දක්ෂිණාංශික ජනප්‍රියවාදය හා ගෝටා ගෝ ගම

අප්‍රේල් නැගිටීම් ගැන අප්‍රේල් සටහන් (9 කොටස)

අසූව දශකය වනවිට ලෝකයේ සිදු වූ සංකීර්ණ දේශපාලන වෙනස්කම් සලකුණු කිරීමේ ප්‍රවාදයක් ලෙස ‘ජනප්‍රියවාදය’ නම් සංකල්පය දේශපාලන න්‍යායට එකතු විය. ජනප්‍රිය ස්වරූපයක් උසුළන දේශපාලන පක්ෂ හා පුද්ගලයන් කවදත් සිටි බව සැබෑය. ලංකාවේ නම් බණ්ඩාරනායකගේ මැදිහත් වීම ද ඉන්පසු ඔහුගේ දියණිය වූ චන්ද්‍රිකාගේ ආගමනය ද ජනප්‍රිය ආණ්ඩුකරණයේ සන්ධිස්ථාන දෙකකි. ඊට අමතරව විජය කුමාරතුංග හෝ හෙළ උරුමයේ නැගීම ද දක්ෂිණාංශික ජනප්‍රිය දේශපාලන අවස්ථා ලෙස සලකුණු කල හැක. මේ දක්වා තිබූ ශක්තිමත්ම දක්ෂිණාංශික ජනප්‍රිය දේශපාලන බල හවුල ලෙස 2005 – 2014 මහින්ද රාජපක්ෂ මූලික බල හවුල ද දක්ෂිණාංශික ජනප්‍රිය දේශපාලන පාලකයා ලෙස ගෝඨාභය රාජපක්ෂව ද සලකුණු කල හැක. නමුත් අප මින් මදක් ඉදිරියට ගොස් මේ ප්‍රපංච අතර වෙනස්කම් ද සලකුණු නොකරගෙන දක්ෂිණාංශික ජනප්‍රිය දේශපාලනයේ සමකාලීන සුවිශේෂ බව හඳුනාගත නොහැක.

පනහේ දශකය වනවිට පශ්චාත් යටත්විජිත ‘ප්‍රභූ විරෝධය’ වෙනුවට බණ්ඩාරනායක කරළියට රැගෙන ආවේ ‘ජාතිය’යි. යටත්විජිත රදළ ප්‍රභූන් හා ප්‍රවේණින් ලෙස හෝ කුල අතර වූ දේශපාලන පසමිතුරුතාව බණ්ඩාරනායක විසින් ජාතිය මූලික දේශපාලනයක් ලෙස නව ප්‍රවේශයකින් විතැන් කලේය. ඔහු ඔහුගේ දේශපාලන ව්‍යාපෘතිය දියත් කලේ නිදහස් පක්ෂය මූලිකවය. නමුත් විජය කුමාරතුංග සැලකීමේදී පක්ෂ දේශපාලනයකට වඩා ඔහු භාවිත කලේ සිනමාවෙන් ඔහුට ගොඩනැගී තිබූ තරු ගුණය මූලික පුද්ගල ප්‍රතිරූපයකි. ඔහුගේ මහජන පක්ෂය යනු එතුවක් ලංකාවේ වූ පක්ෂ ආකෘතියේ පැවති ශක්තිමත් සංවිධාන ජාලයකට උරුමකම් කියනා පක්ෂයක් නොවේ. විජයගේ දේශපාලනය පදනම් වූවේ සුළුජාතීන් වෙනුවෙන් පෙනීසිටිනා ලිබරල් එළඹුමක් සහිත සුවිශේෂී ජනප්‍රිය හාවිතයකිනි. එහි ගැඹුරු හෝ විකල්ප දේශපාලන සැළැස්මක් නොවීය. විජයගේ හදිසි මරණය සමග පෑදුනු අවස්ථාව නිසා මතු වූ චන්ද්‍රිකා නම් දේශපාලන අහම්බය දෙමුහුම් හෙවත් හයිබ්‍රිඩ් ප්‍රස්තුතයකි. එක් අතකින් ඇයට ශක්තිමත් දේශපාලන පක්ෂයක් ද අනෙක් පසින් විජයගේ ජනප්‍රිය දේශපාලනයේ සෙවනැල්ල ද හිමිවිය. ඊට අමතරව ඊනියා විකල්ප ප්‍රභූ දේශපාලන අනන්‍යතාවයක් ද ඇය සතු විය. චන්ද්‍රිකාගේ දේශපාලනය ආරම්භ වූයේ සම්ප්‍රදායික පක්ෂ දේශපාලනයට විකල්ප වූ ජනප්‍රිය පුද්ගල ප්‍රතිරූප නිර්මාණයක් හරහා වූව ද ඇගේ දේශපාලන භාවිතය පක්ෂ හෝ සන්ධාන ආකෘතිය කරා යළි ගමන් කලේ ශක්තිමත් දෘෂ්ටිවාදයක් නොමැති ලිබරල් මත ගණනාවක බහුත්වවාදයක දෝලනය වෙමිනි. ඔවුන් එය නම් කලේ ‘විවෘත ආර්ථිකයට මානුෂික මුහුණුවරක්’ ලෙසිනි. එහෙත් පළමු රාජපක්ෂ දේශපාලන අවධිය ලෙස සලකුණු කල හැකි 2005 -2009 යනු ලංකාවේ ප්‍රථම ශක්තිමත් දක්ෂිණාංශික ජනප්‍රිය දේශපාලන ලක්ෂණ සහිත පාලක රෙජීමයයි. මේ නව දක්ෂිණාංශික දේශපාලනය යනු කුමක්ද?

