යක්කලමුල්ල සිද්ධියට එරෙහි පෙත්සමේ වගඋත්තරකරවන්ට නීතිපති සහය නැතිවෙයි.

Petition against Yakkalamulla Police brutality loses support of Attorney General

යක්කලමුල්ල පොලීසිය විසින් පහර දී වදහිංසාවට ලක් කර, අනීතික ලෙස අත් අඩංගුවට ගනු ලැබූ බවට චෝදනා කරමින්, සිය මූලික අයිතිවාසිකම් කඩ වූ බවට කරුණු ඉදිරිපත් කරමින් කොග්ගල වෙල්ලාලගේ සිසිර කුමාර මහතා විසින් පැවරූ SC/ FR/118/22 දරණ මූලික අයිතිවාසිකම් පෙත්සම ඊයේ ගරු ශ්‍රේෂ්ඨාධිකරණයේදී කැදවනු ලැබීය.

එකී පෙත්සම යක්කලමුල්ල පොලිස් ස්ථානාධිපති සහ ප්‍රියන්ත ගාමිනී නම් පොලිස් කොස්තාපල්වරයාද, උඩුගම බලප්‍රදේශයේ සහකාර හා ජේෂ්ඨ පොලිස් අධිකාරීවරුන්ද, ගාල්ල දිසා නියෝජ්‍ය පොලිස්පතිවරයාද, පොලිස්පතිවරයාද සහ ගරු නීතිපතිවරයාද වග උත්තරකරුවන් කරමින් පවරා ඇත.

මීට පෙර මෙම නඩුව කැදවූ අවස්ථාවේදී පොලීසිය විසින් සිදු කරන ලද වදහිංසාව පිළිබද පැහැදිලි සාක්ෂි ඇත්නම් නීතිපතිවරයා තවදුරටත් මෙම නඩුවට පෙනී සිටිනවාද නැද්ද යන්න පිළිබද තීරණය වීඩියෝ සාක්ෂි සලකා බලා ඉදිරි දිනදී දන්වන බව පවසා තිබුණි.

මෙම පෙත්සමට ගොනු කර ඇති cctv දර්ශන ඇතුලත් වීඩියෝ තැටි සහ ඡායාරූපද, පෙත්සමේ තවත් කරුණුද සලකා බලමින් රජයේ ප්‍රතිපත්තිය අනුව යමින් මෙම නඩුවේ වගවගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටීම සිදු නොකරන බව ඊයේ දිනයේ නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා අධිකරණයට දැනුම් දී ඇත.

වදහිංසනය සම්බන්ධව බැලූ බැල්මට පෙනෙන සාක්ෂි ඇත්නම් නීතිපතිවරයා එම වදහිංසනයට සම්බන්ධ රජයේ නිලධාරීන්ට පෙනී නොසිටීම රජයේ ප්‍රතිපත්තියකි.

ඒ අනුව මෙම පෙත්සම ඔක්තෝබර් මස 04 වන දින විභාගයට ගැනීමට නියම කරන ලදී.

පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ දුලාන් දසනායක මහතාගේ උපදෙස් මත නීතිඥ තනුක නන්දසිරි මහතා පෙනී සිටින ලද අතර සිසිර කුමාර මහතාගේ මෙම මූලික අයිතිවාසිකම් කඩ වීමේ සිට මෙම පෙත්සම පවරා පවත්වාගෙන යාම සදහා ඔහු වෙනුවෙන් රයිට් ටු ලයිෆ් මානව හිමිකම් මධ්‍යස්ථානය නීති හා අනෙකුත් ආධාර සප‍‍යයි.

Social Sharing
නවතම