අනේ මාව අත්අඩංගුවට ගන්ඩ!

-උදන් ප්‍රනාන්දු-

මේ කොලම මා ලීවේ ජූලි තුන දින අනිද්දා කලාපයට ය. එහෙත් ජූලි තුන හා ඉන් පසු සති දෙකක කලාපයන් මුද්‍රණය නොවුණේ රටේ පැවැති ඉන්ධන ගැටළුව නිසාවෙනි. සති තුනක යනු දින විසි එකක් වැනි කෙටි කලක වුව ද එළඹුණ සති තුන ලාංකීය දේශපාලනයේ කෙතරම් උච්චාවචනයන්ට භාජනය වුවා ද යන්න රහසක් නොවේ. දේශපාලන ප්‍රවෘත්තියක් දිනකින් හෝ ඊට කෙටි කාලයකින් පිළුණු වූයේ ඊට අදාළ ව තවත අලුත් ප්‍රවෘත්තියක් නිර්මාණය වීම නිසා ය. ඒ තරම් ගතික හා ‘හැපනින් ම ය’ දේශපාලනික  කාලයක සති තුනෙක යනු කල්ප ගණනකි. එහෙත් ඉතිහාසයේ එක් එක් අදියර වාර්තා කිරීම ද වැදගත් ය. ඒ නිසා ය මේ කොලම. පරණ වගේ දැනේ නම් තරමක් රත් කර කියවන්න.

‘බුර්ෂුවා’ යන ප්‍රංශ වචනය ලංකාවට තවදුරටත් ආගන්තුක එකක නොවේ. විශේෂයෙන් වාමාංශික ඌරුවට ජීවිතය සරි කර ගන්නා අය එය නිතර දෙවේලේ දෙසා බාන වදනකි. මේ ආන්තික පරිවාර කණ්ඩායම බුර්ෂුවා යන්න වහරන්නේ නරක දෙයක ලෙස ය. ඉන් වර නගන්නේ ජරපත් ධනවත් වරප්‍රසාදිත පංති කොටසක  ලෙසිණ. බුර්ෂුවා යන්නෙහි වාච්‍ය අර්ථය වටහා ගැනුමට එය සැදුම්ලත් ප්‍රධාන වදන වන ‘බර්ග්’ යන්න වැදගත් ය. බර්ග් යනු පුර, නුවර හෝ නගරය ය. යුරෝපයේ බොහෝ නගරවල නම් අවසන් වන්නේ බර්ග් යන්නෙනි. පීටර්ස්බර්ග්, ස්ට්‍රාස්බර්ග්, නියුරන්බර්ග්, හයිඩල්බර්ග් යනු නිදසුන් කිහිපයකි. ඒ අනුව බුර්ෂුවාහි වාච්‍ය අර්ථය වන්නේ නගරයට අයත් හෝ නාගරීක යන්න ය. එහෙත් එහි සමාජ හා දේශපාලන අර්ථය වන්නේ එක්තරා මතවාදයකින් හා ජීවිත පැවැත්මක් ඇති ආර්ථික පංතිය ය. අපගේ වාමාංශික සහෝදරවරුනට තමන්ගේ තර්කයක් හරි හැටි ගොඩනගා ගන්නට නොහැකි වූ විට පහසුවෙන් තම ප්‍රතිවාදියාට පහර දෙන්නේ බුරුසුවා යන අවලාදාත්මක වදනෙනි.

නගරය යන්න,  යට කී විස්තරය අනුව, පසුගිය සියවස් හතර පහ වැනි කාලයේ යුරෝපීය අත්දැකීමෙහි ලා පරිනාමය වුණේ වෙනස් එක්තරා ආකාරයකට බව පෙනේ. කෙතරම් සීඝ්‍රයෙන් නාගරීකරණය  වුව ද ලංකාව තාම ගමක බව මට හැඟෙන අවස්ථා එමට ය. නගරය වුව ද ලංකාවේ වර නැගෙන්නේ ගමක ලෙස ය. අගනුවර කේන්ද්‍රයේ ම පිහිටි ගෝල් පීසියේ මෑත කාලයේ ගොඩනැගුණු නව ශිෂ්ඨාචාරය ද වර නැගුණේ ගමක ලෙසිණ. බුර්ෂුවා යන්නෙහි පුරවැසියෙකු බිහිවන්නේත් ලංකාවේ පුරවැසියන් (දේශපාලන අර්ථයෙන්) සොයා ගැනුම උගහට වන්නේත් සමහර විට අපගේ මේ ගම්මාලය නිසා විය හැක.