පක්ෂය වෙනුවට ප්‍රතිරූප
——————————————

දේශපාලනය අවශ්‍ය වන්නේ සාමූහික සමාජ විමුක්තිය සඳහා නම් ඒ උදෙසා තිබෙනා යෝජනා මූලිකව දෙආකාරය. සමාජ ක්‍රමයේ යම් යම් තෝරාගත් වෙනස්කම් ප්‍රතිසංස්කරණය කර එම ක්‍රමයම පවත්වාගෙන යාම දක්ෂිණාංශික දේශපාලනය ලෙසත් සමාජයක් සංවිධානය වී ඇති පදනම් වෙත ඉලක්කව ඒවා මුළුමනින්ම රැඩිකල් වෙනස්කම් වලට ලක්කිරීම වාමාංශික දේශපාලනය ලෙසත් මූලිකව හඳුනාගත හැක. මේ සාම්ප්‍රදායික දේශපාලන සීමාවලට වෙනස්ව දක්ෂිණාංශික හා වාමාංශික දේශපාලන ධාරා දෙකෙහිම නව ‘ජනප්‍රිය’ ආකෘතීන් 90 දශකය එළඹීමත් සමග ශීඝ්‍රයෙන් ප්‍රතිව්‍යුහගත විය. එය සංකීර්ණ දේශපාලන පරිනාමයකි. එහි ප්‍රධානතම දේශපාලන ලක්ෂණයක් වූයේ සාමූහික ‘දේශපාලන පක්ෂ’ වෙනුවට පුද්ගලයකු ආදේශ වීමයි. එනම් සමාජය දේශපාලන ව්‍යාපාරයක් මත විශ්වාසය තැබීම වෙනුවට සදාචාරය මූලික කරගත් සටන්පාඨ මත පුද්ගල ප්‍රතිරූප කෙරෙහි ආකර්ශණය වීමයි. සිය දේශපාලන අභිලාෂ ඒ පුද්ගලයා හරහා මුදුන්පමුණුවා ගැනීමේ සුන්දර සිහිනයයි.

