පැරණි සිංහල කවියේ ලාක්ෂා ලකුණ

– තක්ෂිලා ස්වර්ණමාලි –

ක්‍රි.ව. 606 – 647 කාලයෙහි භාරතයේ රජ කළ හර්ෂ අධිරාජයා විසින් රචනා කරන ලද රත්නාවලී සංස්කෘත නාට්‍යය පියදාස නිශ්ශංක විසින් සිංහලට අනුවර්තනය කරනු ලදුව එහි තැනෙක මෙසේ සිංහලට නැගූ කවියක් වෙයි.

ඔබගේ දෙපතුලැ වූ ලතු පැහැසර – ශිසින් පිසිමි පළ කොට බැති ආදර
මුව සඳු ගිල පුත් බඹ පුත් පහකර – ලූව එහි රත් පැහැය ද කළ හැකි දුර

වාසවදත්තාගේ දෙපා මුල වැටුණු රජු වාසවදත්තාට පවසන්නේ, ඔබගේ දෙපතුල වූ පැහැසර ‘ලතු’ බැති ආදර පල කොට හිසින් පිසිමි. මුව සඳ ගිල ගත් බඹපුත් පහකර ලූව, එහි රත් පැහැය ද දුරු කළ හැකිය යනුවෙනි.

‘ලතු’ යන වචනය සිංහල ශබ්දකෝෂයයෙහි අර්ථ දක්වා ඇත්තේ අලක්ත, ලාකඩ, ලා රස යන පදවලිනි. ලතු දිය හෝ ලා රස ලෙස හැඳින්වෙන්නේ ලාක්ෂා රසය වන අතර මෙයින් අදහස් කෙරෙන්නේ ලාකඩ දියකළ ජලය බව සිංහල ශබ්ද කෝෂය සඳහන් කරයි. අලක්ත ජලය හෝ ලතු දිය හෙවත් ලාකඩ දියරය ලාක්ෂා රාගය ලෙසද හැඳින්වේ. ලතු දල හෙවත් අලක්තකපත්‍රය යනු ලතු දිය ආලේප කළ පත්‍රය ලෙස හැඳින්වෙන අතර ලතු මඩවනවා යන සාම්ප්‍රදායික වහරින් අදහස් කෙරෙන්නේ බුලත් විට හැපීම යි. එසේ වහරනු ලබන්නේ බුලත් විට කෑ විට ලතු දිය ගෑවාක් මෙන් තොල් රතු කරවන බැවිනි. රතු ආලේපයකින් තොල් රතු කරගැනීම ‘ලතු කවනවා’ ලෙස හඳුන්වන්නේ ද මේ නිසා විය හැක. එහෙත් තොල් ආලේපන සඳහා ලාක්ෂා භාවිත වූ බවට සාක්ෂි නැත. ලතුපත් රස යන පදය ලතු දිය ලෙස ද , ලතුපත් වන් යන්න රතු පාට හෝ අලක්තක වර්ණය ලෙස ද එනම් ලාක්ෂා පැහැය ලෙස ද සිංහල ශබ්ද කෝෂයෙහි දක්වා ඇත.

කාන්තාවන් තම යටිපතුල් සැරසීම සඳහා ලාක්ෂා භාවිතා කළ බව, ලෝක සාහිත්‍යයේ ප්‍රථම සංදේශ කාව්‍ය ලෙස සැලකෙන (ඊට පෙර චීන සාහිත්‍යයෙහි සංදේශ කාව්‍ය පැවති බවට මතයක් ඇත.) කාලිදාසගේ මේඝදූතය සංස්කෘත කාව්‍යයයෙහි ද සඳහන් වෙයි. පියදාස නිශ්ශංක විසින් එය මෙසේ සිංහලයට නගා ඇත.

විඳිමින මිහිර වරලසැ කවුළුවෙන් එන – දෙනුවන පුදා රැඟුමට දෙන ගෙසිකි ගණ
විහිදෙන කුසුම් සුවඳින් යුත් යොවුන’ඟන – බල මැන ලකුණු ලතු පා ගෙබිමෙහි රැඳෙන

කවුළුවෙන් එන වරලසෙහි මිහිර විඳිමින්, ගෙවල්වල ඇති කරන මොනර සමූහයාගේ රැඟුම් බලා, ගෙබිමෙහි රැඳෙන විහිදෙන කුසුම් සුවඳින් යුත් යොවුන් අඟනගේ ලාක්ෂා රස ආලේප කළ පා සටහන් බලනු මැන යනුවෙන් යක් සෙනෙවියා තම දූතයා වූ වලාකුළට පවසයි. සිංහල සංදේශ කාව්‍යයන්හි ද ස්ත්‍රීන් විසින් ආලේප කළ ලතු හෙවත් ලාක්ෂා පිළිබඳව මෙසේ දක්වා ඇත.

