‘නිවන’, නලින් සහ නිර්මාල්

වසර කීපයකට පෙර නලින් ද සිල්වා ගේ දක්ෂම අනුගාමිකයන් සමග ‘නිවන දේශපාලන සාධකයක් ලෙස ගැනීමේ ගැටලුව’ පිළිබඳව දිගු වාදයක අප පැටලුණි. ඒවාට අදාළ ලිපි, යූටියුබ් වීඩියෝ ආදිය අවශ්‍ය කෙනෙකුට සොයාගෙන බලා තමන්ගේ නිගමන වලට පැමිණීමට හැකි නිසා එම විවාදය නැවත ආරම්භ කිරීම ප්‍රයෝජනවත් කියා අප සිතන්නේ නැත. නමුත් මේ තිබෙන්නේ වෙනත් පාරකින් එය වෙත ප්‍රවේශ වීමට උත්සාහ කරන නිර්මාල්ගේ මැදිහත්වීමට කරන එකතු කිරීමකි.

ඉක්මනින් සාරාංශ කළහොත්, අප ගෙන ආවේ දාර්ශනික විවේචනයක් වුවත් මෙහි දේශපාලනික අඩංගුවක් තිබුණි. අපගේ තර්කය වූයේ නලින් ද සිල්වාට *ඔහු විසින්ම* යෝජනා කළ ඥානවිභාගාත්මක ස්ථාවරය යටතේ නිවන පිළිබඳව අදහස වෙනුවෙන් පෙනී සිටීමට නොහැකි බවයි. ඔහුගේ අර්ථකථන ලෝකය තුළ නිවන ගත හැකි වූයේ තවත් එක් ‘කතන්දරයක්’ සහ එනිසාම තවත් එක් ‘බොරුවක්’ ලෙස පමණි. එය අවම වශයෙන් අනුභූතිකව හෝ අත්දැකිය නොහැකි දෙයක් වන නිසා එය සත්‍ය වශයෙන්ම දැමිය හැක්කේ නිකන්ම ‘බොරුවක්’ නොව ‘පට්ටපල් බොරුවක්’ යනුවෙන් නලින් ද සිල්වා වර්ගීකරණය කළ දේ තුළටයි. එම නිසාම එය ‘දෙවියන්’ වැනි විකල්ප ආගමික අදහස් වලින් වෙන් කර ගැනීමට ඔහුගේම ඥානවිභාගය ඉඩ දෙන්නේ නැත. එය අපට ගත හැකි වන්නේ හුදු ඇදහිල්ලක්, භක්තියක්, විශ්වාසයක් ලෙස පමණි.

මෙයට මූලික ප්‍රතිචාර දෙකක් ලැබුණි. චරිත කාරියවසම්, ශිරන්ත චාමර වැනි අය කියා සිටියේ නිවන විශ්වාසයක් බවත්, එය එසේ වනවා කියා පිළිගැනීම නලින් ද සිල්වාට කිසිඳු අපහසුවක් නොවනා බවත් ය. අප කියා සිටියේ එය එසේ නොවනා බවයි. අප කියා සිටියේ නලින් ද සිල්වා ට මෙය මෙසේ පිළිගත නොහැකි බවත්, ඔහුට අනුව නිවන යනු ‘සත්‍යයක්’ බවත් ය. මේ ‘සත්‍යය’ යන වචනය, දැනුම මාර්ගයෙන් සැබෑව අල්වා ගැනීම යන අර්ථයෙන්, ඔහු ප්‍රතික්ෂේප කරන්නේ වුවත්, ‘නිවන යනු දැනුමක් නොවේ’ කියා ඔහු කියන විට එමගින් ප්‍රායෝගිකව අදහස් වන්නේ මෙය දැනුමින් ග්‍රහණය කරගත නොහැකි ‘විකල්ප-ප්‍රායෝගික සත්‍යයක්’ බව පමණි. මෙය දැනුමින් වටහා ගත නොහැකි වුවත් විකල්ප ක්‍රමවේද වලින් (‘බණ භාවනා’) වටහා ගත යුතු, එසේ වටහා ගත් පසු අපේ ‘මායාව’ අවසන් වී, මේ සසර පරම ලෙස අවසන් කරන වියහැකිභාවයකි. එනිසා නලින් ට අනුව මෙය කිසි සේත් තවත් එක් විශ්වාසයක් නොවේ. මේ තිබෙන්නේ, නලින් ට අනුව, අපට තිබෙනා එකම ගැලවීමේ බලාපොරොත්තුවයි.