මෙය දේශපාලනය නම් පුළුල් ක්ෂේත්‍රය තුළ සිදු වූ ඉතා සියුම් වෙනසකි. සැබෑය, කවදත් දේශපාලනය තුළ ජනප්‍රිය සාධක පැවතින. නමුත් ඉතා සියුම් ලෙස, සාමූහික සම්මුති මත පිහිටුවන පක්ෂ වෙනුවට, විශේෂයෙන් මාධ්‍ය හරහා පුද්ගල ප්‍රතිරූප ගොඩනගාගත් කේවල චරිත සඳහා පක්ෂ පවා පාවඩ දා පිළිගන්නා තත්ත්වයක් උදාවිය. ඔවුන්ට පක්ෂයෙන් ස්වායක්ත කේවල් කිරීමේ යාන්ත්‍රණයක් නිරන්තරයෙන් හිමි වූවේ පක්ෂයෙන් එපිට පවතින ජනප්‍රිය ප්‍රතිරූප පදනම නිසාවෙනි. මේ නව දේශපාලන බලය ඉතා සංකීර්ණය. එක් අතෙකින් ලංකාවේ මැතිවරණ පැවැත්වෙන මනාප ක්‍රමය මේ තත්ත්වයට ඉතා හොදින් ආදේශ විය. අනෙක් පසින් අනූව දශකය වන විට පශ්චාත් නූතන යුගය ලෙස හඳුනාගත් නව සංස්කෘතික වෙළෙඳපොළ හා බැඳි මාධ්‍ය ප්‍රාග්ධනය හිමි ව්‍යාපාරික පැළැන්තිය විසින් දේශපාලන පක්ෂ පාලනය කිරීමේ ප්‍රධානතම උපක්‍රමයක් ලෙස ප්‍රතිරූප භාවිතා කලේය. ලංකාවේ මාධ්‍යවේදීන් ලෙස සේවය කොට පසුගිය කාලයේ පක්ෂ දේශපාලනය හරහා ඉහළට පැමිණි ප්‍රතිරූප මීට උදාහරණයකි. ස්වර්ණවාහිනී නාලිකාව හරහා මනූෂ නානායක්කාර ද සිරස හරහා ජේ ශ්‍රී රංගා, බුද්ධික පතිරණ, එස්. එම්. මරික්කාර්, සුසිල් කිදෙල්පිටිය ද ITN හරහා නිරෝෂන් ප්‍රේමරත්න, සංජීව එදිරිමාන්න වැනි චරිත ද ක්‍රීඩාව හරහා අර්ජුන රණතුංග, සනත් ජයසූරිය, සුසන්තිකා ජයසිංහ වැන්නන් ද සිවිල් ක්ෂේත්‍රය හරහා රංජිත් බණ්ඩාර, හර්ෂ ද සිල්වා, එරාන් වික්‍රමරත්න දක්වා ද කලාවෙන් ජයන්ත කැටගොඩ, ගීතා කුමාරසිංහ, රංජන් රාමනායක, උපේක්ෂා ස්වර්ණමාලි, අනර්කලී ආකර්ෂා, මධුමාධව අරවින්ද, රොජර් සෙනෙවිරත්න, උද්දික ප්‍රේමරත්න ද දැක්විය හැක. එසේම වරින් වර විවිධ දේශපාලන සිදුවීම් හරහා මතුවන චරිත වන සරත් එන්. සිල්වා, ශිරාණි බණ්ඩාරනායක, නාගානන්ද කොඩිතුවක්කු, ගාමිණී විජේසිංහ පමණක් නොව ධම්මික පෙරේරා, දිලිත් ජයවීර වැන්නන් පවා සංකේතීය දේශපාලන වටිනාකම් ගොඩනගා ගැනීමට උත්සාහ කළෝය. තව ද සරත් ෆොන්සේකා, ශවීන්ද්‍ර සිල්වා, කමල් ගුණරත්න, මහේෂ් සේනානායක වැනි මිලටරි ප්‍රතිරූප ද විය. මේ නව පුද්ගල ප්‍රතිරූප ආගමන යනු පක්ෂ අභිබවා යන පුද්ගලවාදී ජනප්‍රිය එළඹුම්ය.

