රු,1000 වැඩි කිරීමට එරෙහිව හාම්පුතුන්ගෙන් පෙත්සම් 185 ක්!

2020 මාර්තු 01 වනදා සිට වතු කම්කරුවෙකුගේ දෛනික අවම වැටුප රුපියල් දහසක් විය යුතු බවට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා තීරණය කර තිබුණි.

මීට සමගාමීව යටිතල පහසුකම් ඇතුළු වතු ක්ෂේත්‍රයේ සියලු අංශ කඩිනම් සංවර්ධනයට පියවර ගන්නා ලෙස ජනාධිපතිවරයා උපදෙස් ලබා දී තිබුණේය.

මේ ගෙවෙන්නේ 202102-22 දාය. 2021 මාර්තු පළමුදාට ඇත්තේ තවත් දින කිහිපයක් පමණි. නමුත් ජනාධිපතිවරයා කියු පරිදි වතු කම්කරුවන්ගේ වැටුප් නම් තවම වැඩි වී නැත්තේය.

වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කරන බව පාලක පක්ෂය විසින් පසුගිය ජනාධිපතිවරණයේදී මෙන්ම මහා මැතිවරණයේදීත් ප්‍රකාශ කරනු ලැබුණි. හුදෙක්ම මෙය දේශපාලන වේදිකාවේ එක් පොරොන්දුවක් පමණක් වී ඇත.

ජනාධිපතිවරයාගේ පදවි ප්‍රාප්තියේ පළමු වසර සමරමින් පැවසුණේද  වතු කම්කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කළ බවකි. එහෙත් මෙතෙක් කිසිදු වතු කම්කරුවකුට රුපියල් 1000 ක දෛනික වැටුපක් නම් හිමි වුයේ නැත.

මේ වැටුප් වැඩි කිරීමට සැමදාම එරෙහි වුයේ වතු හාම්පුතුන්ය. කම්කරුවා දිනකට රුපියල් 1000 ක් ගන්නවාට ඔවුන් කැමති නැත. මේ අතර  රජය පොරොන්දු වූ පරිදි වතු කම්කරුවන්ගේ රුපියල් දහසේ දෛනික වැටුප් වැඩිවීම සතියක් ඇතුළත ක්‍රියාත්මක කිරීමට පඩිපාලක සභා මඟින් තීන්දු කර තිබුණේ පහුගිය මාසයේ අන්තිම දිනවලදීය.  ඒ අනුව වතු කම්කරුවන්ගේ රුපියල් 900ක දෛනික දීමනාව රුපියල් 1000 දක්වා වැඩිකිරීමට හැකිවන බව කම්කරු ඇමැති නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කර තිබුණි. කම්කරු ඇමැතිවරයා හා තේ හා රබර් පඩිපාලක සභාව  හමුවූ අවස්ථාවේ දී මෙම තීරණයට එළැඹ තිබේ.

පඩිපාලක සභාවේ අනුමත වීමෙන් පසු ගැසට් කිරීමට පෙර කම්කරු කොමසාරිස් ජනරාල්වරයා විසින් විරෝධතා කැඳවිය යුතුව ඇත. ඒ් අනුව දින 14 ක කාලයක් තුල විරෝධතා කැඳවා සිටියහ.

එහිදී වතු හාම්පුතුන් විසින් විරෝධතා පෙත්සම් 185 ක් යොමු කර ඇත. ඒ් තේ වලට විරෝධතා 171 ක් හා රබර් වලට විරෝධතා 14 ක් ලෙසිනි.

මේ විරෝධතා සාකච්ඡා කිරීමට පහුගිය පෙබරවාරි 19 දා සියලුම දෙනා පඩිපාලක සභාව විසින් කැඳවා ඇති නමුත් එහිදි පැමිණ ඇත්තේ එක් වතු හාම්පුතෙකු පමණි. රැස්වීම පැවැත්වීමට ඇවැසි ගණ පූර්ණය නොමැති නිසා යළි සාකච්ඡාව මාර්තු 01 දාට කල් තැබීමට කම්කරු කොමසාරිස් ජනරාල්වරයා පියවර ගෙන ඇත.

වතු හාම්පුතුන් එදිනටද නොපැමිණියහොත් රජය ඔවුන්ට විරුද්ධව දැඩි තීන්දුවක් ගැනීමට නියමිත බවත් මේ වන විටත් ඒ් සම්බන්ධයෙන් අවැසි කටයුතු සාකච්ඡා වෙමින් පවතින බවද කම්කරු අමාත්‍යාංශය පවසයි.

-ශානි-

Social Sharing
නවතම