අඟනක පය ගෑ ලතු සිරසෙහි වැකි – මිනිසෙක ගඟ දිය කෙළියෙන් නොවැලකි
අනෙකක ඇස රතු වියැ ලතු නොම වැකි – ඇය සක එරතට වෙන අන් කරුණෙකි

ඉතිහාසය විසින් අප්‍රකට කරන ලද කතුවරයකු විසින් ක්‍රිස්තු වර්ෂ 1420 දී පමණ රචනා කරන ලදැයි සැලකෙන හංස සන්දේශයෙහි අසූ පස් වන කවියෙහි දියකෙළි වර්ණනාවෙහි එසේ සඳහන් වන ආකාරයට අඟනකගේ පයෙහි ගා තිබූ ලතු දියකෙළියේ දී පුරුෂයකුගේ හිසෙහි ගෑවුණේය. පුරුෂයා දිය කෙළිය නැවැත්වූයේ නැත. මෙම සිදුවීම දුටු වෙනත් ගැහැනියකගේ ඇස් රතු විය. එසේ රතු වූයේ ලතු ගෑවී නොවේ; ඇය හැඬූ නිසා ය. එම ඇස් රතු වීමට වෙනත් කරුණක් හේතු විය; ඒ එම ගැහැනිය පෙර කී පුරුෂයාට පෙම් කරන බැවිනි. කෝට්ටේ යුගයෙහි ලියවුණු කර්තෘ අඥාත කෘතියක් වූ ගිරා සංදේශයෙහි එන දියකෙළි වර්ණනාවෙහි ද ලාක්ෂා ආලේප පිළිබඳව සඳහන් වෙයි.

ඉසිරී දිසි දිය දහරින් අඹරා – සසරී හුණු ඉඳු සැවු සිය පතරා
විසිරී ගිය ගඟ ලතු කොකුමගරා – අසිරී සිතුවම් දැක්වී එතරා

මෙම කවියෙන් කියැවෙන්නේ ගඟෙහි ජල ක්‍රීඩා කරන කාන්තාවන්ගේ ඇඟෙහි ගෑ ලතු හෙවත් ලාක්ෂා සහ කුංකුම ආදිය සේදී ගොස් ගඟ දියෙහි අසිරිමත් සිතුවමක් ලෙස පැතිරී පැවති ආකාරය යි. සිංහල කාව්‍යයන් තුළ ලාක්ෂා භාවිතයෙන් රූපලාවන්‍යය කළ කාන්තාවන් සම්බන්ධ සිදුවීමක් හමුවීම සැබවින්ම එකල පැවති සංස්කෘතිකාංගයක පිළිඹිබුවක් ද එසේත් නැතහොත් මෙය සංස්කෘත සංදේශ කාව්‍යයන්හි බලපෑම මත ලියන ලද සිදුනොවූ සිදුවීමක් ද යන ගැටලුව මතු වුව ද ලාංකික සංස්කෘතිය තුළ කාන්තාවන් ලාක්ෂා භාවිතයෙන් රූපලාවන්‍ය කටයුතු නොකළ බව පැවසිය නොහැක්කේ ඉන්දියාවේ සිට සංක්‍රමණය වූ ජන කොට්ඨාසයන් සමඟ ලංකාවට සංක්‍රමණය වූ සංස්කෘතිකාංග අපමණ පැවති බැවිනි.

දඹදෙණි යුගයේ දෙවන පරාක්‍රමභාහු රජු විසින් ලියන ලදැයි විශ්වාස කෙරෙන කුස ජාතකය ඇසුරින් කළ කව්සිළුමිණ කාව්‍ය ග්‍රන්ථයෙහි දොළොස් වෙනි සර්ගයෙහි හතළිස් හතරවන කවිය මෙසේ ය.