පුරවැසිකම නැති වුව ද ගම්වැසිකම නැතොත් ලංකාවේ පැවැත්ම අපහසු බව මට දැනුණු අවස්ථා බොහෝ ය. කොයි ගම් පළාතේ ද හෝ ගම කොහේ ද යන ප්‍රශ්නය ලාංකීය අනන්‍යතාවය හඳුනා ගැනුමේ කඩඉම් පැනය ය. ඊට දෙන පිළිතුර අනුව  සියල්ල තීරණය වේ. අවාසනාවකට මට මේ ප්‍රශ්නය එල්ල වූ විට මා දරුණු අර්බුදයකට හා අපහසුතාවයකට තල්ලු කෙරේ. ඊට හේතුව වන්නේ මට හරි හමන් ගමක් නැති වීම ය. මා උපන්නේ මගේ දෙමාපියන් උපන් ගමේ නොවේ. ඉන් පසු ව මා බොහෝ කාලයක් හැදුණේ වැඩුණේ ද සපුරා වෙනස් පළාත් කිහිපයක ය. අවුරුදු පහෙන් පහට තැනකින් තැනකට පොඩි කාලේ සිට සංක්‍රමණය වී තිබේ. ඒ නිසා කුමන පෙදෙසක හෝ මගේ ම ගමක ලෙස මට ලං කර ගැනුමට නොහැකි විය.

මා වැඩිම කලක් ජීවිතය කේන්ද්‍රගත වී තිබුණේත් වාසය කළේත් ඕලන්දයේ ඇම්ස්ටර්ඩෑම් නුවර ය. මා ආචාර්ය උපාධි අධ්‍යනයට යෑමට පෙර වසර දහයක් පමණ එහි කෙටි කාල සඳහා ආ ගිය අතර, අධ්‍යන කටයුතු පටන්ගෙන ඉන් පසු රැකියා කටයුතු ද ඇතුළු ව තවත් දශකයක පමණ කාලයක් එහි ජීවත් විය. ගමක ලෙස මට යම් පමණකට හෝ අනන්‍ය වීමට  මට පිහිටට එන්නේ ඇම්ස්ටර්ඩෑමය ය. මා නැවත ලංකාවට පැමිණි පසුව ද වසරකට වරක් මාසයක් දෙකක් ඇම්ස්ටර්ඩෑමයේ ගත කෙරුමට කුමන හෝ හේතුවක් අටවා ගතිමි. මේ අභිචාරය මට මග හැරුණේ කෝවිද කාලය නිසා ය. දෙදහස් විස්ස හා විසි එක දෙවසර ම මට ‘ගමේ යාමට’ නොහැකි විය. එය මා හට ඉතා අපහසු හැඟීමක දැණ වී ය. කෙසේ හෝ මීට සති දෙකකට තුනකට පමණ පෙර මා නැවත බිරිඳ ද කැටුව ඇම්ස්ටර්ඩෑමයට පැමිණ විට  මගේ මිතුරියක කීවේ ‘උදන්-ගෝ-ගම’ ඇම්ස්ටර්ඩෑම ය බව ය. එය සහතික ඇත්ත ය.

ඇම්ස්ටර්ඩෑමයේ මාගේ අධ්‍යන කටයුතු කර ගැනුම සඳහා මට විධිමත් ශිෂ්‍යත්වයක් තිබුණේ නැත (මෙය මා කියන්නේ විධිමත් හා නොමසුරු ශිෂ්‍යත්ව ලබන හා ඒ කාලය තුල අගනා වටිනා ලියවිලි ලියන හා සමාජ මැදිහත්වීම් කරන විද්වතුන් සමග ඇති ඇරියස මනසින් නොවේ). එහෙත් ඒ වන විට මා රැකියා කිහිපයක කර යම් අත්දැකීමක තිබුණ නිසාවෙන් ජීවිතය සරි කර ගැනුමට කුමක හෝ කරනට අවැසි මනස ද ඊට සරිලන කුසලතාවයක් දෙකක් ද මා හට තිබිණ. ඒ නිසා ය මට විධිමත් ශිෂ්‍යත්වයක නොමැතිව වුව ද වැඩ කටයුතු කොහොම කොහොම හෝ කර ගැනුමට හැකි වුණේ.  එහෙත් මා ‘පැවැත්ම’ ගැන මා නියත විවරණ ලද්දේ ඇම්ස්ටර්ඩෑමයේ වෙසෙන මා කිට්ටුවෙන් ඇසුරු කළ කුඩා ආන්තික ජන කොටසකිනි. ඔවුන් ව ඇම්ස්ටර්ඩෑමයේ හෝ සමස්ත ඕලන්දයේ හඳුන්වන්නේ ඩක්ලෝස් හෙවත් දක්ලෝසයන් කියා ය. ඕලන්ද බසින් ඩක්ලෝස් යනු වහලක් නැති හෙවත් ඉන්න හිඳින්නට නැති ජන කොටස ය.

