විප්ලවයේ කෙළවර කුමක්ද?

මාගේ මතය වී තිබුනේ එක විශාල නැගිටීමට පසු ලඟ ලඟ වඩා විශාල නැගිටීමක් ඇති විය නොහැකි බවය. එහෙත් මාගේ ඒ මතය බොරු කරමින් පසුගිය ජූලි 9 වනදා වඩා විශාල (පරණ නැගිටීම මෙන් කිහිප ගුණයක් විශාල) නැගිටීමක් සිදු විය. ඊට අදාළව මා පළකල තිබුන තවත් නිරීක්ෂණයක් ද තිබුනි. එනම් ජනාධිපති ව්‍යවස්ථාපිත රාමුවෙන් පිටස්තර අකාරයකට පලවා හැරීමට දරන බලවත් උත්සහායක් රටේ තිබෙන සංකීර්ණ අර්බුදය උග්‍ර කිරීමට හේතුවී දැන් සිටින අගාධයෙන් ගොඩ එනවා වෙනුවට ගොඩ ඒම ඉතා දුෂ්කර දෙවැනි අගාධයකට ද රට තල්ලු කිරීමට හේතුවනු ඇති බවය. ඇතිවූ මහජන නැගිටීම මගේ දෙවැනි නිරීක්ෂණය බොරු කරන්නේ නැත.

ජූලි 9 වනදා නිරායුධ ස්වරූපයකින් සිදුවූ තරුණ නැගිටීම ලංකාවේ ජේවීපී ආරයකට සිදුවූ තුන්වැනි නැගිටීම ලෙස සැළකිය හැකිය. එහි පළමු සංස්කරණය සිදුවූයේ 1971 දී ය. එය බොහෝ දුරට තමන් විසින්ම තනා ගත් ආයුධ ඇතිව සිදු කල හා ආරක්ෂක හමුදා විසින් ඉක්මණින් පරාජය කල නැගිටීමක් ලෙස සැළකිය හැකිය. ඉන්පසු එහි දෙවැනි සංස්කරණය ක්‍රියාත්මක වුයේ 1986/89 කාලයේදී ය. එය 71 පළමු කැරැල්ලට වඩා විශාල, අවුරුදු දෙකකට වැඩි කාලයක් අල්ලාගෙන සිටීමට සමත්වූ, විශාල ජීවිත හා දේපළ විනාශයක් ඇති කිරීමට හේතුවූ හා බලය අල්ලා ගැනීමට ආසන්න තත්වයකට පැමිණි පසු ආරක්ෂක හමුදාවන් විසින් අනුකම්පා විරහිතව පොඩි පට්ටම් කරනු ලැබූ ප්‍රබල කැරැල්ලක් ලෙස සැළකිය හැකිය. 2022 ජූලි 09 වනදා සාමකාමි නැගිටීමක ස්වරූපයෙන් සිදුවූ තුන් වැනි කැරැල්ල ජේවීපී දෙවැනි කැරැල්ල මෙන් කිහිප ගුණයක් විශාල මෙතෙක් රටේ සිදුවී තිබෙන විශාලතම මහජන නැගිටීම ලෙස සැළකිය හැකිය. එම නැගිටීම රාජ්‍යයේ හමුදා බලය අභිබවා හිමිකරගත් ජයග්‍රහණය සැබෑ ලෙස පෙන්නුම් කරන්නේ මහජන බලයේ ප්‍රබලත්වයට වඩා දීර්ඝ කාලයක් තුළ ප්‍රතිසංස්කරණ නැතිව ජරාජීර්ණභාවයට පත්වෙමින් තිබූ රාජ්‍යයේ බෙලහීනත්වයේ තරමය. ඇතිවූ එම අර්බුදයේ දී මධ්‍යස්ත තත්වයකින් ක්‍රියා කල යුතු ආයතන පක්ෂපාතව ක්‍රියාකරන තත්වයකට පත්වීමෙන් ද රාජ්‍යය හා එහි ආයතන ක්‍රමය ජරාජීර්ණ වී තිබෙන තරම පෙන්නුම් කරයි. ගෝඨාභය රාජපක්ෂ වැනි අධිචෝදනා තිබුන පුද්ගලයෙකුට ජනාධිපතිවරණයට තරඟ කිරීමට ඉඩ ලැබීමෙන් පෙන්නුම් කෙරෙන්නේ ද රාජ්‍යයේ ඇතිවී තිබුන පරිහානියේ තරමය. නැවත ඒ පුද්ගලයා බලයෙන් පහ කෙරුන ආකාරයෙන් ද දේශපාලන ක්‍රමයේ ඇතිවී තිබෙන කුණු වීමේ තරම පෙන්නුම් කරයි.