තඹුරු පියුමාරේ විමලි‘ඳු නිල් මිණි තෙලේ
පබවත ලා රෙසෙන‘ද පිය සන් සැකි

මෙහි ලා රෙසෙන් යන්න කුමාරතුංග මුනිදාස විසින් ද අර්ථ දක්වා ඇත්තේ ලාක්ෂා රසයෙන් ලෙස ය. පබාවතිය අහිමිවීමේ වියෝවෙන් පෙළුණු කුස රජු ට නෙළුම් විලෙහි වූ රතු නෙළුම් පෙනුනේ ලාක්ෂා රසයෙන් ඇඳී ගිය පබාවතියගේ පා සටහන් ලෙස බව මෙයින් කියැවේ. ඉන්දියානු සාහිත්‍යයෙහි මූලයක් සහිත කුසජාතකය ඇසුරින් ලියැවුණු මෙම සිදුවීම ඉන්දියානු සංස්කෘතිය තුළ හමුවන සිදුවීමක් වුව ද එය පද්‍යයට රචනා කරනු ලබන්නේ සිංහල සංස්කෘතිය ඇසුරු කළ අයෙක් වීමෙන් ද මුල් ජාතක කතාවෙහි ලාක්ෂා පිළිබඳ සඳහනක් නොමැති වීමෙන් ද, මෙම ලාක්ෂා රස භාවිතය ස්ත්‍රී වර්ණනාවන්හිදී දුර්ලභ ලෙස සිංහල කවියන් භාවිත කළ බව පෙනේ.

සත්තුභත්ත ජාතකය ඇසුරින් තොටගමුවේ ශ්‍රී රාහුල හිමි විසින් කෝට්ටේ යුගයේ දී රචනා කරන ලද කාව්‍යශේඛරය කෘතියෙහි දෙවන සර්ගයේ දහතුන් වන කවියේත්, සිවුවන සර්ගයේ තෙවන කවියේත්, හය වන සර්ගයේ විසිහතර වන කවියේත් කාන්තාවන්ගේ යටිපතුල් රක්ත වර්ණයෙන් වර්ණගැන්වීමට ලාක්ෂා භාවිතා කළ බව පිළිවෙලින් මෙසේ දක්වා ඇත.

මොහු රණදෙණ තා – ගජභය බළන් බඳු තා
රතවැකකි කගලතා – වැන්න විරුසිරි සරණ අලතා

සරණ සුරඟන කැල – ලාරස වැකි සරණ තල
සොඳුරු පිළිමිණි තල – තඹුරු පිපි සුරගඟෙව් මනකල

අලතා වැකකි අළුත් – එ පමා පතුල් යුග රත්
නවරිවි කිරණ පත් – විලස පෑයේ සුපුල් සියපත්

මෙහිදී අලතා සහ ලාරස යන පදයන්ගෙන් දැක්වෙන ලාක්ෂා රක්ත වර්ණයෙන් යුක්ත පතුල් ආලේපන අදහස් කරයි. සිංහල සාහිත්‍යයේ උපමාවන් සඳහාත්, වැනුම් සඳහාත් මෙය භාවිතා කර ඇත. මේ අනුව පෙනී යන්නේ ඉන්දියානු සංස්කෘතිය කේන්ද්‍ර කරගත් දකුණු ආසියානු සමාජයේ ශරීරාලේපන පිණිස ලාක්ෂා නම් වූ රූපලාවන්‍ය කලාව පැවති බව ද එම ලාක්ෂා තැවරීමේ සංස්කෘතිකාංගය තුළ තුළ සැඟවී ගිය ලාක්ෂා ආලේපන නිර්මාණය කළ පහළ පාන්තික ජනතාවගේ වෘතාන්තයක් ද ඇති බව යි.

ලාලී කෙළිය ලෙස හැඳින්වූ ක්‍රීඩාවක් පිළිබඳව, දඹදෙණි යුගයේ දෙවන පරාක්‍රමභාහු රජු ( ක්‍රි.ව. 1236 – 1271 ) විසින් ලියන ලදැයි විශ්වාස කෙරෙන කුස ජාතකය ඇසුරින් කළ කව්සිළුමිණෙහි පළමු සර්ගයෙහි විසිපස් වන කවියෙහි ද මෙසේ දැක්වේ.

