ලංකාවේ විදේශ ණය සංයුතිය

ලංකාව ඩොලර් බිලියන 51ක් ණයයි කියන එක ගොඩක් තැන් වලින් ඇහෙන කතාවක්නේ. මේ ගණනේත් ප්‍රශ්න තිබෙනවා. එසේ වුවත්, මේක තමයි නිල සංඛ්‍යාලේඛණය. එතකොට මේ ණය ආපසු ගෙවන එක මේ මොහොතේ ලංකාවේ ප්‍රධානම ප්‍රශ්න වලින් එකක්. අනෙක් ප්‍රධානම ප්‍රශ්නය ණය නොගෙවා හෝ ඉදිරි මාස හත අට ජීවත් වෙන එක කියා කියන්නත් පුළුවන්.

සමහර අය අහන දෙයක් තමයි දැන් ලංකාව ණය පැහැර හැරලා නිසා, අඩු වශයෙන් කෙටිකාලීනව, ණය ගෙවීමේ ප්‍රශ්නයක් නෑ නේද කියන එක. ණය ගෙවීම අත් හිටෙවුවේ වෙන කරන්නම දෙයක් නැති තැනනේ. හැබැයි මේ විදිහට ගෙවන එක අත් හිටෙවුවේ ණය වලින් කොටසක් පමණයි. ඉතිරි කොටස ගෙවීමේ ප්‍රශ්නය තවමත් තිබෙනවා. තෙල් ගේන්න සල්ලි නැති වෙන්න ඒකත් හේතුවක්.

ඔය ඩොලර් බිලියන 51ක් කියන්නේ රටේ ණය මිසක් රජයේ ණය නෙමෙයි. ණය ගෙවීම අත් හිටෙවුවේ රජයයි. ඉතිරි කොටස ගෙවීමේ ප්‍රශ්නය දැනටත් තිබෙන ප්‍රශ්නයක්.

අපි හරියටම ගණන් හිලවු බලමු. මේ 2022 මාර්තු අවසානයේදී පැවති තත්ත්වය.

රජයේ ණය – ඩොලර් මිලියන 26,404

මහ බැංකුවේ ණය – ඩොලර් මිලියන 5,923

වාණිජ බැංකු වල ණය – ඩොලර් මිලියන 6,815

අනෙකුත් අංශ වල ණය – ඩොලර් මිලියන 11,452

එකතුව – ඩොලර් මිලියන 50,593

පේනවනේ වැඩේ. රජයේ ණය නොගෙවා හිටියා කියලා ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ. මහ බැංකුවේ, අනෙකුත් බැංකු වල, වාණිජ බැංකු වල, රාජ්‍ය සංස්ථා වල, අනෙකුත් පෞද්ගලික ආයතන වල, විදේශ ණය හා පොලිය තවමත් මාස්පතා ගෙවන්න වෙනවා. ඒ නිසා, අපනයන වලින් හා ශ්‍රමික ප්‍රේෂණ වලින් ලැබෙන ඩොලර් ප්‍රමාණයට ආනයන සීමා කරගත්තා කියලත් ප්‍රශ්නය විසඳෙන්නේ නැහැ.

ඒ වගේම, රජය විදේශ ණය ගෙවීම අත් හිටුවා තිබුණත් එසේ අත් හිටුවා තිබෙන්නේ වාණිජ ණය හා ද්විපාර්ශ්වික ණය පමණයි. ජාත්‍යන්තර සංවිධාන වලින් ලබාගත් ණය ආපසු ගෙවන එක අත් හිටවලා නැහැ. ඒ ප්‍රමාණයත් සැලකිය යුතු කොටසක්.

දැන් ඔය අනෙකුත් අංශ වල ණය යටතේ පෞද්ගලික සමාගම් විසින් පසුව මුදල් ගෙවීමට භාණ්ඩ ආනයනය කර කර ඒ වෙනුවෙන් ගෙවිය යුතු මුදල් (trade credits) තිබෙනවා. එතකොට ජාත්‍යන්තර සමාගම් වල ශාඛා තමන්ගේ මවු සමාගම් වලින් ගත් ණය තිබෙනවා. මේ වගේ සමාගමක් විසින් උපයන ඩොලර් ප්‍රමාණය හෝ එයින් කොටසක් එම ණය ගෙවන්න යොදවනවා මිසක් ආනයනකරුවන්ට විකුණන්නේ නැහැ. ඒ වගේම, වාණිජ බැංකු වලට ඩොලර් ආවිට ඔවුන් විසින්ද එම ඩොලර් වලින් කොටසක් තමන්ගේ ණය ගෙවන්න යොදවනවා.

මේ වෙද්දී රටට එන ඩොලර් ප්‍රමාණය හා ආනයන වෙනුවෙන් වැය කරන ඩොලර් ප්‍රමාණය අතර පරතරය ගොඩක් අඩු වෙලයි තියෙන්නේ. එසේ වුවත්, ඉන්ධන ආනයනය කිරීම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ ඔය හේතුව නිසා. ප්‍රශ්නයට එකම ස්ථිරසාර විසඳුම IMF යන එක වුවත්, එතෙක් මාස ගණනක් ඇද ගැනීමේ ප්‍රශ්නයත් බරපතල ප්‍රශ්නයක්. කොහෙන් හෝ තාවකාලික හදිසි ණයක් නොලැබුණොත් තත්ත්වය ගොඩින් බේරාගන්න අමාරු ඒ නිසා.

– ඉකොනොමැට්ටා –

Social Sharing
නවතම විශේෂාංග