විප්ලවයේ ඇතැම් ලක්ෂණ

පළමු හා දෙවැනි කැරැල්ල පිරිසිදු ජවිපෙ කැරලි දෙකක් ලෙස සැළකිය හැකිය. සාමකාමි හා ඉතා බලවත් මහජන නැගිටීමක් ලෙස සැළකිය හැකි තුන් වැන්න පිරිසිදු ජවිපෙ දෙයක් ලෙස සැළකිය නොහැකිය. එය විශාල ප්‍රමාණයකට පක්ෂ දේශපාලනයෙන් පිටස්තර ස්වාධීන තරුණ කණ්ඩායම් විශාල ගණනකගේ දෙයක් වී තිබුන ද අවසාන මොහොතේ එහි ආධිපත්‍යය සියතට ගනිමින් එම නැගිටීම විශාල ප්‍රමාණයකට තමන්ගේ දෙයක් බවට පත් කර ගැනීමට පෙරටුගාමි පක්ෂය සමත් විය. එම පක්ෂය ජවිපෙ දේශපාලන ගර්භාෂයේම ඉපදුන, එම පක්ෂය සමග තරඟ කරන පක්ෂයක් ලෙස සැළකිය හැකිය. ජවිපෙන් කැඩී වෙන්වී තමන්ගේ පක්ෂයක් හදා ගත්දා සිටම මේ පක්ෂ දෙක අතර තරඟයක් තිබුණද ජූලි නැගිටීම දක්වාම එම තරඟයෙන් ඉදිරියෙන් සිටියේ ජවිපෙය. එහෙත් ජූලි නැගිටීම තුලින් පෙරටුගාමි පක්ෂය ජවිපෙ අභිබවා ගිය දේශපාලන ශක්තියක් හා ආධිපත්‍යයක් පෙන්නුම් කිරීමට සමත් විය. එම තත්වය එම පක්ෂ දෙක අතර ගැටුම් ඇති කිරීමට හේතු විය හැකිය. පෙරටුගාමි පක්ෂය පෙන්නුම් කළ ශක්තිය කෙරෙහි එම පක්ෂයේ විශ්ව විද්‍යාලීය ශිෂ්‍ය සංගමය ලෙස සැළකිය හැකි අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය එම නැගිටීම සදහා සටන්කාමි කණ්ඩායම් සුදානම් කිරීම වෙනුවෙන් ඉටු කරන ලද පුරෝගාමි කාර්‍යභාරය ද බලපෑ බව පෙනේ. මේ පක්ෂ දෙක අතරින් ජවිපෙ දැඩි මාක්ස්වාදි රාමුවෙන් ඉවත්වී කිසියම් විශාල ප්‍රමාණයකට සමාජ ප්‍රජාතන්ත්‍රවාදි ප්‍රවේශයකට යොමුවූ පක්ෂයක් ලෙස සැළකිය හැකිය. පෙරටුගාමි පක්ෂය ඊට වඩා දැඩි මාක්ස්වාදි රාමුවක පිහිටා ක්‍රියා කල ද වර්ග, කුල, ආගම් ප්‍රශ්නයේදී එම පක්ෂය දරන අදහස්, නවීන හා ඉදිරිගාමි බව ද කිව යුතුය.

