බේරුවල දරුවාට වැඩ තහනම් කිරීමකින් පමණක් යුක්තිය ඉටුවේද?

බේරුවල, දර්ගා නගරයේ විසු 16 හැවිරිදි දරුවෙකු මුඛ ආවරණයක්ද නොමැතිව පා පැදියකින් දර්ගා නගරයේ සිට වැලිපැන්න නගරය දෙසට ගමන් කරමින් සිටියදී අඹගහ හන්දියේ, ඉන්ධන පිරවුම්හ අසල පිහිටි පොලිස් මාර්ග බාධකයේ සිටි පොලිස් නිලධාරීන්ගේ පහර කෑමට ලක්ව තිබුණේ ඉකුත් මැයි මස 25 දා පස්වරු 4.45 ට පමණය.

පොලීසිය පවසන්නේ මෙම දරුවාට නවතින ලෙස සංඥා කළත් එය නොතකා පාපැදියෙන් ඉදිරියටම ගමන් කළ බවය. ඊට සුලු වේලාවකට පසු නැවත එම දරුවා එම පොලිස් මාර්ග බාධකය හරහාම වැලිපැන්න දෙස සිට දර්ගා නගරය දෙසට පා පැදියෙන් ගමන් කරමින් සිටියදි මාර්ග බාධකයේ සිටි පොලිස් නිලධාරීන් පා පැදිය අල්ලා නැවැත්වීමට උත්සහ කළ අවස්ථාවේ මෙම දරුවාට පා පැදිය පාලනය කර ගැනිමට නොහැකිව ගොස් මාර්ගය අසල තිබු මාලු ලෑල්ලක ගැට්ටේ වැදි බිම ඇද වැටුණු බව පොලිසිය පවසා සිටියි.

බිම ඇද වැටුණු දරුවා මහ හඬින් කෑ ගසමින් දිව යන්නට උත්සහ කළ අවස්ථාවේ පොලිස් නිලධාරීන් විසින් මෙම දරුවාව මෙල්ල කර ගත් බවද පොලිසිය ප්‍රකාශ කර සිටියි. එහිදී අසල සිටි පුද්ගලයකු පැමිණ මොහු මන්ද මානසික දරුවෙකු බවත් ඔහුගේ පියා දර්ගා නගරයේ, සෙන්ට්‍රල් පාර පදිංචිව සිටින බවත් ප්‍රකාශ කර ඇතැයිද ඒ අනුව දරුවාගේ පියා පොලිස් මාර් බාධකය අසලට කැඳවා අලුත්ගම පොලිසිය වෙත දෙදෙනාම කැඳවාගෙන ගිය බවද එම පොලිස් නිලධාරින් ප්‍රකාශ කර ඇත.

පොලිසිය ප්‍රකාශ සටහන් කර ගැනිමේදී දරුවා කිසිවෙකුට නොදන්වා නිවසින් බැහැරව ගොස් තිබූ බව පියා විසින් පොලිසියට පවසා ඇත.

මෙම දරුවා හොඳින් හැදී වැඩී ඇති දරුවෙකු බැවින් මොහුව දුටු මුල් අවස්ථාවේදිම සිතූවේ මොහු මත්ද්‍රව්‍ය වලට ඇබ්බැහි වුවෙකු බවත් මොහු කිසිලෙසකින් මන්ද මානසික දරුවෙකු ලෙස නොසිතූ බවද පොලිස් නිලධාරින් විසින් කියා ඇත. නමුත් පියාගෙන් අනාවරණය වු කරුණු මත කිසිදු නීතිමය කටයුත්තකින් තොරව ඔහුව පියා සමඟ පිටත් කර හැරිය බවද එම පොලිස් නිලධාරින් විසින් වැඩිදුරටත් දන්වා ඇත.

නමුත් මෙම මන්ද මානසික දරුවාට පොලිස් නිලධාරීන් පහර දී ඇති බව එම දරුවාගේ පියාට නිරික්ෂණය වීම නිසා ඔහු මේ සම්බන්ධයෙන් පොලිසියේ ඉහළ නිලධාරීන්ට පැමිණිලි කිරීමට පියවර ගෙන තිබුණි.

එමෙන්ම මෙම දරුවා පොලිස් වධ හිංසාවට ලක් වීම සම්බන්ධයෙන් දිගින් දිගටම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ මෙන්ම විවිධ මාධ්‍ය වලින් වාර්තා වීමත් සමඟ පොලිස් දෙපාර්තමේන්තුවට මේ සම්බන්ධයෙන් තවදුරටත් නිහඬ පිලිවෙතක් අනුගමනය කළ නොහැකි විය.

ඒ අනුව කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ හා කළුතර කොට්ඨාශ භාර පොලිස් අධිකාරිවරයාගේ අධීක්ෂණය යටතේ එම අවස්ථාවේ රාජකාරියේ යෙදි සිටි පොලිස් නිලධාරීන් වෙතින් යම් රාජකාරි පැහැර හැරීමක් සිදුවී ඇත්ද පරික්ෂා කිරිම සඳහා අභ්‍යන්තර විමර්ශනයක් ආරම්භ කර තිබේ. එමෙන්ම මෙම මන්ද මානසික දරුවාව කලුතර නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට හා මානසික වෛද්‍යවරයෙක් වෙතද ඉදිරිපත් කර ඇත.

මීට අමතරව මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩ බලන පොලිස්පතිවරයාගේ නියමයෙන් කොළඹ ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් අධිකාරීවරයෙකුගේ යටතේ වෙනම විමර්ශනයක්ද ආරම්භ කර ඇත.

මෙහිදී හෙළි වු කරුණු කාරණා මත එම අවස්ථාවේ රාජකාරියේ යෙදී සිටි උප පොලිස් පරික්ෂවරයෙක්, පොලිස් සැරයන්වරයෙකුගේ හා පොලිස් කොස්තාපල්වරයෙතුගේ වැඩ තහනම් කිරීමට ඊයේ (05) දින කළුතර දිසත්‍රික් 1 භාර පොලිස් අධිකාරීවරයා විසින් පියවර ගෙන ඇත.

මෙලෙස වැඩ තහනමට ලක් වූ උප පොලිස් පරික්ෂකවරයා හා පොලිස් සැරයන්වරයා කළුතර පොලිස් අභ්‍යාස විද්‍යාලයට අනියුක්තව සේවය කරන නිලධාරීන් දෙදෙනෙක් වූ අතර විශේෂ රාජකාරී පදනම මත අලුත්ගම පොලිසියට අනියුක්තව සේවය කළ දෙදෙනෙකු බවද පොලිස් මුලස්ථානය විසින් වැඩිදුරටත් සඳහන් කර සිටියි.

වැඩ  තහනම් කිරීමෙන් පමණක් නොනැවතී පොලිස් නිලධාරීන්ගේ වධ හිංසාවට ලක් වූ මෙම මන්ද මානසික දරුවාට සාධාරණයක් ඉටු වෙන තුරු සියල්ලෝම බලා සිටිමු.

-ශානිකා-

Social Sharing
නවතම