නිරෝධායනය අවසන් නොවීමෙන් පොළොන්නරුවේ 660 ට ඡන්ද අයිතිය අහිමි වේ.

පොලොන්නරුව ලංකාපුර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයේ සමාජයෙන් හමු වූ කොරෝනා ආසාධිතයින්ගේ ආශ්‍රිතයින් හා නිවෙස්වල ස්වයං නිරෝධායනය දින 14 අවසන් නොවූ පවුල් 330කට අයත් පුද්ගලයින් 1100 ක පිරිසෙන් 660 කට අධික පිරිසකට PCR පරීක්ෂණ හා නිරෝධායන කාලසීමාව අවසන් නොවීම හේතුවෙන් ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමි වී ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

පොලොන්නරුව  දිස්ත්‍රික්කයේ මේ වනවිට පවුල් 330 කට අයත් පුද්ගලයින් 1100ක් නිවෙස් තුළ ම ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවත් ඔවුන්ගේ දෙවන පී.සී.ආර් පරීක්ෂණය  තවමත් සිදු කර නොමැති අතර නිවෙස් තුළ දින 14 නිරෝධායන කාල සීමාව අවසන් වී නැති බවත් පොලොන්නරුව ප්‍රාදේශීය සෞඛ්‍යසේවා අධ්‍යක්ෂ වෛද්‍ය  ඩබ්.කේ.ඩබ් එස් කුමාරවංශ මහතා පැවසීය.

ඒ මහතා වැඩි දුරටත් පැවසුවේ පොලොන්නරුව දිස්ත්‍රික්කයේ සෑම ඡන්ද මධ්‍යස්ථානයකටම සෞඛ්‍ය කාර්ය මණ්ඩල නිලධාරියෙකු යොදවා තිබෙන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විසින් නිකුත් කරන ලද සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ඡන්ද මධ්‍යස්ථානවල කටයුතු සිදු කිරීම අධීක්ෂණය කෙරෙන බවයි. “අපි මේ වනවිට දිස්ත්‍රික්කයේ සියලුම ඡන්ද මධ්‍යස්ථානවෙත එක් සෞඛ්‍ය නිලධාරියෙකු බැගින් යොදවා තිබෙනවා. ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා කාර්යාලයේත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ටාශ 7 හී කාර්යාලවල නිලධාරීනුත් ඊට අමතරව හෙද කාර්යමණ්ඩලත් මේ සදහා යොදවා තිබෙනවා. විශේෂයෙන් ම ලංකාපුර කොරෝනා ආසාධිතයින්ගේ ආශ්‍රිතයින් ට අයත් පවුල් 19 ක් හදුනාගෙන ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් ඇතුළු 90ක් නිරෝධායනයට ලක් කර තිබෙනවා. අනිවාර්ය නිරෝධායන කාල සීමාව ඉවර වුණු පී.සී.ආර් පරීක්ෂණ 2 කම අවසන් වූ නිවෙස්තුළ නිරෝධායන කාල සීමාව තවත් දින 14ක කාලයක් යොමු කළ  පවුල්වල පුද්ගලයින් 65ක් පමණ ඡන්දය පාවිචිචි කිරීමට ඡන්ද මධ්‍යස්ථානවෙත එනවා. ඒ අයට උපරිම සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කෙරෙනවා. “හෙතෙම වැඩි දුරටත් කීය.

ඊෂා මුදියන්සේ – පොලොන්නරුව

Social Sharing
නවතම