ජේවීපී කැරලි දෙකේම අරමුණ වූයේ ආයුධ සන්නද්ධ අරගලයක් මගින් බලය අල්ලා ගැනීමය. එහෙත් ජනාධිපති ගෝඨාභය එළවීම ජුලි නැගිටීමේ ප්‍රධාන අරමුණ බවට පත්ව තිබීම නිසා එම න්‍යාය පත්‍රයට ගැලපෙන ලෙස ක්‍රියා කරන්නට පෙරටුගාමි පක්ෂයට සිදුවූ බව පෙනේ. ඒ නිසා ඔවුන්ට හැකිවුයේ රාජ්‍යය බලය වෙනුවට දේශපාලන බලයට අදාල සංකේතාත්මක වැදගත්කමක් ඇති ගොඩනැගිලි තුනක් (ජනාධිපති මන්දිරය, ජනාධිපති ලේකම් කාර්යාලය හා අරලිය ගහ මන්දිරය) අල්ලා ගන්නා ප්‍රතිපත්තියක පිහිටා ක්‍රියා කරන්නටය. කෙසේ වෙතත් පෙරටුගාමි පක්ෂයේ නායක කුමාර් ගුණරත්නම් උස් හඬකින් කියන්නේ කරන්න යන හැම දෙයක දීම පාර්ලිමේන්තුව තම අදහස් සැළකිල්ලට ගෙන ඊට අනුකූලව ක්‍රියා කල යුතු බවය. 9 වනදා සිදුවූ නැගිටීම පෙරටුගාමි පක්ෂයට තිබෙන මහජන බලයේ තරම පෙන්නුම් කරන දෙයක් ලෙස සැළකිය නොහැකි වුවද එම පක්ෂය වර්තමාන දේශපාලන ක්‍රීඩාවේ දී නොසළකා සිටිය නොහැකි ක්‍රීඩකයෙකු බව සනාථ කළේය. ලංකාව මුහුණ දී තිබෙන අර්බුදයට විසදුමක් සොයා ගැනීම සදහා වැඩ කරන ජාතික මට්ටමේ දේශපාලන කණ්ඩායම සකස් කර ගැනීමේදී ජවිපෙන් එල්ලවන විරෝධයක් තිබිය හැකි වුවද පෙරටුගාමි පක්ෂයට ද නිසි නියෝජනයක් ලබාදීමට ව්‍යවස්ථාපිත ක්‍රමයක් සොයා ගැනීමට සිදුවනු ඇති අතර ඊට අතිරේක වශයෙන් එම පක්ෂයට සම්බන්ධ නැති තරුණ නැගිටීමට සම්බන්ධ වෙනත් කණ්ඩායම් වලට ද සුදුසු කිසියම් නියෝජනයක් ලබා දීමට සිදුවනු ඇත.

අවසානය කුමක්ද?

ඇතිවූ එක් දින මහජන විප්ලවය රටට ලබා දෙන්න යන ප්‍රතිඵල මොනවා විය හැකිද? එය ලංකාවේ දේශපාලන දේහය වෙලා ගෙන තිබූ රාජපක්ෂ පවුල් ආධිපත්‍යය නැමැති බිහිසුණු පිළිකාව කපා ඉවත් කිරීමක් සිදු කළේ යැයි කිව හැකිය. එහෙත් ඒ මගින් පමණක් රටට කිරි ඉතිරෙන්නේ නැත. දේශපාලන තලයේදී අයථා ලෙස ධනය උපයා ගැනීමේ ලක්ෂණය රාජපක්ෂවරුන්ට පමණක් සීමාවූ දෙයක් ලෙස ද සැළකිය නොහැකිය. 78 ආණ්ඩු ක්‍රමය යටතේ බලයට පත්වූ සියළු ජනාධිපතිවරුන් අතින් ද එම බරපතල වරද සිදුවී තිබෙන්නේ යැයි කිව හැකිය. රාජපක්ෂවරුන් ප්‍රමුඛ වන්නේ ඒ අකාරයට උපයා ගත් ධනයේ පරිමාවේ විශාලත්වය අනුව පමණය. උසස් රාජ්‍ය නිලධාරින්ගේ සහාය නැතිව දේශපාලකයින්ට පමණක් තනියෙන් හොරකම් කල නොහැකිය. දේශපාලන තන්ත්‍රය පමණක් නොව නිලධර තන්ත්‍රය ද දූෂිතය. බංකොළොත්භාවය කෙරෙහි බලපා තිබෙන විදේශ ණය ගැතියාවේ තරම ඩොලර් බිලියන 50 කි. නිදහසෙන් පසු රටේ ඇතිවූ කැරලි කෝලාහල හා යුද්ධ ව්‍යාපාර නිසා සිදුවී තිබෙන විනාශයන්ගේ ප්‍රමාණය ගණනය කර තිබෙන්නේ ඩොලර් බිලියන 200 ක් වශයෙනි. රට බංකොළොත් කිරීමට බලපා තිබෙන එකම හේතුව දූෂණය පමණක් නොවන බව ඉන් පෙනේ. අපට වර්ග, කුල, ආගම් ප්‍රශ්නය ප්‍රචණ්ඩ ගැටුම් ඇති නොවන ලෙස කළමණාකරනය කර ගැනීමට හැකිවී නම් රටේ ආර්ථිකයට එකතුවන අතිරේක අගය ඩොලර් බිලියන 200 කි. රාජ්‍යය සේවක සංඛ්‍යාව කොතරම් විශාල ද කිවහොත් හත් ලක්ෂයක් අවශ්‍ය තැනට පහලොස් ලක්ෂයක් සිටින්නේය. රජයේ ගුවන් සේවය, විදුලි බල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව වැනි සමහර පාඩු ලබන රාජ්‍ය ආයතන, ලංකාවේ ඇති වී තිබෙන බංකොළොත්භාවයට ලබා දී තිබෙන දායකත්වයේ ප්‍රමාණය අති විශාලය.