මේ තත්ත්වය පක්ෂ තුළ දේශපාලන ප්‍රතිරූප ප්‍රවර්ධනය සඳහා ද භාවිතා විය. විවිධ අය විවිධ ලෙස අනූවේ සිට මෙය උත්සාහ කල ද දේශපාලනිකව එහි අසහාය, සාර්ථක ප්‍රතිරූපය වූයේ මහින්ද රාජපක්ෂය. ඔහුට එක් අතකින් ශක්තිමත් දේශපාලන සංධානයක් විය. අනෙක් පසින් ඒ වනවිට ගෝලීයකරණයට එරෙහිව නැගී ආ නව පශ්චාත් නූතන ජනප්‍රිය ජාතිකවාදය සඳහා යුද ජයග්‍රහණය හරහා ද මහින්දට මාහැඟි අවස්ථාවක් උදාවිය. එසේම ප්‍රභූ පදනම හා චීන භූදේශපාලන නැගීමත් සමග ජාතිකවාදය සමග සම්මිශ්‍රිතව ප්‍රාචීනවාදය හෙවත් බටහිරට එරෙහි පෙරදිගවාදය සඳහා ද වටපිටාවක් බිහිවිය. මේ සියලු සංකීර්ණ දේශපාලන තත්ත්වයන් කළමනාකරණය කිරීම හරහා මහින්ද දශකයකට වැඩි කාලයක් ක්‍රමයෙන් පක්ෂ අභිබවා සිය ප්‍රතිරූපයට පමණක් නොව ආසියාතික ප්‍රභූ පවුල් දේශපාලනයට ද නව හැඩයක් එක් කලේය. බැසිල් රාජපක්ෂ හට නොමැති මේ ජනප්‍රිය ප්‍රතිරූප ගුණය මහින්දට පැවති අතර ලංකාවේ පක්ෂ දේශපාලනයේ අනුග්‍රාහක ව්‍යාපාරික ප්‍රජාව කලමනාකරණය පමණක් තිබීම දක්ෂිණාංශික ජනප්‍රිය දේශපාලනය සඳහා කිසිසේත්ම ප්‍රමාණවත් නොවනා බව පොහොට්ටු පක්ෂය මේ වනවිට මුහුණ දී ඇති අර්බුදයෙන් පැහැදිලි වේ. බැසිල්ට නැත්තේ තරු ගුණයයි. ගෝඨාභය ආරක්ෂක ලේකම් තනතුරේ සිටම වර්ධනය කළේ මෙකී පුද්ගලවාදී ප්‍රතිරූපය වන අතර නව ආසියාතික සුදුකරපටි ලිබරල් සංවර්ධන මැදපංතික සිහිනය සඳහා ඔහුව ආදේශ වූවේ මේ සංකීර්ණ දක්ෂිණාංශික ජනප්‍රිය දේශපාලන තර්කණයෙනි. එහි මූලිකම ලක්ෂණයක් වූ ජාතිකත්ව නියෝජනයට අවශ්‍ය පසුබිම ඔහු ද ගොඩනගාගෙන තිබූ අතර වර්ධනය වූ ඉස්ලාමීය භීතිකා දෘෂ්ටිවාදය ඔහුගේ මූලිකම දේශපාලන ප්‍රකාශනය විය. එහිදී අවම වශයෙන් පක්ෂයක සාමාජිකයෙක් හෝ නොවුනු ගෝඨාභය සමාජයේ වර්ධනය වී තිබූ පුද්ගලවාදී නිර්පාක්ෂික දෘෂ්ටිවාදය වටා ඔහු සිය ප්‍රචාරණය සංවිධානය කළේය. මෛත්‍රීපාල ‘පොදු අපේක්ෂක’ වනවිට ගෝඨාභය ‘නිර්පාක්ෂික’ විය. ජනප්‍රියවාදයේ බොහෝ ප්‍රචාරයක ලක්ෂණ ගෝඨාභයගේ ව්‍යාපෘතිය හරහා කූඨප්‍රාප්තියකට පත්විය. තරුණයන් තාප්ප වල චිත්‍ර ඇන්ද අතර ඒවා ඔවුන්ගේ නව ඕපපාතික ජාතිකවාදය ප්‍රකට කළේය. මහින්ද ආණ්ඩුවේ ජාතික රූපවාහිනිය හෝ ITN වෙනුවට ගෝඨාගේ ප්‍රචාරණ යාන්ත්‍රණය වූවේ පුද්ගලික නාලිකාවක් වූ දිලිත් ජයවීරගේ ටීවී දෙරණය. ගෝලීයව ප්‍රචලිත වූ දක්ෂිණාංශික උදාන වාක්‍යයක් වන “සිස්ටම් චේන්ජ්’ ගෝඨා හරහා ලංකාවේ මැතිවරණ ප්‍රචාරණයට ද එක් විය. මුල්කාලීනව ජවිපෙ හා චම්පිකගේ පරිසරවාදය ද ඔවුන්ගෙන් ගිලිහී ගෝලීය කාබනික ආහාර දෘෂ්ටිවාදයට සමාන්තරව රතන හිමිගේ ‘වස විස නැති ලංකාවක්’ ප්‍රචාරක ව්‍යාපෘතිය ගෝඨාභයට උරුමවිය.

