රාජ්‍ය සහන ඉක්මන් කළොත් ජන අරගල නවතී – IMF

ලංකාවේ අද උද්ගත වී ඇති ජන අරගල ඉදිරියේදී වෙනත් රටවල පැතිර යාම වැළැක්වීමට නම් ජනතාවගෙන් දිළිඳුම පිරිස් සඳහා ආහාර සහ බලශක්ති සහනාධාර ලබා දීමට රජයන් පියවර ගත යුතු යැයි ජාත්‍යන්තර මූල්‍ය අරමුදල(IMF) පවසයි.
IMF කළමනාකාර අධ්‍යක්ෂිකා ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා අනතුරු අඟවා ඇත්තේ, එසේ අත්‍යවශ්‍ය අංශවල සහනාධාර ලබා දීම සහ එම අංශවලට රාජ්‍ය අනුග්‍රහය නොමැති වුවහොත් මේ වන විට ලංකාවේ පැන නැගී ඇති ආකාරයේ විරෝධතා සහ අරගල වෙනත් රටවල ද ඇතිවිය හැකි බව ය.

ලෝකය පුරා ආර්ථික අර්බුදය නිසා ඉහළ යන ජීවන වියදම හේතුවෙන් ජනතාව දුෂ්කරතාවලට පත් වෙමින් සිටින බවත් ඔවුන්ට ආහාර සහ බලශක්තිය වෙනුවෙන් සහනාධාර ලබාදිය යුතු බව ත් ඇය පෙන්වා දී ඇත. එහිදී ඉලක්කගත පිරිසක් සඳහා සෘජු ලෙස සහනාධාර ලබා දීම සුදුසු යැයි ඇය පෙන්වා දී තිබේ. බොහෝ රටවල්වල ජනතාවට රජයෙන් සහනාධාර ඇතුළු උපකාර කරන නමුත් බොහෝ විට ඒවා ප්‍රමාණවත් නොවන බවට විවේචන පවතින බව ද ඇය පවසා ඇත. මේ වනවිට අවසන්ව යන කොවිඩ් වසංගතය සහ 2022 පැන නැගුණු රුසියා යුක්‍රේන යුද්ධය හේතුවෙන් ආහාර මිල මෙන්ම ඉන්ධන සහ ගෑස් මිල ද ඉහළ ගොස් තිබීමට හේතු වී ඇත.

කෙසේ නමුත්, දුබලව පවතින ගෝලීය ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා මෙන්ම ආර්ථික වර්ධනය වෙනුවෙන් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අභියෝගවලට මුහුණ දෙන රටවල් සමග එක්ව කටයුතු කරන බව ද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ප්‍රධානී ක්‍රිරිස්ටලිනා ජියෝජියේවා එහිදී ප්‍රකාශ කර තිබේ.

චන්දන සිරිමල්වත්ත

Social Sharing
නවතම විදෙස්