ලිය ගී ගතෙ’පුර – කතන ලාලී කෙළුතු නෙත්
නිසල’සරන් විලස්හී – පිළිබෙදුම’සක් නොතිබී

ලයාන්විත ගී ගයන ඒ පුරයෙහි කාන්තාවන් ලාලී සෙල්ලම් කරන කල්හි ඔවුන්ගේ ඇස් අප්සරාවන්ගේ මෙන් නිශ්චලව පැවති බව එහි දී පැවසේ. කව්සිළුමිණෙහි ඉහත කවියෙහි ම අර්ථය ඇති පද්‍යයක් විල්ගම්මුල හිමියන් විසින් රචිත සඳ කිඳුරු දා කව කෘතියෙහි ද එයි.

එ පුරෙහි වෙසෙසි නා – අඟනෝ ලාලි කෙළනා
ඇසිපිය නො හෙළ නා – සඳෙහි සුරඟන වූ යැ සොඳිනා

ඒ නගරයෙහි ලියගී ගත් පුරඟනන් ලාලී කෙළන කල්හි නිශ්චල වූ ඇස අප්සරාවන්ගේ විලාසයෙහි සුළු වෙනසක්වත් නොතිබී ය යනු එම පද්‍යයෙහි අදහසයි. ලාලී කෙළිය යනු ‘ලාලියෙන්’ කරන ක්‍රීඩාවකි. ‘ලාලි’ (ලහලි) යනු ලාකඩයෙන් කළ බෝලයට නමකි. ‘ලාඛාගොළක’ යනු සුත්තනිපාත අටුවායෙහි එන පාළි නාමය යි.

කෙළුතු මුළු වැ – ලාලී වමියනෙ පුරෙහි
උඩු හුරු වත් බල බලා – සිදු සිදු කළ රිසි තමන්

යන සසඳා කවියෙන් ලාලී කෙළන ස්ත්‍රීන් මුහුණු උඩට හරවා ගෙන සිටින බව පැවසේ. ඇසිපිය නො හෙළා උඩට
‘ලාලී’ යන්න කේ. ජයතිලක විසින් අර්ථ දක්වා ඇත්තේ ‘ලාකඩින් කරන ලද බෝල’ විශේෂයක් ලෙස සහ ‘ලාලී කෙළීම’ යනු ‘එම බෝල තුනක් ගෙන එකකුදු බිම වැටීමට නොදී උඩ විසිකරමින් කරන ක්‍රීඩාවක් ’ ලෙස ය. සුමංගල ශබ්දකෝෂයෙහි ‘ලා ලී’ යන්න ‘ලාකඩ ගුලි’ ලෙස ද ‘ලා ලී කෙළිය’ යන්න ‘ලාකඩ ගුලි තුනක් උඩ දමමින් එකක්වත් බිම වැටිය නොදී කරන ක්‍රීඩාවක්’ ලෙස ද අර්ථ දක්වා ඇත. කව්සිළුමිණෙහි සඳහන් ලෙසට ස්ත්‍රීන් ඇසිපිය නොගසන දිව්‍යාංගනාවන් මෙන් ලා ලී ක්‍රීඩාව කිරීමට හේතුව එය පන්දූන්හි චලනය පිළිබද දැඩි අවධානයක් රඳවාගත යුතු ක්‍රීඩාවක් වීමයි. පුරාතන සිංහල පද්‍ය සාහිත්‍යය තුළ මෙම ලාකඩ පන්දුවලින් කරන ක්‍රීඩාව පිළිබඳව විටින්විට සඳහන් වේ. එහි විශේෂත්වය වන්නේ එම ක්‍රීඩාව බහුලව කරනු ලබන්නේ කාන්තාවන් වීමයි.
15 වන සියවස මුලදී පමණ ගම්පොල යුගයේ දී දකුණු පළාතේ පඬිවරයෙක් විසින් ලියන ලදැයි අනුමාන කෙරෙන තිසර සංදේශයේ දී කතුවරයා තම දූතයාට මෙසේ කියයි.

