මෙවරත් ඇත්තේ “රට මුදා ගැනීමට අවසන් හා එකම අවස්ථාව” යැයි අමුණුගම කියයි!

රට සංවර්ධනය කරා ගෙන යාමට මෙන්ම පවතින තත්ත්වයෙන් රට මුදා ගැනීමට පවතින අවසන් හා එකම අවස්ථාව මෙය බවත් ඒ අවස්ථාවට උදාකර ගත හැකි එකම නායකත්වය වන්නේ ජනපති ගෝඨාභය රාජපක්ෂ මහතා යැයි ආචාර්ය සරත් අමුණුගම මහතා ජන හමුවකට එක්වෙමින් ඊයේ (27) ප්‍රකාශ කළේය.

මෙරට දුම්රියක් ගමන් ආරම්භ කිරීමට ප්‍රථමයෙන් තුන්වරක් විසිල් නාද කරනවා. පළමු විසිලය නාද කළ පසු මගීන් ප්‍රවේශපත්‍ර මිලදී ගන්නවා. දෙවන විසිලය නාද කරන්නේ දුම්රිය ගමන් කිරීමට සූදානම් වීම සහ තුන්වන විසිලය නාද කිරීමෙන් ගමන් ආරම්භ කරනවා.

අපේ රට අද පවතින්නේ තුන්වන අවස්ථාවේයි. රනිල් වික්‍රමසිංහ මහතාට විසිල් ගහන්න තබා දුම්රියකට නගින්නවත් බැහැ. සජිත් ප්‍රේමදාස මහතා විසිල් තුනම නාද කළත් දුම්රියට නොනැඟ වේදිකාවට වී බලාගෙන හිදීවී. ඒ නිසා මේ අවස්ථාව හිමි එකම නායකත්වය වන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා පමණයි.

කොරෝනා වසංගතයට හසුවුණු ලෝකය යථා තත්ත්වයට පත්වීමට තව වසර කිහිපයක් ගත වනු ඇතැයි ලෝක සංවිධාන ප්‍රකාශ කරනවා. විදේශීය සේවා නියුක්තිය, සංචාරක කර්මාන්තය, අඟලුම් නිෂ්පාදන, තේ, රබර්, මැණික් සහ මෙරට සාම්ප්‍රදායික ආදායම් මාර්ග සියල්ල මේ වන විට අවහිර වී තිබෙනවා. ඒ ආදායම් මාර්ග යථා තත්ත්වයට පත් කර ගැනීම සඳහා තවත් වසර කිහිපයක් ගත වනු ඇති.

මේ තත්ත්වයෙන් මුදා ගැනීම සඳහා දැන් අප කළ යුතුය ඇත්තේ සම්පත් ඒකරාශී කර ගනිමින් දියුණුව කරා ගමන් කළ හැකි ස්ථාවර තත්ත්වයක් නිර්මාණය කර ගැනීමට ජනතාව ඒකරාශී කර ගැනීමයි.

ඒ සඳහා අර්බුදවලට මුහුණ දිය හැකි තරුණ නායකත්වයන් අවශ්‍යයි. මෙවර මහ මැතිවරණයේදී ඒ සඳහා යහපත් අවස්ථාවක් ඡන්ද දායකයන්ට උදාවී තිබෙනවා. කුඩු මත්ද්‍රව්‍ය පාලනය කිරීමට හා ඔවුන්ට දඩුවම් දිය යුතු පාර්ශවයන් අද මත්ද්‍රව්‍ය වෙළදාම කරනවා. සිංහල චිත්‍රපටයකවත් මෙැවනි කථා තේමාවන් අප දැකලා නැහැ. මෙවැන්නක් සිදුවෙතැයි අප කිසිසේත්ම විශ්වාස කළේත් නැහැ.

බන්ධනාගාරගත සිරකරුවන් බන්ධනාගාර නිලධාරීන්ට උපදෙස් ලබාදෙන තත්ත්වයක් තිබෙනවා. මෙවැන්නක් වැළැක්වීමට නම් අතීතයේදී මෙරට තිබුණු පරිපාලන ව්‍යූහයක් යළි උදාකර ගත යුතු යැයි හිටපු අමාත්‍ය සරත් අමුණුගම මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

නදීක දයා බණ්ඩාර – මහනුවර

Social Sharing
නවතම