අබාධිත තම දරුවා වෙනුවෙන් පියාගෙන් ඉහලට පැමිණිලි!

විශේෂ අවශ්‍යතා සහිත මුස්ලිම් ශිෂ්‍යයකුට පොලීසිය විසින් මහමගදී අමානුෂික ලෙස පහරදී වධහිංසා කිරීම පිළිබඳ පැමිණිල්ලක් බාර නොගෙන පරීක්ෂණ නොමග යැවීමට තැත් කිරීම සම්බන්ධයෙන් පොලීසියට චෝදනා එල්ල වී තිබේ.

වධහිංසාවට ලක්වූ දරුවාගේ පියා මේ වන විටත්  ඉහලම පොලිස් අධිකාරියට වාර්තා කර ඇත්තේ නිරෝධායන ඇඳිරි නීතිය පෙරටු කරගෙන බිය වද්දමින් අලුත්ගම පොලීසිය පැමිණිල්ල බාර නොගෙන සිටීමට ගත් උත්සාහයක් ගැනයි.

“ඕටිසම්” නම් මානසික දුර්වලතාවකින් පීඩා විඳින තම පුත්‍රයාට අලුත්ගම පොලිස් වසමේ අඹගහ හන්දිය පොලිස්  මුරපොළ අසල දී පොලිස් භටයන් විසින් ගුටි බැට දී, ගස් බැඳ තිබූ බව දර්ගා නගරවාසී  ඒ.එච්.එම් වසීර් ජාතික පොලිස් කොමිසමට පැමිණිලි කර තිබේ.

මැයි මස 25 වන දින  සවස 4.50ට පමණ අලුත්ගම පොලිස් වසමේ අඹගහ හන්දිය පොලිස්  මුරපොළ අසල තම දරුවාට  සිදුවූ වද හිංසනය සම්බන්ධයෙන් කළුතර උතුර නියෝජ්‍ය පොලිස්පති වෙත ලිපියක් යොමු කරමින් ඒ.එච්.එම් වසීර් පියා සදහන් කර  ඇත්තේ  තම අනු දැනුමෙන් තොරව සිය පුතු එදින පාපැදියකින් ගෙදරින් පිටත්වී ඇති බවයි.

පුත්‍රයාට වධහිංසා කිරීම ගැන දැනගත් පසු එතනට ගිය මොහමඩ් වසීර් දරුවා මානසික ආබාධිතයෙකු බව කී විට මුරපොලේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරීන් පවසා ඇත්තේ 14 හැවිරිදි දරුවා  බීමතින් පැමිණ  එම ස්ථානයේ කලහකාරි ලෙස හැසුරුන බවයි.

“මගේ පුතා කිසිම දවසක මත්පැන් පානය නොකරන අතර ඔහුගේ පෙනුමෙන්ම මානසික ආබාධිතයකු බව වටහා ගත හැකිය, ” යි  ඒ.එච්.එම් වසීර් කළුතර උතුර  නියෝජ්‍ය පොලිස්පති වෙත යොමු කළ පැමිණිල්ලේ සඳහන්ය.

පොලිස් නිලධාරීන්ගේ භාරයෙන් මුදවාගත් දරුවාද රැගෙන පැමිණිල්ලක් සිදු කිරීම සදහා පියා එම මොහොතේම අළුත්ගම පොලිස්ථානය වෙත ගොස් තිබේ.

ඇඳිරිනීතිය ක්‍රියාත්මක මොහොතක දරුවා නිවසින්  බැහැරට ගොස් ඇති බැවින් දරුවා  දින 14 ක් සිරගත කරන බව පවසා පොලීසිය තමන් බියවැද්දවු බව ඒ.එච්.එම් වසීර් නියෝජ්‍ය පොලිස්පතිවරයාට දන්වා තිබේ.