තමලු මලිත්ත පියදිගම සහ අනුජ මංචනායක වැනි අය පෙනී සිටියේ මේ ස්ථාවරය වෙනුවෙනි. අප සිතනා ආකාරයට නලින් ද සිල්වා ගේ අදහස් සම්බන්ධයෙන් නිවැරදි කියවීම වන්නේ ද මෙයයි. නමුත් මේ නිසාම එය උක්ත අපහසුවට අනිවාර්යයෙන් මුහුණ දීමට ද සිදු වේ. එනම්, නිවන යනු ‘බොරුවක්’ නොවන්නේ කෙසේද යන්න පෙන්වා දීමේ අපහසුවයි. ‘නිවන දැනුමක් නොවේ’, ‘නිවන යනු ඉපදීම අවසන් කිරීමයි’ වැනි අදහස් දැනුමක් නොවන්නේ කෙසේද කියා නලින් ද සිල්වා ගේ සංකල්ප රාමුව තුළ පෙන්විය නොහැක. එනිසා එය හුදු විශ්වාසයක් ලෙස ගත යුතු අතර, එවිට එය දෙවියන් පිළිබඳව විශ්වාසයට වඩා අඩුවෙන් හෝ වැඩියෙන් හෝ වටින්නේ නැත.

නමුත් මෙවැනි පරස්පරයකට නලින් ට මුහුණ දෙන්න සිදු වූයේ ඇයි? කොන්ටෙන් මෙයසූ ඇසුරින් අප පෙන්වා දුන්නේ දැනුමේ හැකියාව සීමා කිරීමේ ප්‍රතිඵලයක් ලෙස ‘විකල්ප ක්‍රමවේදයන්’ ඔස්සේ ‘විමුක්තිය’ ලැබීමේ හැකියාව විවෘතව තැබීමට සිදුවීම අනිවාර්යය වන බවයි. නලින් ගේ ස්ථාවරයට අනුව අපට සංස්කෘතික කරුණුමයභාවය පසුකර යා නොහැකි වන නිසා අපට ඉතිරි වන එකම තෝරා ගැනීම වන්නේ මෙම සංස්කෘතිය විසින් යෝජනා කරනා ‘විමුක්ති මාවත්’ විශ්වාස කිරීම, ඇදහීම පමණි. නමුත් මේ පියවර තැබූ සැනින් අපේ ‘බුද්ධිමත් නිර්මාණාත්මක සාපේක්ෂතාවාදියා’ සහ ක්‍රිස්තියානි, හින්දු, ඉස්ලාම් අන්තවාදියෙක් අතර ගුණාත්මක වෙනසක් නොමැති වී යයි. ඔවුන් සියලු දෙනා උත්සාහ කරන්නේ සිය ආගමික විශ්වාසයට අනුකූල වන රාජ්‍යයන් නිපැදවීමට සහ එයට එරෙහි වන අය – ‘හොඳින් බැරිනම් නරකින්’ – පරාජය කරන්නට යි. දාර්ශනික විවේචනයක් ලෙස එල්ල වූ මෙහි තිබෙනවා කියූ දේශපාලන අඩංගුව වන්නේ මෙයයි.

අප සිතනා ආකාරයට නිර්මාල් මෙහිදී මෙම ප්‍රශ්නයට ප්‍රවේශ වන්නේ එවැනි දාර්ශනික ප්‍රවේශයකින් නොවේ. නිවන පිළිබඳව අදහස නලින් යෝජනා කරන්නේ සිය ‘ඥානවිභාගයේ’ ඇති නෛසර්ගික සීමාවක් නිසාය යන තර්කය නිර්මාල් මෙහිදී ප්‍රමුඛ කරන්නේ නැත. ඒ වෙනුවට නිර්මාල් මෙහිදී උනන්දු වන්නේ කොමියුනිස්ට්වාදය පිළිබඳව අදහස සහ නිවන පිළිබඳව අදහස අතර සංසන්ඳනයක් කිරීමෙන් දේශපාලනය සඳහා ලෞකික පදනමක් තිබීමේ වැදගත් කම අවධාරණය කිරීමටයි. ඒ අනුව කොමියුනිස්ට්වාදය ලෞකික ලෙස, සංයුක්ත ලෙස (උදා: දෙපළ සම්බන්ධතා වල ඇති වන පරිවර්තනයක්) පැහැදිළි කළ හැකි අතර මෙය සාමූහිකව ළඟා විය යුතු ඉලක්කයක් වන නිසා දේශපාලනයේ සාමූහිකත්වය සමග සම්බන්ධ වෙයි.

