රට ගැන හිතලා ඇත්තටම පාර්ලිමේන්තු යන්න හදන අපෙක්ෂකයින්ට පමණයි.

මහ මැතිවරණයට ඇත්තේ මසකටත් අඩු කාලයකි. සියලුම අපේක්ෂක අපෙක්ෂිකාවන් දැන් මේ වන විට සිටින්නේ ප්‍රචාරණ පොර පිටියේය. ඔවුන් ජනතාව අතරට ගොස් නොයෙක් පොරොන්දු දෙයි. බඩු මිල අඩු කරනු බව කියයි. නැතිනම් රජයෙන් 5000 ට නොව තමන් දස දහසක් දෙන බව කියයි. නොයෙක් බඩු භාණ්ඩ ලබා දෙන්නේය. ඒ සියල්ල තමන්ට මනාපයක් එක් කර ගැනීමේ වෑයමක් වෙනුවෙනි.

නමුත් මේ කිසිදු අපේක්ෂක අපෙක්ෂිකාවක් අවධානය යොමු නොකළ කරුණක් ඇත. ඒ දුම්වැටි හා මද්‍යසාර සම්බන්ධයෙනි.

මද්‍යසාර හා දුම්වැටි භාවිතය හේතුවෙන් වාර්ෂිකව 35000 කට අධික ලාංකිකයින් ප්‍රමාණයක් මිය යන බවත් ගංජා, හෙරොයින් මත්ද්‍රව්‍ය භාවිතය හේතුවෙන් විශාල පිරිසක් මානසික රෝගීන් බවට පත්වෙමින් සිටින බවටත් මද්‍යසාර මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය හෙළිකර සිටියි.

එමෙන්ම මෙරට මිනිසුන් දිනකට රුපියල් කෝටි 38 ක් සිගරට් වෙනුවෙන් වියදම් කරන අතර අරක්කු සහ බියර් සඳහා දිනක වියදම රුපියල් කෝටි 59 ක් බවද එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි. දුම්වැටි සහ මද්‍යසාර සමාගම් වලින් රජයට ලබා ගත හැකි විශාල බදු මුදල් ප්‍රමාණයක් තිබෙන බවත් ඊට ක්‍රමවත් ක්‍රමවේදයක් නොමැතිකමින් මේ බදු මුදල් අපට අහිමිව යන බවද පෙන්වා මද්‍යසාර මත්ද්‍රව්‍ය තොරතුරු මධ්‍යස්ථානය අවධාරණය කර ඇත.

මෙවර 2020 මහ මැතිවරණයට ඉදිරිපත් වන අපේක්ෂක අපෙක්ෂිකාවන්ට සත්‍ය වශයෙන්ම රට සීඝ්‍ර සංවර්ධනයක් කරා ගෙන යාමට අවශ්‍ය නම් මෙම තොරතුරු පදනම් කර ගනිමින් ඔවුන්ට ඉදිරියට කටයුතු කිරිමේ හැකියාවක් ඇත.

එහිදී තනි සිගරට් ලෙස දුම්වැටි අලෙවිය තහනම් කිරීම, සම්මත අසුරුම්කරණය නීතිගත කිරීම, අධ්‍යාපන ආයතනයක සිට මිටර් 100 ක් ඇතුලත දුම්වැටි අලෙවිය තහනම් කිරීම, දුම්කොළ සමාගම් රජයට ගෙවිය යුතු බදු අය කර ගැනීම සඳහා ක්‍රමවත් වැඩපිලිවෙලක් සකස් කිරීම, දුම්කොළ හා මද්‍යසාර පිලිබඳ ජාතික අධිකාරී පනතට යෝජනා කර ඇති සංශෝධන සම්මත කිරීම, 2016 දී පාර්ලිමේන්තුව විසින් අනුමත කරන ලද මද්‍යසාර පිලිබඳ ජාතික ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම, ගංජා ශ්‍රී ලංකාව තුල නීතිගත කිරීමට ඉඩකඩ නොදීම, හෙරොයින් ඇතුලු අනෙකුත් සියලුම මත්ද්‍රව්‍ය සඳහා දැනට පවතින නීති නිසි ලෙස ක්‍රියාත්මක කිරීම යන කරුණු එම මධ්‍යස්ථානය මූලික කොට දක්වා ඇත.

මත්ද්‍රව්‍ය නිසා දිනකට අප සමාජයේ බොහෝ නිවාස රැසක රණ්ඩු දබර ඇති වේ. පවුල් ආරවුල් ඇති වේ. එමෙන්ම ඇතැම් දුෂණ ක්‍රියාවන්ට මුල්වන්නේද මේ මත්ද්‍රව්‍ය භාවිතා කිරීමය.

ඒ නිසා තමන් ගැන සිතා නොව රට ගැන සිතා පාර්ලිමේන්තු යන අපේක්ෂක අපෙක්ෂිකාවක් නම් අනිවාර්යෙන්ම මේ ගැනද අවධානය යොමු කළ යුතුව ඇත්තේය.

– ශානිකා –

Social Sharing
නවතම