ඒ.එච්.එම් වසීර් පියා වැඩි දුරටත් අවධාරණය කරන්නේ සාමදාන වීමට කැමැති බවට  අත්සන කර  දරුවා   රැගෙන යන ලෙස  පොලිස් නිලධාරියා බල කළ බවයි.

එදිනම රාත්‍රියේ තමන් අළුත්ගම පොලිස් ස්ථානාධිපති හමුවී සිද්ධිය සම්බන්ධයෙන් දැනුවත් කළ බව ඒ.එච්.එම් වසීර් පියා සදහන් කරයි.

“මගේ පුතාව වෛද්‍ය ප්‍රතිකාර සදහා 27 දින කළුතර නාගොඩ මහ රෝහලට ඇතුලත් කළෙමි. ඉහත අමානුෂික පහරදීමෙන් කම්පනයට පත්වී ඇති මගේ පුතා රෝහලේදී ප්‍රතිකාර කිරීමට තරම් මානසිකත්වයක් නොමැත,” යනුවෙන් ඒ.එච්.එම් වසීර් නියෝජ්‍ය පොලිස්පතිවරයාට යොමු කළ ලිපියේ වැඩි දුරටත් සදහන්ය.

ඒ.එච්.එම් වසීර් ගේ අසල්වාසියකු මාධ්‍ය වෙත සදහන් කර ඇති පරිදී මේ වන විට කළුතර උතුර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝග මත පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාසගේ උපදෙස් අනුව සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය මගින්ද  පරීක්ෂණයක් පැවැත්වේ.

දරුවාට  සිදුවු අමානුෂික වධ හිංසනය පිළිබදව දරුවාගේ පියා විසින්  ජාතික ළමා ආරක්ෂණ අධිකාරිය වෙතත්  පැමිණිලි කර තිබෙන බව මාධ්‍යවේදීන් හමුවේ පවසා ඇති ඒ.එච්.එම් වසීර් ගේ අසල්වාසියකු වැඩි දුරටත් සදහන් කර ඇත්තේ පොලිස්  පහරදීමෙන් පසු  දරුවා වෛද්‍ය වාර්තාවක් සදහා යොමු කළ මොහොතේ නාගොඩ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියකු දරුවාගේ සහ පියාගේ ජාතිය හෙලා දකිමින් අශෝබන ලෙස බැණ වැදී ඇති බවයි.

එම වෛද්‍ය නිලධාරියා අසත්‍ය තොරතුරු සහිත වෛද්‍ය වාර්තා නිකුත් කිරීම හේතුවෙන් මීට ඉහතදී වසර කීහිපයක් වැඩ තහනමට ලක්ව සිටි අයකු බවට තොරතුරු දැන ගැනීමට ඇති බව ඔහු මාධ්‍යවේදීන් හමුවේ වැඩි දුරටත් සඳහන් කර තිබේ.

ඒ.එච්.එම් වසීර් පොලිස් ප්‍රධානීන්ගෙන් ඉල්ලා සිටින්නේ සිය දරුවාට සිදුවු අමානුෂික වද හිංසා පිළිබදව විධිමත් පරීක්ෂණයක් සිදු කර තමන්ට සාධාරණයක් ඉටු කිරීමට පියවර  ගන්නා ලෙසයි.

මානසික ආබාධිත තම  දරුවාට පොලිසිය විසින් සිදුකළ  පහරදීම සම්බන්ධයෙන් පියා විසින් ජාතික පොලිස් කොමිසන් සභාව,  වැඩ බලන පොලිස්පති, සහ ප්‍රදේශය භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට සිදු කළ පැමිණිලි වලින් පසු  ජාතික පොලිස් කොමිෂන් සභාව විසින්  ප්‍රදේශයේ පොලිස් අධිකාරීවරයාගෙන්  සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය විසින් සිදු කරන විමර්ශන වාර්තාවේ පිටපතක්ද ඉල්ලා තිබේ.

Social Sharing
නවතම