නිර්මාල් ගේ මේ යෝජනාව මගින් ඉලක්ක කරන අවසාන අරමුණට අප විරුද්ධ නැති බව අමුතුවෙන් කිව යුතු නැති වුවත්, නිවන සහ කොමියුනිස්ට්වාදය අතර සංසන්ඳනය එතරම් සාර්ථක එකක් වනවා කියා අප සිතන්නේ නැත. මෙයට හේතුව වන්නේ මේවා නිර්මාල් ගේ රාමුවේ තිබෙනා ආකාරයට ආගමික භක්තිවන්තයා ගේ ලෝක දැක්ම තුළ සමාන වියහැකි තෝරා ගැනීම් නොවීමයි. එකක් ‘පරම සත්‍යය’ වන විට අනෙක, උපරිම වශයෙන්, අනාගත දේශපාලනය පිළිබඳව තිබෙන එක යෝජනාවකි. නලින් ද සිල්වා ගේ ‘ඥානවිභාගයට’ අනුව ගත්විට කොමියුනිස්ට්වාදය යනු ‘දැනුමක්’ වන විට නිවන (පමණක්) ‘නොදැනුමකි’. මෙවැනි ‘අති සුවිශේෂ’ වර්ගීකරණයක් කොමියුනිස්ට්වාදය වැනි ‘සිල්ලර’ දැනුමක් සමග ළඟින්වත් තබන්නේ කෙසේද?

එම නිසා, මෙහිදී අප යෝජනා කරන්නේ මේ අදහස් දෙකේ තිබෙනා ගුණාත්මක වෙනස අප නිවැරදි ලෙස එළියට ගත යුතු බවයි. මෙහි පියවර දෙකක් තිබෙනවා කියා අපි යෝජනා කරමු:

1) පළමු පියවරේ දී අප පෙන්වා දිය යුත්තේ මෙය ඉස්ලාම් අන්තවාදියෙක් විසින් කැලිෆේටයක් නිර්මාණය කිරීම අරමුණු කිරීමෙන් කිසි සේත් වෙනස් නොවන බවයි. ඒ මගින් නලින් ද සිල්වා ගේ අදහස් වලින් මෙම නිවන වෙත ලබා දී ඇති දාර්ශනික සළුපිලි අප ඉවත් කළ යුතුය. මෙහි ඇති මහා ලොකු ‘ඥානවිභාගාත්මක’ ස්ථාවරයක් නැති බව අප පෙන්වා දිය යුතුය (අප සිතනා ආකාරයට මේ පියවර අප මේ වනවිටත් තබා තිබේ).

2) ඉන් පසුව තිබෙන්නේ මෙවැනි ආගමික විමුක්ති කතිකාවන් දාර්ශනිකව වැරදි වන්නේ ඇයි ද, ඒවා ‘ව්‍යාජ විඥානයන්’ වන්නේ ඇයි ද යන්න පෙන්වා දීමයි. භෞතිකවාදී දාර්ශනික දැක්මක දේශපාලන වැදගත්කම වන්නේ මෙයයි. මාක්ස්වාදයේ ඉතිහාසය පුරා – මාක්ස්, එංගල්ස්, ලෙනින්, ග්‍රාම්ස්චි, අල්තුසර් ආදී ලෙස – භෞතිකවාදී දර්ශනයක් ගොඩ නැගීමේ ගැටලුව ප්‍රමුඛ කරන නිශ්චිත හේතුව වන්නේ මෙයයි. (නමුත් මෙය අපට තවමත් ඉතිරිව තිබෙනා අභියෝගයකි – අප ඉදිරි කාලයේ දී උත්සාහ කරන්නේ මේ වෙනුවෙන් මහන්සි වීමටයි).

අප සිතනා ආකාරයට මෙවැන්නකින් තොරව කොමියුනිස්ට්වාදය සහ නිවන අතරින් දේශපාලන තෝරා ගැනීමක් කිරීම පිළිබඳව *අදහස්මය තලයේ* අරගලයක් කිරීම අපහසුය. (බල දේශපාලනය ඇතුලේ මෙවැනි ප්‍රවණතා පරාජය කිරීමට මේවා අත්‍යවශ්‍ය නොවේ – සත්‍ය වශයෙන්ම මේ ආකාරයේ වාර්ගික-ආගමික සිංහල ජාතිකවාදී දේශපාලනය දැන් තිබෙන්නේ කෑලි කීපයකට කැඩී ගොස් දේශපාලනිකව දුර්වල තත්වයකයි).

– උපුටාගැනීම : බටහිර ඉවුරේ දර්ශනය –

Social Sharing
අවකාශය නවතම