අනුරුද්ධ සම්පායෝ හා රටේ නීතිය..

අනුරුද්ධ සම්පායෝය. ඔහු ගැන රටේ බොහෝදෙනෙකු දැන සිටියේ නැත. සරලව කිවහොත් ඔහුව රට්ටුන්ට වැදගත් චරිතයක් ද වුයේ නැත. එහෙත් පහුගිය දිනවල මීගමුව බන්ධනාගාරයේ සිරකරුවන්ගේ සිරකුටි වල අධි සුඛෝපභෝගී ඡායාරූප අන්තර්ජාලයේ සැරිසරන්නට පටන් ගැනීමත් සමග රටේ අවධානය ටිකෙන් ටික මීගමුව බන්ධනාගාරය දෙසට යොමු විය.

එවකට මීගමුව බන්ධනාගාරයේ අධිකාරිවරයා වුුයේ අනුරුද්ධ සම්පායෝය. මීගමුව බන්ධනාගාරය තුල විවිධ දුෂණ හා විෂමාචාර ක‍්‍රියා සිදුවන බවට හෙළිවන්නට පටන් ගැනීමත් සමග අනුරුද්ධ සම්පායෝව කළුතර බන්ධනාගාරය වෙත මාරු කර යැවුණි. නමුත් පසුව මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කිරිමත් සමග මොහුගේ ඇතුලූ තවත් නිලධාරින් තිදෙනෙකු පළමුව වැඩ තහනමට ලක් කෙරුණි.
එකී විමර්ශන වලට අදාලව බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ, දෙවැනි පෙළ ජේලර්වරයෙකු වු ප‍්‍රසාද් කාලිංග කලූඅග්ගල, ප‍්‍රධාන ජේලර්වරයෙකු වු උපාලි සරත් බණ්ඩාර, වැඩ බලන ජේලර් වශයෙන් කටයුතු කළ නිශාන්ත සේනාරත්න නැමැති යන අය අත්අඩංගුවට ගන්නා ලෙස නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා විසින් මීගමුව මහේස්ත‍්‍රාත් අධිකරණයෙන් වරෙන්තු ඉල්ලා තිබුණේ මීට දින කිහිපයකට ඉහතදීය.

බන්ධනාගාරගත සිරකරුවන් හා රැදවියන් සමග එක්ව මීගමුව බන්ධනාගාරය තුල මත්ද්‍රව්‍ය ජාවාරම සිදුකිරීම සදහා කුමන්ත‍්‍රණය කිරිම, ඒ සදහා ආධාර අනුබල දීම, බන්ධනාගාරගත රැදවියන්ට තහනම් භාණ්ඩ ලබා දීම, කූඨ ලේඛන සකස් කිරීම ආදීචෝදනා මොවුන්ට එල්ල වී තිබුණි.

සෙසු පුද්ගලයින් තිදෙනා අත්අඩංගුවට පත් වුවත් සම්පායෝ අත්අඩංගුවට පත් වුයේ නැත. මේ සම්බන්ධයෙන් නියෝජ්‍ය සොලිසිටර් ජෙනරාල් පහුගිය දින කිහිපය පුරාවටම පොලීසියට බැණ වැදුනේය. ඔහු අවසන් වරට කියා සිටියේ මේ මස 04 වන දිනට ප‍්‍රථම සම්පායෝ අත්අඩංගුවට ගත නොහැකි වුවහොත් පොලිස්පතිවරයා අධිකරණයට පැමිණ හේතු දැක්විය යුතු බවය. පසුගියදා මේ සම්බන්ධව මාධ්‍ය සාකච්ඡාවක් පැවැත්වූ නියෝජ්‍ය සොලිස්ටර් ජෙනරාල් දිලීප පීරිස් මහතා පොලීසිට විශාල විවේචනයක් ඉදිරිපත් කරමින් සම්පායෝ අත්අඩංගුවට නොගැනීමට හේතු විමසීය. මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව නීතිපති දෙපාර්තමේන්තුව පැවැත්වූ පළමු ප්‍රවෘත්ති සාකච්ඡාව ලෙස ඉතිහාසගත විය.

මෙම සියලු විවේචන හමුවේ පොලීසිය වෙත ලැබුනු තොරතුරක් මත ඊයේ (02) දහවල් අනුරුද්ධ සම්පායෝ කුරුණෑගලදී පොලිස් අත්අඩංගුවට ගෙන ඇති අතර පසුව ඔහු මීගමුව බන්ධනාගාරය වෙත ඉදිරිපත් කර තිබේ. තමන් සගවාගෙන සිටියේ අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා විසින් බවට ගිය ප්‍රචාරය හේතුවෙන් තමන් පොලීසිය භාරවූ බව සම්පායේ මහතා ප්‍රකාශකර තිබු බව මාධ්‍ය වාර්තා කර තිබුනි.

-ශානිකා-

Social Sharing
නවතම