හෙළ පසු වූ විට හැරමිටියට වූ දෙය අද රට,ජාතිය,ආගමට වෙලා!

හෙළ පසු වූ විට හැරමිටිය අතහැර දමන්නාක් මෙන් බලයට පත්වූ විට රට, ජාතිය, ආගම සහ ඡන්ද දායකයන් අමතක කර දමන දේශපාලනඥයන්ගෙන් රටට සෙතක් නොවන බව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් පවසති.

එබැවින් මෙවර මහ මැතිවරණයේ දී ඡන්ද දායකයන් ඉතාමත්ම බුද්ධිමත් විය යුතුව ඇතැයි අද (28) ප්‍රකාශයක් සිදු කරමින් උන්වහන්සේ සඳහන් කළහ.

මහා සංඝරත්නය එම යුග පෙළහර බණින් හෝ අණින් සිදුකරනවා.. දේශපාලනඥයන්ට අණ කළ යුත්තේ වරදක් ඇත්නම් එය නිවරදි කර ගැනීමටයි. එය භික්ෂුවගේ සමාජ සත්කාරයක් යැයි කී අනුනායක හිමියන් තවදුරටත් මෙසේ සඳහන් කළහ.

දේශපාලන වේදිකාවේ මේ දිනවල ඇසෙන අර්ථයක් නැති කතා ද ශ්‍රවණය කරන විට රටේ පවතින දේශපාලනය මෙය දැයි සිතා කණගාටුවෙනවා.  රටේ ජනතාව නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට යවන පිරිස උගත් බුද්ධිමත් පිරිසක් නොවුණහොත් අඳුරු වන්නේ රටෙත් ජාතියෙත් අනාගතය බව කවුරුත් කල්පනා කරනවා නම් වඩා සුදුසුයි.

රටට නීති හදන පාර්ලිමේන්තුව කරා අයෙකු පත් කර යවන්නේ නම් ඔහු අඩුම තරමින් පොතක් පතක් හෝ කියවන අයෙකු විය යුතුයි. එමෙන්ම ජනතා ප්‍රශ්න කතා කරන අය පාර්ලිමේන්තුව කරා යැවිය යුතුයි.

එසේ නොමැතිව පරිසරය විනාශ කරන, විවිධ ජාවාරම් කරන, තරුණ පරපුර විනාශ කරන, දූෂණ චෝදනා සහිත පිරිස් ඒ සඳහා පත් නොකළ යුතුයි.  නිදහස ලබා වසර 72ක කාලය තුළ මේ රට ගමන් කර තිබෙන්නේ ඉදිරියට නොව පිටුපසටයි.

රට ගැන නොසිතා  ධනය සහ බලය ගැන පමණක් සිතා කටයුතු කරන දේශපාලඥයන් තෝරා පත්කර ගැනීමෙන් රටට, ජාතියට සහ ආගමට සිදු වන සෙතක් නොමැති බව අමුතුවෙන් කිවයුතු වන්නේ නැහැ.

මහා සංඝරත්නයේ අදහස් අවවාද අනුශාසනා නොසලකා කටයුතු කරපු දේශපාලනඥයන්ද මෙරට හිටියා. බොහෝ දේශපාලනඥයන් අද සිදු කරන්නේ හෙළ පසුවූ විට හැරමිටිය විසි කරනවා මෙන් බලයට පැමිණි පසු ඡන්ද දායකයන් අතහැර දැමීමයි.

ශ්‍රී ලංකාවේ පවතින උදාර සංස්කෘතිය තවත් වසර 2500 ක කාලයක් කරා රැක ගැනීම අප සතු වගකීමක්. මෙම මහපොළොව දැයේ දූ දරුවන් වෙනුවෙන් ඉතිරි කර දිය යුතුයි. එම වගකීම වෙනුවෙන් භික්ෂූන් වහන්සේ අණින් සහ බනින් ද, ලේඛකයා ලේඛනයෙන් ද, කලාකරුවා කලාවෙන් ද නොපිරිහෙලා ඉටු කළ යුතු බව අස්ගිරි පාර්ශවයේ අනුනායක පූජ්‍ය වෙඬරුවේ උපාලි හිමියන් වැඩිදුරටත් සඳහන් කළහ.

නදීක දයා බණ්ඩාර – මහනුවර

 

 

Social Sharing
නවතම