නමුත් පොහොට්ටුවේ අභ්‍යන්තර දේශපාලන අර්බුදය ආරම්භ වූ වහාම මහින්දට නොවූ අකරතැබ්බයකට මුහුණ දීමට ගෝඨාට සිදු විය. ඒ රාජ්‍ය පරිපාලනයේදී පාර්ලිමේන්තුවේ බලය හිමි පොහොට්ටු පක්ෂය බැසිල් විසින් හැසිරවීමත් ගෝඨාගේ වියත්මග සංවිධානයේ නියෝජිතයින්ගේ අදේශපාලනික ජනප්‍රිය සාධකය ඉතා කෙටි කලකින් අවලංගු වීමත්ය. ගෙවිඳු කුමාරතුංග, චරිත හේරත්, නාලක ගොඩහේවා, ප්‍රේමනාත් සී දොලාවත්ත වැනි ගෝඨාගේ නිර්පාක්ෂික ජනප්‍රිය නියෝජිතයන් දැන් දේශපාලනිකව බලරහිත වී ඇත. මේ ජනප්‍රිය දේශපාලනයේ උගුලයි. ලංකාවේ ප්‍රාදේශීය දේශපාලනය මෙන්ම පාර්ලිමේන්තු දේශපාලනය ද තවමත් බහුතර නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ආකෘතියෙන් පක්ෂ ලෙස සංවිධානය වීමත්, ව්‍යාපාරික ප්‍රජාව මූලික අනුග්‍රාහක දේශපාලන දෘෂ්ටිවාදය ජනප්‍රියවාදය මත සංවිධානය වීමත් නිසා අභ්‍යන්තර අර්බුදයකට රාජපක්ෂ රෙජීමය දැන් මුහුණ දී ඇත. බැසිල් නම් නව ලිබරල් සංවිධායක හමුවේ ගෝඨාභය නම් දක්ෂිණාංශික ජනප්‍රියවාදී දේශපාලන ප්‍රතිරූපය අභියෝගයට ලක් වී ඇත.

මේ තත්ත්වය මත බොහෝවිට තරමක් සංකීර්ණ දේශපාලන ප්‍රතිඵල උදාවීමට ඉඩකඩ ඇත. චන්ද්‍රිකාගේ ජනප්‍රියවාදය සලකන විට ඒකක ලෙස වික්ටර් අයිවන් දේශපාලන ප්‍රචාරකයෙක් ලෙස ද සනත් ගුණතිලක දේශපාලන කළමනාකරුවකු ලෙස ද මංගල සමරවීර බිම් මට්ටමේ සංවිධායකවරයකු ලෙස ද ස්ථානගත වී තිබින. මහින්ද රාජපක්ෂ සලකන විට විමල් වීරවංශ දේශපාලනික ප්‍රචාරකයෙක් ලෙස ද බැසිල් රාජපක්ෂ දේශපාලන කලමනාකරුවකු ලෙස ද මංගල සමරවීර සංවිධායකවරයකු ලෙස ද ස්ථානගත වී තිබින. නමුත් ගෝඨාභයගේ දේශපාලනය සලකන විට දිලිත් ජයවීර ප්‍රචාරකයෙක් ලෙසත් අලිශබ්‍රී කලමනාකරුවකු ලෙසත් සිටිය ද මුල සිටම බැසිල් සිටියේ ගෝඨාභයට පාලිත සංවිධායකවරයකු ලෙස නොවේ. ඔහු සංකීර්ණ අභ්‍යන්තර දෙබෙදුමක් පොදුපෙරමුණු ආණ්ඩුව තුළ නිර්මාණය කළේය.

