථාවර ගෙන ඇති බව පෙන්වා දුන්නා.

මෙම සංඛ්‍යාත්මක දත්ත ශ්‍රී ලංකාවෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයට පවා ලබා දෙනවා නේදැයි කොමිසම පොලිස් පරීක්ෂකගෙන් ප්‍රශ්න කළා. ඔහු සඳන් කළේ එසේ වුවත් නීතිඥවරයාට අදාල දත්ත ලබාදීමට නොහැකි බවට වූ ස්ථාවරයේ පොලිසිය සිටින බවයි.

මෙම තොරතුරු ඉල්ලීමට අදාළ අභියාචනයේ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම ඔක්තෝබර් 07 වැනිදාට කල් තැබිණි.

මෙම අභියාචනය විභාගයට ගත්තේ විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න, ජ්‍යෙෂ්ඨ නීතිඥ කිෂාලි පින්ටෝ ජයවර්ධන සහ ජ්‍යෙෂ්ඨ නීතිඥ ජගත් ලියන ආරච්චි යන තොරතුරු දැන ගැනීමේ කොමිෂන් සභාවේ කොමසාරිස්වරුන් ඉදිරියේ යි.

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගත් පිරිස් සම්බන්ධයෙන් තොරතුරු ලබාදීම පොලිසිය ප්‍රතික්ෂේප කරන්නේ එම පනත යටතේ අත්අඩංගුවට ගැනීම් සම්බන්ධයෙන් ජාත්‍යන්තර මට්ටමෙන් විවේචන ශ්‍රී ලංකා රජයට පැමිණෙමින් තිබෙන පසුබිමක වීම විශේෂයක්.

උපුටාගැනීම : නිව්ස්19

 

Social Sharing
නවතම පුවත් විශේෂාංග