ඈවරයි, දෑවරයි, තුන් ඈවරයි, සර්ව සම්පූර්ණයි..!

ඊයේ ලංකාවේ පාර්ලිමේන්තුවේ සංයුතිය සර්ව සම්පූර්ණ වුනා. අපේ පාර්ලිමේන්තුවට අඩුව හිටියේ කැසිනෝ හිමිකරුවෙක් පමණයි. කොළඹ ප්‍රධාන පෙළේ කැසිනෝ සමාජ ශාලා කිහිපයක් හිමි ධම්මික පෙරේරා (කැසිනෝ ධම්මික) ඊයේ මන්ත්‍රීවරයෙකු හැටියට දිවුරුම් දුන්නා. අද හෝ හෙට ඔහු ප්‍රබල ඇමැති ධූරයකත් දිවුරුම් දීමට නියමිතයි. ඒ වගේම තව සති කිහිපයක් යනකොට අළුත්ම tag line එක “Go Home Dhammika ” බවට පත් නොවුනහොත් ඔබ පුදුම විය යුතු නැහැ.

ලංකාවේ පාර්ලිමේන්තුව තරම් වෛවර්ණ සමාජ හරස්කඩක් ලෝකයේ වෙනත් කිසිම පාර්ලිමේන්තුවක දකින්නට නැහැ. මහාචාර්යවරු, සෑබෑ ආචාර්ය වරු, NGO ආචාර්යවරු, ජනාධිපති නීතීඥයෝ, සාමාන්‍ය නීතිඥයෝ, වෛද්‍යවරු, ගණකාධිකාරිවරු, පාසැල් ගුරුවරු, මහාපරිමාන මධ්‍යසාර නිෂ්පාදකයෝ, කසිප්පු මුදලාලිල, වැලි සහ පස් ජාවාරම්කාරයෝ, මහාපරිමාන කුඩු ව්‍යාපාරිකයෝ, උසාවි වලින් අච්චුකල මිනීමරුවන්, කප්පන් කරුවන්, අළුතින්ම එකතු වූ කැසිනෝකාරයෝ. නැත්තේ කවුද කියලයි අහන්න තිබෙන්නේ. ඔය අතර මන්ත්‍රීවරුන් 225න් 123 දෙනෙකු පමණ අපොස සාමාන්‍ය පෙළ අසමත් පුද්ගලයන් බවයි මාධ්‍ය වාර්තා කොට තිබුනේ.

ඡන්ද දායකයන් හැටියට අප විසින් පාර්ලිමේන්තුවට පත්කර යවන නියෝජිතයන්ගෙන් බලාපොරොත්තු වන්නේ ව්‍යවස්ථාදායකයේ කාර්ය භාරය වන නීති අණ පනත් සකස් කිරීම (Law Making ), රටේ යහපත සඳහා ප්‍රතිපත්ති සම්පාදනය (Policy Making ), රාජ්‍ය මූල්‍ය කළමනාකරණය (Monitoring Public Finance ), සහ තම ජනයා නියෝජනය (Representing Voters) යනාදිය ප්‍රශස්ත මට්ටමින් ඉටු කිරීමයි . එහෙත් පුරවැසියන් හැටියට ඔවුන්ගෙන් ඉටුවිය යුතු වගකීම් ඉටුවී තිබෙනවා ද කියා අපගෙන්ම ප්‍රශ්න කරගත යුතුයි ? එසේ වුවා නම් ලංකාව මේ වන විට කෙතරම් සුන්දර රටක් වන්නට තිබුණේද? බූරුවන් පාර්ලිමේන්තු යවා අස්සයන්ගේ වැඩ බලාපොරොත්තු නොවන්න (By sending donkeys to parliament , never expect the performance of horses ) කියා අපේ සීයා වරෙක ප්‍රකාශ කලා මට මතකය.

ලංකාවේ බොහෝ ජනයා මෙන්ම සමහර දේශපාලන පක්ෂ විශ්වාසය තබන්නේ පුද්ගල චරිත මත බව ඉතා පැහැදිලිය. 2019 ගෝටාභය රාජපක්ෂ බලයට ගෙන ඒමෙන් බලාපොරොත්තු වුනේ රටට සෞභාග්‍යය උදාකරාවි කියා ය. රටේ ජනයා පැවති සියළු ප්‍රගතිෂීලි දේශපාලන පක්ෂ පරාජය කරමින් නන්දසේන ගෝටාභය රාජපක්ෂට විශාල වැඩි ඡන්ද සංඛ්‍යාවකින් බලය ලබා දෙන්නේ ඒ සඳහා ය. එහෙත් අවසානයේ ඔහු අපට ගෙනවිත් තිබෙන්නේ මහා විශාල අභාග්‍යකි. ඔහුගේ උඬගු තීරණ සහ “මමයි පොර” කියා නීතිය තම කට වචනය බව කියමින් පුරාජේරු කියවා අවසානයේ රට බංකොලොත් කිරීමෙන් අනතුරුව සැඟවී සිටිමින් දින කීපයකට වතාවක් කිසියම් සාකච්ඡාවක් කරන රූප රාමු කිහිපයක් රූපවාහිනියේ දකින්නට සලස්වනවාට අමතරව ඔහු රටේ අර්බුදය ගැන වචනයක් ප්‍රකාශ කරන්නේ නැත. තවදුරටත් මොහු බලයේ සිටීමෙන් සිදු වන්නේ නුදුරේදීම දහස් සංඛ්‍යාත ජනතාවක් අහාර අහේනියකට පත්වී, ළමුන් මිලියනයකට වැඩිය මන්දපෝෂණයෙට ලක්වීම හෝ මිය යාමයි.

