යෝ යෝ නම් කුමාරයා ගේ කතාව…!

පසුගිය මැයි 25 දවසේ රෑ 11.47ට සිංගප්පූරු ගුවන් සේවයේ SQ 468 යානය කටුනායක ගුවන්තොටට ආවා. මේ පැමිණීම විශේෂයි. ඒකට හේතුව තමයි විකට ඇඳුම් තරඟයකට යනවා වගේ වෙස් අරගෙන හිටපු දෙන්නෙක් මේ යානයෙන් කටුනායකට ගොඩබැසීම. ඇත්තටම කවුද මේ? මෙහෙම හොර පූසෝ දෙන්නෙක් වගේ රටට රිංගුවේ කවුරුන්ද?

ඒ වෙන කවුරුත් නෙවෙයි හිටපු ජනාධිපති දෙටු පුත් යෝෂිත රාජපක්ෂ. අපි එයාට කියන්නේ යෝ යෝ කියලා. යෝ යෝ සහ යෝ යෝ ගේ ප්‍රිය බිරිඳ නිතීෂා ජයසේකර තමයි මෙහෙම ආවේ. ඔවුන් රටට රිංගුවේ ගුවන් තොටුපොළ විශේෂ පර්‍යන්තයක් හරහා ය. ඒ වැඩේට ගුවන්තොටුපළ ප්‍රධානියා මේජර් ජෙනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි උදව් කරලා තියෙනවා.

මෙම දෙන්නා පසුගිය මැයි 09 දවසේ තමයි ඕස්ට්‍රේලියාව බලා ගියේ, සිංගප්පූරුව හරහා. මැයි 9 දවසේ උදෑසන 12.50 ට සිංගප්පූරු ගුවන් සේවයට අයත් SQ 469 කියන ගුවන් යානයෙන්, ඔවුන් සිංගප්පූරුවට ගියා කියලා තමයි අපි දන්නේ. යෝ යෝ මේ කියන දවසේ දවල් වෙනකොට වෙන්න යන වැඩේ දැනගෙන රට ගියා ද කියන්න අපි දන්නේ නෑ. ඔහු අග්‍රාමාත්‍ය කාර්‍ය මණ්ඩල ප්‍රධානියා නෙව.

ඉතිං ගිය පයින්ම ආයිත් මේ දෙන්නා ලංකාවට ආවේ ඇයි? ඒකටත් හේතුව ලංකාව පුරාම විතරක් නෙවෙයි ලෝකය පුරාම ඇවිලිලා යමින් තියෙන ගෝල්ෆේස් අරගලය. ඒ අරගලයේ රස්නය. මේ දෙන්නා ඕස්ට්‍රේලියාවට ආවා කියලා දැනගත්ත ගමන් ඕස්ට්‍රේලියාවේ ඉන්න ශ්‍රී ලාංකිකයෝ මේ දෙන්නට නීති මගින් කටයුතු කරන්න කියලා ඔස්ට්‍රේලියානු රජයට බලකලා. මේ බලකිරීමත් සමග වෙන්න පුලුවන් මේ යුවල නැවත ලංකාවට එන්නේ. ඇත්තටම ඔවුන් තවදුරටත් ඕස්ට්‍රේලියාවේ හිටියා නම් ඔවුන්ට විශාල අකරතැබ්බයකට මුහුන දෙන්න වෙනවා. ඒකයි මේ ගිය පයින්ම ආපස්සට පැමිණීමේ කතාව.

අනික් පැත්තෙන් ලෝකේ කොහේ ගියත් වැරැද්දක් කරලා තියෙනවා නම් අද බේරිලා ඉන්න බැහැ කියන සංඥාව මේක හරහා ලැබෙනවා. යෝ යෝ දන්නවා ඇතිනේ තමන්ට විරුද්ධව නැඟෙන චෝදනාවල ඇත්ත නැත්ත, ඉතිං ඔහු තීරණය කළා වෙන්න පුලුවන් ලංකාවට ඇවිත් ආරක්ෂා වෙන්න.

ඇත්තටම යෝෂිත රාජපක්ෂ කියන්නේ කවුද? මට හිතෙන විදිහට මහින්ද රාජපක්ෂ කියන රජ්ජුරුවන්ගේ පවුලට හිටිය පිස්සුම පුතා තමයි යෝෂිත. ඒක නිසා වෙන්න ඇති ආදරේට යෝ යෝ කියලා කියන්නේ. විකිපීඩියා කියන විදිහට 1988 ජූනි 12 තමයි යෝ යෝ ඉපදිලා තියෙන්නේ. එහෙම බැලුවාම දැන් වයස 34යි. මේ වයසට මේ කොල්ලට විරුද්ධව නැඟෙන චෝදනා ටික දිහා බලන්න කෝ, එතකොට මේ පිස්සුවේ තරම ගැන හිතාගන්න පුලුවන්.

