ආර්ථික ඝාතකයන්ට නඩු

ට්‍රාන්ස්පේරන්සි ඉන්ටනැෂනල් ශ්‍රී ලංකා ආයතනය සහ තවත් තිදෙනෙකු එක්ව, ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික අර්බුදයට වගකිව යුතු පුද්ගලයන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කර ඇත.

පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස නීතිපති (ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ නියෝජනය කරමින්), හිටපු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ, හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ, හිටපු මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල්, හිටපු භාණ්ඩාගාර ලේකම් එස්. ආර්. ආටිගල සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන අය ඇතුළු දහතුන් දෙනෙකු නම් කර තිබේ.

විනිවිදභාවයකින් සහ වගවීමකින් තොරව ඉහළ පෙළේ තීරණ ගැනීමේ ක්‍රියාවලිය හේතුවෙන් ශ්‍රී ලංකාව අද වැටී සිටින තත්වය සැලකිල්ලට ගෙන, පොදු ජනතාවගේ සුබසිද්ධිය උදෙසා මෙම පෙත්සම ගොනු කර ඇත.

වත්මන් ආර්ථික අර්බුදයට තුඩු දුන් සාධක ගණනාවක් පෙත්සමෙහි සඳහන් වේ. ඉන් සමහරක් මෙසේ ය:

1. 2019 දී අත්තනෝමතිකව සහ නීතියට පටහැනිව ලබා දුන් බදු සහන නිසා රජයේ ආදායම අඩු වීම.

2. නීති විරෝධී බදු සහන ආපසු හැරවීමට පියවර නොගැනීම.

3. පහළ ගිය ශ්‍රේණිගත කිරීම් යථා තත්ත්වයට පත් කිරීමට නිසි පියවර නොගැනීම.

4. විශේෂඥ මත නොතකමින්, නිසි කාල වකවානුවලදී, ක්‍රමානුකූලව සහ සුදුසු පරිදි රුපියල අවප්‍රමාණය කිරීමට අසමත් වීම.

5. කිසිදු ප්‍රතිව්‍යූහගතකරණයකින් තොරව ස්වෛරී ණය ගෙවීම් පවත්වා ගැනීමට තීරණය කිරීම.

6. අර්බුදය උග්‍ර වන තුරු ම ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය ලබා ගැනීම ප්‍රතික්ෂේප කිරීම.

ව්‍යවස්ථාවෙන් තහවුරු කර ඇති සමානාත්මතාව, ප්‍රකාශනයේ නිදහස සහ තොරතුරු දැනගැනීමේ අයිතිය සඳහා වන පුරවැසියන්ගේ මූලික අයිතිවාසිකම් වගඋත්තරකරුවන්ගේ ක්‍රියාවන් හෝ ක්‍රියාත්මක නොවීම් නිසා උල්ලංඝනය වී ඇති බවට පෙත්සම්කරුවන් තර්ක කරයි.

ශ්‍රී ලංකාවේ විදේශ ණය දරා ගත නොහැකි තත්ත්වයට පත් වීම, විදේශ ණය ගෙවීම පැහැර හැරීම සහ ශ්‍රී ලංකාවේ වත්මන් ආර්ථික තත්ත්වයට මෙහි නම් කර ඇති වගඋත්තරකරුවන් සෘජුව ම වග කියන බව පෙත්සම කියා සිටීයි.

වගඋත්තරකරුවන්ගේ ක්‍රියා සහ ක්‍රියාත්මක නොවීම් නිසා රටෙහි ආහාර, බෙහෙත්, ඉන්ධන සහ ගෑස් හිඟවීම් නිර්මාණය වී, මුළු මහත් ජනතාව ම පෙර නොවූ විරූ පරිදි අර්බුදවල ගොදුරක් වී ඇතැයි තවදුරටත් එය සඳහන් කරයි.

වත්මන් ආර්ථික අර්බුදයට තුඩු දුන්, අදාළ වගඋත්තරකරුවන්ගේ නීති විරෝධී, අත්තනෝමතික, අයුතු ක්‍රියා හෝ අතපසුවීම් වෙනුවෙන් ඔවුන් වග කිව යුත්තන් කළ යුතු බවට පෙත්සම ඉල්ලා සිටීයි.

චන්ද්‍රා ජයරත්න, ජෙහාන් කනගරත්න සහ ජූලියන් බෝලිං මෙහි සෙසු පෙත්සම්කරුවෝ වෙති.

Social Sharing
ආර්ථික පුවත්