තඹරෙව් පැපෑ සිවුමැලි අත් අලුත්තම – ලාලී කෙලින තුනු කැලුමෙන් අලුත්වම
ළඳ සොඳ ලියන් බලනුව ගොස් අලුත්වම – සකි ලැසි නොවන් සව්සිරි පිරි අලුත්ගම

‘ආලේපිත ස්වකීය සුකුමාල අත් පියුම් මෙන් පෙන්වමින් සිරුරේ කැල්මෙන් ආලෝකමත්ව ලාලී ක්‍රීඩා කරන තරුණ යහපත් ළඳුන් බැලීම සඳහා විශේෂයෙන ගොස් සියළු ඉසුරුබර අලුත්ගම පමා නොවන්න යහළුව.’ යනුවෙන් කවියා පවසයි. මෙහි ‘ලාලී කෙලින’ යන්න ඒ.වී.සුරවීර විසින් අර්ථ දක්වා ඇත්තේ උඩු මහල්වල තරුණ කාන්තාවන් ලාකිරිවලින් තැනූ බෝල උඩදමා අල්ලමින් නොනවත්වා කරන සෙල්ලමක් ලෙස ය. ලාකඩ බෝල එකට වඩා වැඩි සංඛ්‍යාවක් එකවිට උඩ දමමින් බිම නොවැටෙන ලෙස අල්ලමින් කළ මෙම ක්‍රීඩාව ‘උඩු මහල්වල’ සිට තරුණ කාන්තාවන් කළ ක්‍රීඩාවක් බව මින් හැඟවේ. එම කාන්තාවන් තරුණ කාන්තාවන් වූවා සේම ඉහළ සමාජ ස්තරයක් නියෝජනය කළ කාන්තාවන් වූ බව ද පැහැදිලි ය. ලාකඩ නැමති ද්‍රව්‍ය බොහෝ දුරට වර්තමාන ප්ලාස්ටික්වල ගුණාංගයන්ට සමාන වන බැවින් වර්තමාන ප්ලාස්ටික් බෝල හා සමාන බෝල විශේෂයක් ලෙස මේවා භාවිතා වන්නට ඇති බවට ද අනුමාන කළ හැක.
ලාක්ෂා රසය වන් වූ රත් කොබලීල මල් දමක පැහැ ඇති රක්ත වර්ණ වූ දෙපට අඳනය පිළිබඳව වීදාගම මෛත්‍රෙය හිමියන් බුදුගුණ අලංකාරය කෘතියෙහි 452 කවියෙහි දක්වා ඇත්තේ මෙසේ ය.

ලා රස රැඳු හුදු – බඳු වද කුසුම් පට බඳු
දෙපට අඳනය මුදු – වඩා තෙ මඩුලු වසා මුනි සඳු

බුදුන්ගේ දෙපට අඳනය ලාක්ෂා පැහැය ඇති වද මල් දමක පැහැයෙන් යුතු බව මෙහිදී පවසා ඇත. කෝට්ටේ යුගයේ දී වෑත්තෑවේ හිමි විසින් රචිත ගුත්තිල කාව්‍යයෙහි හැට දෙවන කවියෙහි ද එම වැනුම ඊට ම සමාන ලෙස මෙසේ දක්වා ඇත.

රැඳු ලා රසිනේ – බඳු වද කුසුම් ලෙසිනේ
දිලෙන මන නදිනේ – වසා තුන් මඩුලු ඇඳැ අඳනේ

නාභිය සහ දෙදණ යන මණ්ඩල තුන වැසෙන ලෙස අඳිනු ලබන බුදුන්ගේ අඳනය වර්ණනා කිරීම සඳහා උපමාවක් ලෙස සාම්භාව්‍ය සිංහල ගද්‍ය සාහිත්‍යයේ ද කිහිප තැනක ලාක්ෂා යොදාගෙන ඇත. කෝට්ටේ යුගයේ දී තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන් විසින් රචනා කරන ලද කාව්‍යශේඛරය කෘතියෙහි පළමු සග–යේ අනූනව වන කවියෙහි ද බුදුන්ගේ දෙපට සිවුර ලාක්ෂා රසයෙන් තෙමන ලද මුරුත මල් කලඹක් මෙනැයි සඳහන් වෙයි.

