මහීපාල නම් නවෝත්පාදකයා..

ආණ්ඩු වලින් පිටත ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයට මහා පරිමාණයෙන් දායක වූ ශ්‍රී ලාංකිකයන් තිදෙනෙකු වෙයි. ඒ මහා පරිමාණ ජල විදුලිය ලක්ෂපානෙන් ඇරඹූ වීමලසුරේන්ද්‍ර මයා, කුඩා ජල විදුලිය නුවරඑළියෙන් ආරම්භ කළ සුමනසේකර මයා හා පියසි මත සූූර්ය විදුලිය බත්තරමුල්ලෙන් ආරම්භ කළ මහීපාල මයා ලෙසය. මේ තිදෙනාම ඉංජිනේරු පසුබිම්ක් සහිත අයයි.

අද ශ්‍රී ලංකාවේ විදුලිබල පද්ධතියේ ධාරිතාවයෙන් 590 Mw  ලැබෙන්නේ 2010 වසරේදී සිය ප්‍රාග්ධනයෙන් සිය නිවසේදී සූර්ය විදුලි උත්පාදනය ආරම්භ කළ මහීපාල මහතා නිසාය. වීදුලිබල මණ්ඩලයේ ඇතැමුන් මේ නිසා ප්‍රති ධාරාවක් (Reverse Current) ඇති වෙනවාය, එමෙන්ම එමගින් ඉහළ ගෙවීම්ක් කරන පාරිභෝගිකයන් ඉවත්වී ලංවිම මුල්‍යමය වශයෙන් බංකොලොත් වෙනවාය ආදී ප්‍රලාප කියමින් එයට අකුල් හෙලූහ. ප්‍රධාන පද්ධතියට සූර්ය හා සුළං බලය මුල් වරට එකතු කිරීමේදී  2012 දී ද මෙවැනිම ප්‍රලාප ඇසිනි.

කෙසේ වෙතත් ෆොසිල ඉන්ධන මිල දී ගත නොහැකිව විදුලි කප්පාදුව සිදුවෙන විට අද සියල්ලෝම සූර්ය බලය හා සුළං බලය අපතේ යෑම් ගැන කතා පවත්වති.

සම්ප්‍රදායෙන් ඔබ්බට ගොස් ආයෝජන අනතුර භාරගෙන ඒ නිර්මාණශීලී ‘පියසි මත සූර්ය බලය’ ‘Rooftop Solar’  ගෙන ආ සුන්දර මිනිසා සිය දිවියට සමු දී ඇත. ලංකාව අද තිබෙන විදුලි අර්බුදයෙන් දිනක ගොඩ එන්නේද මහීපාල මහතා ආරම්භ කළ මඟ ඔස්සේ මිස අන් මගක් ඔස්සේ නොවේ.

2007-09 කාලයේ මා වනජීවී දෙපාර්තමේන්තුව භාරව සිටින විට පැමිණි මහා නියඟයක් නිසා යාල ආදී  වනජීවී උද්‍යානවල සතුන් මිය යන්නට වූහ. සතුන්ට අවශ්‍ය ජල පොකුණු ඇති කර ඒවා ජලයෙන් පුරවා ඒ අවට හෝටල් හා ව්‍යාපාරිකයන් එක්ක‍රගෙන ඒ දුෂ්කර සමයේ ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර මැද යාල වන දිවිය රැක දුන්නේද මහීපාල මහතාය.

ඔහු ලෝකයේ බොහෝ වනජීවී උද්‍යාන වල සැරිසැරුවේය. ඉතා දුර්ලභ වනජීවී ඡායාරූප එකතුවක් ඔහු සතුව ඇත. ඔහු සමඟ රාජස්ථානයේ ‍ව්‍යාඝ්‍රයන් බැලීමට ගිය ගමනත්, දකුණු අප්‍රිකාවේ කූගර් හි සිංහයන් බැලීමට ගිය ගමනත්, වනජීවී ඡායාරූපකරණයේ තාක්ෂණය හා කලාව පිළිබඳ ලබාදුන් ගුරු ඔවදන් සදා සැමරුම් ලෙස මසිත තැන්පත්ව ඇත.

ඔහු මා මුලින්ම හඳුනා හඳුනා ගත්තේ  1990 ගණන් වල ත්‍රස්ත ප්‍රහාර වලින් කොළඹ මං මාවත් ලෙයින් තෙත් කරමින් තිබූ වකවානුවේය. කොටි සංවිධානය ලංකාවේ හා බ්‍රිතාන්‍යයේ තහනම් කරන්නට දැවැන්ත මහජන රැස්වීම් හා උද්ඝෝෂණ කරන්නට ඔහු සිය ධනය හා ශ්‍රමය කැප කළේය. කොටි සංවිධානය අවසානයේ පරාජය වනු දැකීමට තරම් ඔහුද අපිද වාසනාවන්ත වූයෙමු.

ඔහුගේ ජීවිතයේ වීරයා වූයේ සිය ඥාතියෙකුද වූ අනගාරික ධර්මපාල තුමාය.  සිංහල ජනයා හුදු ගොවියන් පමණක් නොවී කර්මාන්ත හා වෙළඳදාමට එක්වී ලොව ජයගත යුතු බවට වූ ධර්මපාල චින්තනය අනුව යමින් තවත් සමකාලීනයන් පිරිසක් සමඟ ‘සිංහල වීර විදහන’ තැනීය.

එයට ආසන්න හේතුව වූයේ දිඹුලාගල මහ නාහිමි ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කිරීමෙන් පසු මාදුළුවාවේ සෝභිත හිමි සමඟ එක්ව පොළොන්නරුවේ සහ  මරඳගහමුල සහල් මාෆියාවට අභියෝග කරන්නට ඔහු තීරණය කිරීමත් සමගය. ඔහුගේ මඟ පෙන්වීම යටතේ සුළු ‍ව්‍යාපාරිකයන් රැසක්, මහා ව්‍යාපාරිකයන් බවට ඒ සමයේ පත්විය.

සිය පියාට අයත් වතු හා බස්රථ රජය සතු කරලීමෙන් ඔහු කම්පාවට පත්වූයේ නැත. හෝමාගම රෝහල ශල්‍යාගාර සහිත මහ රෝහලක් වූයේ ඔහුගේ ධන පරිත්‍යාගනි. ඔහු කම්පා වූයේ ඒ සඳහා ගෙන්වන ලද ශල්‍ය උපකරණ වලට බදු ගැසීමට ආණ්ඩුව ක්‍රියා කළ විටය.

බමුණුආරච්චිගේ මහීපාල මැතිතුමා මිය ගියද, ඔහු විසින් නිර්මාණය කල බොහෝ දේ රට අද පත්ව ඇති මේ අඳුරු අගාධයෙන් ගොඩ එන්නට හොඳම මඟක් බව සිහිකළ යුතුය. මේ අවස්ථාවේ ශෝකබරිතව සිටින එතුමන්ගේ ආදරණීය බිරිඳ, දූ දරු මුණුබුරන් හා ඥාතීන් ද, සිය ගණනක් සේවක කාර්ය මණ්ඩලය ද වෙත අපගේ ශෝකය මෙයින් පුදකර සිටිමු.

පාඨලී චම්පික රණවක

2022-06-26.

Social Sharing
නවතම විශේෂාංග