නාමයෝජනා වල දී කොළඹින් විමල්ට අභිමුඛ වන ලෙස සරත් වීරසේකරව ඉදිරිපත් කිරීමේ සිටම බැසිල් සිය නව සංවිධාන බලය අභ්‍යාසයේ නිරත විය. එමගින් ගෝඨාභයව හුදු සංකේතීය නායකයෙක් කර රට තුළ ඉතා සංකීර්ණ දේශපාලන – ආර්ථික උගුලක් නිර්මාණය කිරීම පමණක් නොව භූ දේශපාලනිකව ද ලංකාවේ දශක දෙකකට ආසන්න චීනය මූලික ඉතිහාසය කණපිට හරවමින් සිටියේය. 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය හා වරාය පර්‍ය්න්ත අර්බුදය එහි ආරම්භක ප්‍රකාශන විය. එසේ මේ ආණ්ඩුවේ සංකීර්ණ අභ්‍යන්තර බෙදීම් මුලසිටම ප්‍රකාශමාන විය. ඒ අර්ථයෙන් බල හවුලක් වූ මහින්දගේ දක්ෂිණාංශික ජනප්‍රියවාදී ව්‍යාපෘතිය 2015 ඛේදවාචකයකින් අවසන් වී නම් ගෝඨාභයගේ පුද්ගල ප්‍රතිරූප කේන්ද්‍රීය ව්‍යාපෘතිය 2022 වනවිට හාස්‍යක් වෙමින් පවතී. එක් අතකින් මේ සමගම රාජපක්ෂ කේන්ද්‍රීය දක්ෂිණාංශික ජනප්‍රිය දේශපාලන බලහවුල එක්තරා අවසාන සංධිස්ථානයකට පැමිණ ඇතුවා ද විය හැක. මැයි නමවනදා මහින්ද, ජොන්ස්ටන් හා සනත් නිශාන්ත ආදීන් මූලිකව ඇරඹි දේශපාලන අර්බුදය අවසාන වුයේ රාජපක්ෂවාදී ජනප්‍රිය දේශපාලන දෘෂ්ටිවාදයේ අනෙකා වූ රනිල්ට අගමැතිකම සඳහා පාර කපා මහින්ද ත්‍රිකුණාමලයේ සෝබර් දූපතට පලා යන්නට සිදුවෙමිනි. එය විශේෂයෙන් මහින්ද සම්බන්ධයෙන් සිදු වූ නිසාවෙන්ම රාජපක්ෂවාදී ජනප්‍රියවාදයේ සංකේතීය අවසානයකි. එපමණක් ද නොව, 2005 – 2022 කාලයේ ජනප්‍රිය රාජපක්ෂවාදී යුගය යනු කොටි සංවිධානය පමණක් නොව ලංකාවේ දකුණේ හා උතුරේ සාම්ප්‍රදායික දේශපාලන පක්ෂ වූ ජවිපෙ, ශ්‍රීනිප, UNP පමණක් නොව TNA පවා බෙදී, විසිරී, දිය වී ගිය කාලයකි. ඒ අර්ථයෙන් රාජපක්ෂවාදය යනු ලංකාවේ සාම්ප්‍රදායික පක්ෂ දේශපාලනය ද අවසන් කල දක්ෂිණාංශික ජනප්‍රියවාදී දේශපාලන බලවේගයි.

නිර්පාක්ෂික ගෝඨාට එරෙහි නිර්පාක්ෂික නැගිටීම් !
————————————————————————————-

කුතුහලය දනවන කරුණ වන්නේ විශේෂයෙන් ගෝටා ගෝ ගම ලෙස ගෝල්ෆේස්හි ආරම්භ වූ ජන නැගිටීමෙහි ද මේ දක්ෂිණාංශික ජනප්‍රිය දේශපාලන ලක්ෂණ බොහෝමයක් නිරීක්ෂණය කල හැකි වීමයි. විශේෂයෙන් ගෝඨාභයගේ මැතිවරණ ආප්තය වූ ‘නිර්පාක්ෂික’ උදාන යෙදුමම ගෝල්ෆේස් නැගිටීම් උදෙසා ද භාවිත වීම විදහා දක්වන්නේ පද්ධති ලෙස දෘෂ්ටිවාදී වෙනසක් ආණ්ඩු හා ඊට එරෙහි උද්ඝෝෂණකරුවන් අතර නොමැති බවයි. දෙගොල්ලන්ම අරාජිකවාදී පුද්ගලවාදීන්ය. මීලඟට දක්ෂිණාංශික ජනප්‍රියවාදයේ ප්‍රකටම ගුණයක් වන්නේ දේශපාලනික දේශපාලනය වෙනුවට සංස්කෘතික දේශපාලනය ආදේශ වීමයි. ගෝටා ගෝ ගම යනු එකම සංස්කෘතික උළෙලකි. දේශපාලන සටන්පාඨ යනු ඒවා අතරේ තවත් එක් වැඩකි. මිනිසුන් විනෝද වීම සඳහා යන උළෙලක බොහෝ ආකර්ශණීය ගුණාංග ඒ තුළ කොතෙකුත් වේ. සැබවින්ම එය දේශපාලනීකරණය කලේ ගෝටා ගෝ ගම ගම්වාසීන් නොව, පොහොට්ටු සාමජිකයින්ගේ නමවෙනිදා ප්‍රහාරයයි. ඒ තත්ත්වය බැස ගිය සැනින් දැන් යළි සංස්කෘතික උළෙල ඇරඹී ඇත. විවෘත දේශපාලනය තව තවත් අත්හිටුවා ඇත. පැමිණෙන සෙනග ද ක්‍රමයෙන් අඩු වී ඇත.