තෙත් ලා රසින් වර – මුරුත මල් කලඹක් යුර
විහිදෙන රැස් පතර – දෙපට අඳනා සිවුර සිරිබර

මෙහි තෙත් ලා රසින් යනු ලාක්ෂා රසයෙන් හෙවත් රත් ලාකඩ දියෙන් තෙමන ලද්දා වූ යන්නයි.
කෝට්ටේ හයවන බුවනෙකබාහු රාජ්‍ය සමයේ විසූ මෝදර ගම්මන වෙද හාමුදුරුවන් විසින්, චරක , සුශ්‍රැත, වාග්භට ආදී වූ මූලික වෛද්‍ය ග්‍රන්ථ රාශියක් ඇසුරු කර කවියෙන් රචනා කරන ලද සිංහල යෝගරත්නාකරය නම් වූ වෛද්‍ය ග්‍රන්ථයෙහි කිහිප ස්ථානයකම ලාක්ෂා භාවිතයෙන් කළ වෙදකම් පිළිබඳ සඳහන් වෙයි. නිදසුනක් ලෙස ලාක්ෂාදී තෛලය පිළිබඳව යෝගරත්නාකරයෙහි 1371 වෙනි කවිය , 1373 වෙනි කවිය සහ 1385 වෙනි කවිය පිළිවෙලින් මෙසේ ය.

ලාකඩ නැළියක් දිය සිව් නැළියක – සිඳ පෙරහා ගනිමින් සතරින් එක
පිරිසිදු තලතෙල් ගනිමින් නැළියක – එම ලෙස ගෙන සිඳි කැඳ සිව් නැළියක

මෙකී සියලු ඔසු අඹරා කල්කෙට – ලමින් තෙලෙයි කලතාසිඳ පදමට
බා පෙරහා රැක තබමින් නිසිකොට – නමින් ලාක්සාදී නම් මෙතෙලට

ලාකඩ කසයත් – එපමණ එල කිරිත් ගත්
සමඟින් සිඳි කැඳත් – රැගෙන මේ ලෙස නිමල කාඩිත්

ශාර්ඞ්ගධර සංහිතාව කෘතියෙහි සඳහන් වන ලෙසට ලාක්ෂා සතර නැළියක් ගෙන, දිය සොළොස් නැලියෙක බහා, සතරින් එකට සිඳුවා පෙරා, තලතෙල් නැළියක් ද, දීපෙරළිදිය සතර නැළියක් ද, සතකුප්ප අස්ගොඳු, වියළි කහ, දෙව්දර (දේවදාර) , කුළුරෑණ, වටරැහැණ, මුරුවා, සුවඳ කොට්ටම්, වැල්මී, සුදුහඳුන්, කලාඳුරු, අරත්ත යන මේවා කර්ෂය බැගින් ගෙන චූර්ණ කොට සාදාගත් කල්කය ද, එහි ම හෙලා, මද ගින්නේ තෙල සිඳගන්නේ ය. මෙය අභ්‍යංග විසින් යෙදීමෙන්; සියලු ම විෂමජ්චර, කාස, ශ්වාස, ප්‍රතිශ්‍යාය, ත්‍රිකශූල (තුනටිය), පෘෂ්ඨශූල, වාත විකාර, පිත්ත විකාර, අපස්මාර, උන්මාද, යක්ෂ දෝෂ, රාක්ෂසදෝෂ, කංඩූ, ශූල, ස්වේද දෞර්ගන්ධ්‍ය, ගාත්‍ර ස්ඵුරණ (ඇඟේ යම් යම් තැන් ඉරිතැලී යාම) යන මේවා සන්සිඳී යන අතර, ස්ත්‍රීන්ගේ ගර්භ පෝෂණය මැනවින් සැලසෙනු ඇත. මෙම ලාක්ෂාදී තෛලය සඳහා පමණක් නොව වෙනත් තෛල සඳහා ද ලාක්ෂා යොදා ගැනේ. නිදසුනක් ලෙස අංගාර තෛලය සඳහා ද ලාක්ෂා යොදා ගනියි. ආයුර්වේද වෙදකමෙහි ‘ලාඛා’ ලෙස හැඳින්වෙන්නේ ද ලාකඩ හෙවත් ලතු ය.

මෙම ලාක්‍ෂා හෙවත් ලාකඩ ලබා දෙන්නේ ලාක්‍ෂා කෘමියා හෙවත් ලාකඩ කුරුමිනියා නම් ඉතා කුඩා සතෙකු විසින් පිටකර තුරු අතු මත අතහැර යන ස්‍රාවයකිනි. එය විවිධ නිෂ්පාදනයන් සඳහා අමුද්‍රව්‍යයක් වන අතර වර්තමාන ඉන්දියාවේ මෙන්ම අතීත ලංකාවේ ද නොඅඩුව පැවතුණකි.

මෙය රාවය පුවත්පතේ පළවිය

 

Social Sharing
අවකාශය නවතම