පොල්ලකින් පහරදී පුද්ගලයෙකුගේ කකුලක් කැඩු SI ට ඒරෙහි නඩුව විභාගයට අවසර

හුංගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට පොල්ලකින් පහරදී බරපතල තුවාල සිදු කිරීම සම්බන්ධව හුංගම පොලීසියේ උප පොලිස් පරීක්ෂක වරයෙකුට ඒරෙහිව ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් නඩුව ඉදිරියට ගෙනයාමට අද (24) දින   ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසර ලබා දෙන ලදී.

2019 දෙසැම්බර් 31 දා හුංගම පැවති සංගීත ප්‍රසංගයක් නැරඹීමට පැමිණි විජේසේකර ආරච්චිලගේ ශාන්ත නැමැත්තාට එවකට හුංගම පොලීසියට අනුයුක්තව රාජකාරී කරනු ලැබූ උප පොලිස් පරීක්ෂකවරයෙකු ඇතුලු තවත් පොලිස් නිළධාරියෙකු විසින් පොල්ලකින් පහරදී ඔහුගේ කකුලේ අස්ථි බිඳ දැමීමක් සම්බන්ධයෙන් අද ශ්‍රේෂ්ඨාධිකයේ විභාග වූ නඩුවේ දී, බැලූ බැල්මට පෙනෙන මූලික අයිතිවාසිකම් කඩවීමක් ඇති බව තීරණය කල ශ්‍රේෂ්ඨාධිකරණය එම නඩුව  ඉදිරියට ගෙනයාමට අවසර දුන්නේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු විජිත් මලල්ගොඩ, මුර්දු ප්‍රනාන්දු, සහ එස්. තුරෙයිරාජා මහත්ම මහත්මීන් ඉදිරියේ අද දින මෙම නඩුව විභාගයට ගත් අවස්ථාවේදී නඩුවේ පලමු වග උත්තරකරුවන දැනට අගමැති ආරක්ෂක අංශයේ සේවයේ නියුතු උප පොලිස් පරීක්ෂක චතුරංග යන අය ට එරෙහිව පහරදීම, නීතියේ නිසි ක්‍රියාදාමය නොතැකීම සහ නීති විරෝධී අත් අඩංගුවට ගැනීම යන චෝදනා යටතේත්, තංගල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයා, තංගල්ල පොලිස් අධිකාරිවරයා සහ පොලිස්පතිවරයාට නීතියේ නිසි ක්‍රියාදාමය ක්‍රියාත්මක නොකිරීම යන චෝදනාව යටතේත්, හුංගම පොලිස්ථානධීපතිවරයාට එරෙහිව නීතිවිරෝධී අත් අඩංගුවට ගැනීම සහ නීතියේ නිසි ක්‍රියාදාමය ක්‍රියාත්මක නොකිරීම යන චෝදනා මත නඩුව ඉදිරියට ගෙනයාමට අවසර දුන්නේය.

පෙත්සම්කාර විජේසේකර ආරච්චිලගේ ශාන්ත යන අයට නීතිඥ දර්ශිකා නයෝමි උඩුගම මෙනවියගේ උපදෙස් මත ඔෂිනි රුබේරු මෙනවිය සමග උපුල් කුමරප්පෙරුම පෙනී සිටි අතර පලවන වග උත්තරකරු වෙනුවෙන් යොහාන් පීරිස් මහතා සමග ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතාද සෙසු වග උත්තරකරුවන් වෙනුවෙන් ජ්‍යේෂ්ඨ රජයේ අධිනීතිඥ ගංඟා වාකිෂ්ඨාඅරච්චි මහත්මියද පෙනී සිටියහ.

Social Sharing
නවතම