මෙය වචනයේ පරිසමාප්තියෙන්ම දක්ෂිණාංශික ජනප්‍රියවාදී නැගිටීමකි. ඊනියා සිස්ටම් චේන්ජ් කතා කරනා ගෝටා ගෝ ගම ගම් වාසීන් අවම වශයෙන් මාධ්‍ය ප්‍රාග්ධනය විසින් ඊනියා මහජනයාට සිදුකරන දේශපාලනික බලපෑමට හෝ ධනවාදය තුළ පොහොට්ටුව වැනි කොතෙකුත් පක්ෂ නඩත්තු කරනා ව්‍යාපාරික ප්‍රජාවේ දේශපාලන බලයට එරෙහිව සටන් කරන්නේ නැත. ඔවුන් සමග ගම්වාසීන්ට ඇත්තේ සම්මුතිගත සම්බන්ධයකි. ගෝල්ෆේස් සමස්ත භූමියම යනු රාජපක්ෂ පවුලට එරෙහි මෘදු විරෝධයකි. ඔවුන් දේශපාලනික විමුක්තිය ලෙස දකින්නේ රාජපක්ෂල ගෙදර යැවීමයි. ඉන් පස්සෙ කුමක් කරන්නදැ’යි කිසිවෙකුකට කිසිදු අදහසක් නැත. ඊනියා විකල්ප ජනප්‍රියවාදීන් නොදන්නා අනෙකෙකුගේ නොදන්නා විශ්වකර්ම මැදිහත්වීමක් වේ’යැයි සිහිනයක සිටිති. මැදිහත්වීමේ සංවිධානාත්මක දේශපාලනය වෙනුවට ඊනියා මහජනයා කෙරෙහි විශ්වාසය තබා සිටිති.

ඒ අතරේ විවිධ පුද්ගල ප්‍රතිරූප ගෝල්ෆේස් භූමියේ බුබුළු යථාර්ථය තුළ හොල්මන් කරමින් බලය උදෙසා හොරගල් අහුලමින් සිටිති. ජවිපෙ එරංග සේනාරත්නව පුහුණු කිරීමේ බිමක් ලෙස ද චම්පික සිය මීලඟ මැතිවරණයේ අන්තර්ජාල මෙහෙයුම සඳහා ප්‍රචාරණ පදනමක් ද පෙසපෙ ශිෂ්‍ය ව්‍යාපාරය මහජනයා තුළ විශ්වාසය දිනවීම සඳහා ද උත්සාහ කරමින් සිටිති. ඇතැමුන් මීට තවමත් ‘නිර්පාක්ෂික භූමියක්’යැයි හඳුන්වති. සන්නස්ගලගේ ජනප්‍රිය ව්‍යාපෘතිය කෝනාර, මෝටිවෙෂන් අප්පච්චී, ඩිලාන්, දර්ශන හදුන්ගොඩ, රැට්ටා හමුවේ අසාර්ථක වී ඇත. නව පුද්ගලවාදය හ සන්නාගේ විකල්ප ලිබරල් ජනප්‍රියවාදය අතර වෙනස ද පැහැදිලිව සලකුණු වී ඇත.

