සැකකරුවෙකු පොලිස් වෙඩි පහරින් මිය යාම හා ජිවත් වීමේ අයිතිය!

මනුෂ්‍ය ඝාතනයක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍ය කර සිටි සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිසිය විසින් එල්ල කරන ලද වෙඩි ප්‍රහාරයෙන් එම සැකකරු මිය ගොස් තිබුණේ පොසොන් පොහොය දින දහවල් 12.50 ට පමණය.

මෙලෙස මිය ගොස් තිබුණේ මාරාව, ඉත්තෑකටුව, තෙනගල්ලන්ද පදිංචි තිස් හැවිරිදි කෝනාර මුදියන්සේලාගේ චමින්ද කුමාර යන පුද්ගලයෙකි. මොහු යුද හමුදාවෙන් පලා ආ පුද්ගලයෙකි.

මොහු ඉකුත් 31 දා පෞද්ගලික ආරවුලක් මත සිය අසල්වැසියෙකු වු සොබින් දිසානායක (51) නැමැති පුද්ගලයෙකුට වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් සිදු කර ඇතැයි පොලිසිය පවසයි.

එම ඝාතනයෙන් පසුව පැන ගොස් සිටි මෙම සැකකරු යාල ජාතික වනෝද්‍යානයට මායිම්ව ඇති කහම්බාන,මාරාව රක්ෂිතයේ සැඟවී සිටින බවට පොලීසියට ලද තොරතුරක් මත මොණරාගල පොලිසීය ඊයේ දින දහවල් මොහුව අත්අඩංගුවට ගැනීමට විශේෂ මෙහෙයුමක් දියත් කර ඇත.

එහිදි මෙම සැකකරු පොලිසියට වෙඩි තැබූ බවත් ඊට පොලීසිය  ප්‍රතිප්‍රහාර එල්ල කිරීමේදී මොහු තුවාල ලබා සිරිගල රෝහලට ඇතුලත් කෙරුණු බවද පොලිසිය පවසා සිටියි. එහිදී මෙම සැකකරු ජිවිතක්ෂයට පත්ව ඇත.

මෙම සැකකරු සන්තකයේ තිබී පොලීසියට වෙඩි තැබී පතොරොම් තුවක්කුවක් හා ජීව අත් බෝම්බයක්ද සොයා ගෙන ඇතැයි වැඩිදුරටත් පොලිසිය විසින් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි.

පුද්ගලයෙක් යම් වැරැද්දක් කර ඇත්නම් ඊට දඬුවම් ලැබිය යුතුය. ඒ නීතියට අනුවය. එහෙත් පොලිසියට කිසිදු පුද්ගලයෙකු ඝාතනය කළ නොහැකිය. සැකකරුවාටද ජීවත් වීමේ අයිතිය ඇතුලු ඔහුගේ මානව අයිතිවාසිකම් හිමිය. ඊට එරෙහි වීමට යාම ඔහුගේ මානව අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමකි. පොලිසියි සැකකරුවෙකුට වෙඩි තැබිමේදී වෙඩි තැබිය යුත්තේ කොහේටදැයි නිශ්චිතව සඳහන් කර ඇත. එසේ නොමැතිව සිදු කරන වෙඩි තැබීම් සිතා මතාම සිදු කරන මනුෂ්‍ය ඝාතනයන් බවට සැලකිය හැකිය.

-ශානිකා-

Social Sharing
නවතම