ව්‍යුහමය ප්‍රතිසංස්කරණ රටට අවශ්‍ය ප්‍රධානම දේ ලෙස සැළකිය හැකිය. රාජ්‍යය තිබෙන්නේද, සමාජ-දේශපාලන ක්‍රමය තිබෙන්නේද, අධ්‍යාපන ක්‍රමය හා සමස්ථ ආර්ථිකය තිබෙන්නේද හොඳටම ජරාජීර්ණ වූ තත්වයකය. ප්‍රතිසංස්කරණ අවශ්‍ය වී තිබෙන්නේ ඒ හැම තැනකම තිබෙන ජරාජීර්ණ තත්වය ජයගනිමින් ඒවා අදූෂිත, කාර්‍යක්ෂම හා ඵලදායි තත්වයකට ගැනීම සදහාය. ප්‍රතිසංස්කරණ විෂය ලංකාවේ දේශපාලන හා නිලධර තන්ත්‍රයට නොතේරෙනම හා ඔවුන් අත ගැසීමට කැමතිම නැති විෂය ලෙස සැළකිය හැකිය. අරගලකරුවන්ගෙන්ද එම විෂයට අලුත් ආලෝකයක් ලැබී තිබෙන බවක් පෙනෙන්නේ නැත. මේ මොහොතේ රටේ පැවැත්ම ගැන උනන්දුවක් ඇති හැම කෙනෙකුම තේරුම් ගත යුතු වැදගත්ම දේ වනුයේ ලංකාව දැන් තිබෙන්නේ බිහිසුණු අගාධයක බවත්, ප්‍රඥාවන්ත ලෙස ක්‍රියා කරන්නට අසමත් වෙතොත් දැන් සිටින අගාධයටත් වඩා බිහිසුණු, ගොඩ ඒමට පහසු නැති තවත් අගාධයට ඇද වැටීමේ හැකියාව තිබෙන බවත් ය. එම අගාධයට ඇද වැටුන හොත් අපට දශකයක පමණ කාලයක් දිවි ගෙවන්නට සිදුවනු ඇත්තේ 19 වැනි සිය වසේය. ඒ සමග ලංකාව ප්‍රඥාව අහිමි කරගත් හා පරිනත නායකයින් නැති රටක් බවද අමතක නොකළ යුතුය. අපි 21 වැනි සිවසේ ජීවත් වෙමින් ඉදිරියට යනවාද නැතිනම් සියවස් දෙකක් ආපස්සට යනවාද යන්න තීරණය වනු ඇත්තේ ඉදිරි දින කිහිපයේදී ය. මේ තීරණාත්මක මොහොතේදීවත් රටේ දේශපාලන නායකයින්ට බලලෝභයෙන්, ආත්මාර්ථකාමයෙන් හා කට්ටිවාදයෙන් තොරව සමගි සම්පන්නව හා එක්තරා ප්‍රමාණයකට හෝ බුද්ධිමත්ව ක්‍රියා කරන තත්වයකට ආ හැකි වේද?

-වික්ටර් අයිවන්-

Social Sharing
නවතම විශේෂාංග