මැයි මස වනවිට ක්‍රමයෙන් ගෝල්ෆේස් පැමිණෙන ජනතාවගේ ශීඝ්‍ර අඩුවක් නිරීක්ෂණය කල හැක. ඊට රනිල්ගේ ආගමනයේ සුපුරුදු ලිබරල් ආර්ථික දෘෂ්ටිවාදය ද ආණ්ඩුව හා යූටියුබර්ස්ලා එක්ව නිර්මාණය කල “මේක ජවිපෙ වැඩක් ” නම් ප්‍රචාරණය ද මෙතුවක් ගෝල්ෆේස් පැමිණි රථවාහන හිමි මධ්‍යම පංතියට දැන් ඉන්ධන ලබා ගැනීම සඳහා පැය පහක් පමණ පෝලිම් වල ඉන්නට සිදු වීම ද ආදී බහුගුණ හේතු පැවතිය හැක. යළි ගෝටා ගෝ ගම සැණකෙළි උද්ඝෝෂණයට පණදීමට හැකි වේදැ’යි යන්න බලා සිටිය යුතු තත්ත්වයකි. ඒ වෙනුවට රටපුරා ඉන්ධන පිරවුම් හල් අසල ආතතීන් හා උද්ඝෝෂණ මැයි මාසය තුළ වර්ධනය විය. එසේම ජාතික දේශපාලනයේ නැවත අමාත්‍ය මණ්ඩල මාරු කිරීම්, පාර්ලිමේන්තු බහුතරය, ජාත්‍යන්තර ණය කලමනාකරණය හා ව්‍යවස්ථා සංශෝධන වැනි මාතෘකා වෙත ඉතා නිර්මාණශීලීව අවධානය මාරු කර ඇත. නිර්පාක්ෂික, අරාජික ගෝටා ගෝ ගම ඇල් මැරී, එහි යාම චාරිත්‍රයක් වූ සුළු පිරිසක් පමණක් දැන් ඉතිරි වී ඇත. රනිල් අගමැති වීමත් සමග සන්නස්ගලගලට, මෝටිවෙෂන් අප්පච්චිට, රැට්ටාට විවිධ නීතිමය හිර කිරීම් වක්‍රව හා සෘජුව ද ආරම්භ වී ඇත. ඒ අතරේ දින පනහ සැමරුම සැලකුව ද අප්‍රේල් මස තිබූ උද්‍යෝගය, නිර්මාණශීලීත්වය හෝ පිරිස් ප්‍රමාණයේ පැහැදිලි අඩුවක් තිබේ. සැපයුම් පහසුකම් අඩු වී ඇත.

දක්ෂිණාංශික ජනප්‍රියවාදී ආණ්ඩුවකට එරෙහි දක්ෂිණාංශික ජනප්‍රියවාදී නැගිටීමක් අප්‍රේල් නැගිටීම් ලෙස සිදු විය. ගෝටා ගෝ ගම යනු නිශ්ක්‍රීය – අරගලයකින් තොර අරගලයකි. ඔවුන් දේශපාලන නායකත්වය වෙනුවට නිර්පාක්ෂිකත්වය යෝජනා කරති. ‘පංතිය’ වෙනුවට ‘මහජනයා’ හෝ ‘පුරවැසියන්’ යෝජනා කරති. සටන්කාමීත්වය වෙනුවට සාමකාමී බව යෝජනා කරති. පක්ෂ වෙනුවට යහපත් පුද්ගල ප්‍රතිරූප යෝජනා කරති. දේශපාලනික විප්ලවයක් වෙනුවට සංස්කෘතික ආදරය යෝජනා කරති. ජාත්‍යන්තරවාදය වෙනුවට ජාතිකත්වය යෝජනා කරති. මේ යුගයක අවසානයක්ද? නැත්නම් ජාතිය මෙන්ම දෘෂ්ටිවාදයක් ලෙස ජනප්‍රියවාදය ද පාලකයන්ගෙන් මහජනයා වෙත මාරු වීමක්ද? එක් දෙයක් තහවුරුය. මොවුන් දේශපාලනයෙන් තොර දේශපාලනයක් කරා ගමන් කරමින් සිටිති. අරගලයක් වෙනුවට චාරිත්‍රයක් ඉටු කරමින් සිටිති.

බූපති නලින් වික්‍රමගේ

2022 ජූනි 03

Social Sharing
නවතම විශේෂාංග