ගෝටාභය රාජපක්ෂගේ අධම පාලනයට විරුද්ධව පසුගිය අප්‍රේල් මාසයේ ජනයා වීදි බසිද්දී, බංකරයක සැඟවුණු ගෝටාභය හොර රහසේම රනිල් වික්‍රමසිංහ අගමැති කරන්නේ ව්‍යවස්ථාව තුට්ටුවකට මායිම් නොකොටයි. පස් සැරයක් අගමැති වී රට කාබාසිනියා කල රනිල් හයවෙනි වරටත් පස්ස දොරින් අගමැති වූ විට එතෙක් අරගල බිමේ සහ උද්ඝෝෂණ බිම් වල හිටි ජනයා ඉන් ලිස්සා ගියේ රනිල් වික්‍රමසිංහ ඔවුන්ගේ අභිලාෂයන් ඉටු කරාවී කියන අදහසින් බව පසුගිය දිනවල ඔබ මාධ්‍යවල දකින්නට ඇත. රනිල් පත්වී දෙසතිය ගත වන විට පැහැදිලි වුනේ ඔහු ප්‍රශ්නය විසඳීමට පැමිණි පුද්ගලයකු නොව ප්‍රශ්නය සන්නිවේදනය කිරීමට ගෝටාභය රාජපක්ෂගේ පණිවිඩකරුවා බවයි. ඔහු ඊයේ පාර්ලිමේන්තුවේ ප්‍රකාශ කලේ ඉන්ධන මිල ඉහළ දැමිය යුතු බවයි. බොහෝ විට පෙට්‍රල් ලීටරය රුපියල් 200 කින් පමණ ඉහල දැමෙනු ඇති. විදුලි බිල 300% වැඩි වනු ඇති. ජල බිල ද එසේ නොවුනහොත් පුදුම විය යුතු නැත.

රනිල් වික්‍රමසිංහ අසාර්ථක බව පොහොට්ටු පක්ෂයේ මන්ත්‍රීවරුන් එළිපිටම කියන්න පටන් ගැනීමත් සමග බෙල්ලටම හිරවී සිටි රාජපක්ෂලා ධම්මික පෙරේරා පාර්ලිමේන්තුවට ගෙන එන්නේ ඔවුන්ගේ අවසාන තුරුම්බුව හැටියටයි. රාජපක්ෂලා තවත් මේ රටේ ප්‍රශ්න තොරොම්බල් කරමින් උස්සාහ කරන්නේ තවදුරටත් බලයේ රැඳී සිටීමට බව පැහැදිලි යි. එහෙත්, එය ඔවුන්ගේ අවසානය ඉක්මන් කරනු ඇති බව මගේ හැඟීමයි .

බොහෝ අය ඊයේ මගෙන් අහන්නේ ධම්මික පෙරේරාගේ පැමිණීම කොහොමද දකින්නේ කියලයි? මා ඔවුන්ට ප්‍රකාශ කලේ රනිල්ගේ පැමිණීම දැක්ක විදිහටම දකිනවා කියලයි. රටක ප්‍රශ්න කොම්පැනියක ප්‍රශ්න විසඳන ආකාරයට කල නොහැකියි. ධම්මික පෙරේරා ඩීල් මාස්ටර් කෙනෙකු වූ පමණින් අද රටේ පවතින ප්‍රශ්න වලට රාජපක්ෂලා සමග විසඳුම් සෙවිය නොහැකි බව මම ඔවුන්ට ප්‍රකාශ කරමින් සඳහන් කලේ ඉදිරි සතියේ සිට ප්‍රශ්නය තවත් උග්‍ර වනු ඇති බවයි.

ධම්මික පෙරේරා කැඳවන්නේ රටේ ඉතිරිව ඇති ඉඩකඩම් සහ අනෙකුත් සම්පත් ටික ඉක්මනින් වෙන්දේසි කර දැමීමටයි. ආර්ථික සංවර්ධනයේ මුවාවෙන් ඩොලර් සෙවීම ඉදිරියට දමා ඈවරයි, දෑවරයි, තුන් ඈවරයි කීමට ධම්මික පෙරේරා උස්සාහ කරණු ඇත. රනිල් වික්‍රමසිංහ 6 වරක් අගමැතිට රටේ පවතින ආර්ථික අර්බුදයට විසඳුම් නොමැති තත්ත්වයක් තුල ධම්මික පෙරේරාට කල හැකි මහ කෙන්ගෙඩියක් නැති බව මාගේ පෞද්ගලික අදහසයි.

ශාන්ත ජයරත්න
ජ්‍යෙෂ්ඨ උපදේශක (හිටපු)
ශ්‍රී ලංකා සංවර්ධන පරිපාලන ආයතනය
SLIDA
22.6.2022

Social Sharing
Uncategorized නවතම විශේෂාංග