ජනතාව නැමැති ගිනි කන්ද සහ රනිල්ගේ මර්දනය

Ceylon Teachers Union budget 2021 sri lanka

– අතුලසිරි සමරකෝන් –

ජනාධිපති ලෙස දිව්රුම් දුන් දින රෑම රනිල් ගාලු මුවදොර අරගලයට එතෙක් දැක්වු සෘජු හා වක්‍ර සහයෝගය වෙනුව⁣ට එය මර්දනය කිරීමට ක්‍රියාත්මක විය. විශාල මර්දන කණ්ඩායමක් යොදවා බලහත්කාරයෙන් අරගලකරුවන් ඉවත් කෙරිණ. ඉන්පසු දිගින් දිගටම ප්‍රමුඛ නායකයන් අත්අඩංගුවට ගැනීම ක්‍රියාත්මක කෙරිණ. මුලු රටම දැඩි හදිසි නීති⁣යක අඩස්සියේ තබා ඇත. 1970 දශකයේ භාවිතා කල හදිසි නීති තත්වයම වැනි එකක් දැන් රට භීතියට පත්කොට ඇත. රනිල් තම පාලනයට එරෙහිව මතුවන විරෝධය කලින්ම මර්දනය කිරීම අරඹා ඇත. එය pre-emptive තත්වයකි.

නමුත් මෙ⁣ම මර්දනය සාර්ථක විය හැකිද? ඊයේ (03) ස්ටාලින්ව අත්අඩංගුවට ගැනීම හරහා රනිල් අරගලයේ සමස්ථ විරෝධතාවම තමා දෙසට හරවා ගෙන ඇත. ගෝඨාභය ගෙදර යවන සටනේ පුර්විකාව ස්ටාලින් ප්‍රමුඛ ගුරු අරගලය විය. මාස ගණනක ගුරු අරගලය කොවිඩ් සමයක සාර්ථකව හා ඔන්ලයින් ක්‍රියාත්මක සහ දියත් කළ නායකයා ස්ටාලින් විය.

එය මෙරට වර්චුවල් අරගල ඉතිහාසයේ ප්‍රමුඛතම එකකි. දසදහස් ගණනින් ගුරුවරු zoom meetings වල⁣ට ගෙන ඒමට ස්ටාලින්ට හැකිවිය. ආණ්ඩුව දණ ගස්වා යම් හෝ සහනයක් හෙම්ඹත්වූ ගුරුවරුන්ට ලබාදීමට ස්ටාලින්ට හැකිවිය. බලගතු මහින්ද හා ගෝඨාභය ස්ටාලින් සමග සාකච්ඡා කළෝය. ඔවුන් නිසැකවම ස්ටාලින් සතු බලය ගැන හොද අවබෝධයක් සහිතව ක්‍රියාකළ බව නිසැකය.

රනිල්ගේ මූලික එළඹුම රාජ්‍යය තුළ පුරවැසියන් නිශ්ක්‍රීය බව සිතීමයි. ඔහුට ඡන්දය හෝ ජනතාව යනු ෆික්ෂන් එකක් පමණි. නමුත් එම උපකල්පනය නිවැරදි නොවෙයි. ජනතාව සැමවිටම සක්‍රීය නොවිය හැකියි. නමුත් ජනතාව ගෝඨාභය ගෙදර යැවූවෝය. රනිල්ගේ පක්ෂය හාන්සි කළෝය. එම උදාහරණ දෙක හොඳින් තේරුම් ගන්නේ නම් ජනතාව නැමැති ගිනි කන්ද බලයෙන් විදාරණය කිරිමට රනිල් ක්‍රියා නොකරනු ඇත.

රනිල් අවු 25ක සැලැස්මක් ගැන කතා කලාට ඔහුගේ ඉලක්කය එදා වේලයි. ඔහු අඩුම තරමින් එක වසරක් හෝ ජනාධිපති වී සිටීමට සමත් වුවහොත් එය ද වාර්තාවක් වනු ඇත. භූමියෙන් කිසිම වාසියක් නොමැතිව, රාජපක්ෂලා සමග එක්ව ප්‍රජාතන්ත්‍රවාදය ඇති කළ නොහැකි බව රනිල් දනී. එම නිසා ඔහුගේ මීළඟ කෙටි පාලනය දියත් කිරීමේ එකම මඟ ප්‍රබල විරුද්ධවාදියෙක් නිර්මාණය කරගෙන එයට විරුද්ධව මර්දනය දියත් කරන අතර මධ්‍යම පංතියේ අනුකම්පාව දිනා ගැනීමයි. හැබැයි ඔහු සිතන ලෙසටම මෙම උපක්‍රමය සාර්ථකව ගෙනයා නොහැක. මන්ද ජනතාව රාජපක්ෂලාට තැබූ අත රනිල්ට ඊට වඩා දැඩිව තැබීමට ඉඩ ඇති බැවිණි.

මර්දනය නවතනු!
ස්ටාලින් ඇතුලු ප්රජාතන්ත්රවාදීන් වහා නිදහස් කරනු!!

 

 

Social Sharing
නවතම විශේෂාංග