දක්ලෝසයෝ මුලින් මගේ ගුරුවරු ලෙසත් පසු ව සමීප මිතුරෝ බවටත් පත් වූ හ. ඔවුන්ගෙන් මා උගත්තේ ධනවත් පළමු ලෝකයේ රටක පරිවාරයේ පැවැත්ම පවත්වා ගන්නේ කෙසේ ද යන්න ය. ඒ ගැන මට වෙන ම කොලම් මාලාවක ලිවිය හැක. එහෙත් මා මෙහිලා සටහන් කරන්නේ දක්ලෝසයන්ගේ එක ස(ර්)වායිවල් ස්ට්‍රැජියක ගැන ය. වසරේ මාස 8ක් පමණ කාලය  රැය පහන් කරනට ඔවුනට තැනක් නොතැනක් නැත. උද්‍යාන බංකු, පාලම් යට, පාලුවට ගිය කැඩී බිඳී ගිය ගොඩනැගිලි කෑලි, පදික වේදිකා ඒ අතර වේ. පොලීසියෙන් හා නගර සභාවෙන් ඔවුන් ව වරින් වර පළවා හරින අතර එවිට දක්ලෝසයෝ කරන්නෝ තවත් තැනකට ගොස් වාඩි ලා ගැනුම ය. අප්‍රේල් සිට නොවැම්බර් දක්වා මෙලෙස තැන තැන රැය පහන් කරන ඔවුනගේ මේ පැවැත්ම අර්බුදයට ලක්වන්නේ ශීත සෘතුවේ උදාවත් සමග ය. ඒ කාලයේ එලිමහනේ හිඳුම කළ නොහැක. නිවසක සිටිය ද උණුසුම් කරන යන්ත්‍ර අවැසි ය. මේ නිසා අප දක්ලෝස මිතුරෝ කරන්නෝ පොලීසියේ උදවිය යන එන විට ඔවුනට පෙනෙන ලෙස ම අත්අඩංගුවට ගත හැකි තරමේ කිරිමෙල් වරදක කර බලෙන් ම වාගේ අත්අඩංගුවට පත්වීම යි. එවිට ඔවුන් පොලීසියේ අය සමග ‘බොරු පාට්’ කිහිපයක් දැමුවත් තමන් කුදලා ගෙන ගොස් රිමාන්ඩ් බන්ධනාගාරයේ දමනු දැකීම ඔවුන්ගේ ඒකායන අරමුණයි. නිදහස නැතත් සිර ගෙදර සීත වනසන උණුසුම ඇත. තුන් වේල කලට වෙලාවට ලැබේ. තේකක් කෝපියක් ද අතරතුරේ අවැසි නම් පානය කළ හැක. මානුෂීය පදනම මත දුම් වැටියක් ද ලබා ගත හැක්කේ එය මේ පිරිසේ අත්‍යවශ්‍ය දෙයක ලෙස බන්ධනාගාර ප්‍රතිපත්තිය සලකන බැවිනි. නිදසහස් වෙන්න ඔන්න මෙන්න තිබිය දී දක්ලොසයෝ තවත් මොන මොනවා හෝ ජෝගියක් පොලීසියේ නටා නැවත කාලයක් බන්ධනාගාර වෙති. මෙලෙස මාස හතර ගත කරන දක්ලෝසයෝ  මාර්තු අග පමණ නිදහස් වෙති.  මේ පැවැත්මේ ව්‍යායාමය සඳහා දක්ලෝසයන් යම් වෙහෙසක් දරණ නමුදු ඒ ගැන තමන් විසින් හෝ අනුන් ලවා දැවැන්ත ප්‍රචාරණයක් සමාජ මාධ්‍ය ඔස්සේ කරනු මා දැක නොමැත.

Social Sharing
නවතම විශේෂාංග