යෝ යෝ තමයි පවුලේ රග්බි ක්‍රීඩකයා. යෝ යෝ ගේ ඉස්කෝලේ තමයි සෙන් තෝමස් එක. සෙන් තෝමස් රග්බි අස්සේ යෝ යෝ ගේ නම එච්චර කියවුනේ නැති වුණාට 2005න් පස්සේ ලංකාවේ රග්බි පුරාණය කවුරුහරි ලීවොත් යෝ යෝ ඒකේ ප්‍රධානම චරිතයක්. එකපිට එක ජයග්‍රහන ගත්ත නුවර රග්බි කණ්ඩායම නාවික හමුදා රග්බි කණ්ඩායම ඉස්සරහා පාරාජයට පත්වෙන්නේ යෝ යෝ ගේ රග්බි ආගමනය එක්ක. මහින්ද රාජපක්ෂ පවුලේ දරුවෝ තුන් දෙනාම හරි හරියට රග්බි ගැහුවා. ඒ අස්සෙන් දිලිසුනේ යෝ යෝ කීව්වොත් ඒක හරි.

මේ රග්බි පුරාණය අස්සේ තමයි වසීම් තාජුඩීන්ගේ නමත් ලියවෙන්නේ කියන එක අමතක කරන්න එපා. වසීම් හැව්ලොක්ස් කණ්ඩායමේ නායකයා. ඒ විතරක් නෙවෙයි ලංකා ජාතික කණ්ඩායමේ උප නායකයා. තාජුඩීන් ඝාතනය සහ රාජපක්ෂ පවුල අතර සම්බන්ධය ගැන පහුගිය කාලේ දිගටම කතාවුණා. සීඅයිඩීය මේ ඝාතනය ගැන පරීක්ෂණ කරලා ඒවා මඟ නතර වෙලයි තියෙන්නේ. මේ ඝාතන සැකය අස්සේ යෝෂිත රාජපක්ෂගේ නමත් කියවෙන බව අමතක කරන්න එපා. නාමල් රාජපක්ෂ කියන විදිහට වසීම් කියන්නේ මේ රජ සොහොයුරන්ගේ පාසල් මිත්‍රයෙක්. ඒ මිත්‍රත්වය සලකලාවත් තාජුඩීන් ඝාතනය ගැන සොයපු නැති එකනම් ඉතිං සැකසහිතයි..!

යෝ යෝ ගේ නාවික පුරාණය තමයි මරු..!. මහින්ද රාජපක්ෂ ජනාධිපති වෙලා ඉන්න කාලේ මේ පවුලේ සාමාජිකයන් මේ රටේ ජීවත් වුණේ කොහොමද කියලා කවුරු හරි රීසර්ච් එකක් කරනවා නම් ඒකට හොඳම තැන තමයි යෝෂිත රාජපක්ෂගේ නාවික හමුදා ජීවිතය ගැන හොයන එක.

එන්. ආර්. එක්ස්. 2431 අංකයෙන් යෝෂිත රාජපක්ෂ නාවික හමුදාවට බැඳෙන්නේ 2006 දෙසැම්බර් 14. මේක මරු කතාවක්. යෝෂිතට නාවික හමුදාවට යන්න ඕනී උනාම මිනිහා ඒක තාත්තට කියන්න ඇති. ඒත් ඉතිං කැඩෙට් නිලධාරියෙක් විදිහට නාවික හමුදාවට එකතුවෙන්න මිනිහට අවස්ථාවක් නෑ. මොකද මිනිහා සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ කියන විභාග දෙකෙන්ම අවශ්‍ය සුදුසුකම් සපුරලා නෑ. මොකද නෞක කැඩෙට්වරුන් බඳව ගන්න පටිපාටියට මිනිහගේ රිසල්ට් එක අහුවෙන්නේ නෑ. උසස් පෙළ විද්‍යා සහ ගණිත විෂයන්ගෙන් විතරයි ඒ වෙනකොට කැඩෙට් නිළධාරීන් ගන්නේ. යෝ යෝ උසස් පෙළට කරලා තියෙන්නේ කලා විෂ්‍ය‍යන්.

ඉතිං දැන් මොකද කරන්නේ? තාත්තේ මට යන්න ඕනී මයි කියලා කීවට පස්සේ. ඊටපස්සේ පාඨමාලා අංක 45ට බඳවා ගන්නකොට ඒ තිබුණ පටිපාටිය වෙනස් කරලා තමයි ගැසට් කරන්නේ. මරු දැන්වීමක් ඉරිදා පත්‍රවලට යවනවා. ඒ 2006 ඔක්තෝම්බර්. ඒ දැන්වීමේ විදිහට නාවික හමුදාවේ විධායක අංශයට කැඩෙට් නිලධාරී‍යෙක් විදිහට යන්න අ.පො.ස උපෙළ විභාගයෙන් විද්‍යා, ගණිත, වාණිජ හා කලා විෂය ධාරා යටතේ සාමාර්ථ දෙකක් තිබුණාම ඇති. අ.පො.ස සාපෙළ ගණිතය, විද්‍යාව, ඉංග්‍රීසි එක්ක සිංහල හෝ දෙමළ යන විෂයන් සඳහා සම්මාන සාමාර්ථ 6ක් තිබුණාම ඇති. අමතක කරන්න එපා යෝ යෝ ගත්තට පස්සේ ආයෙත් අර පරණ ක්‍රමයටම තමයි බඳවා ගැනීම් සිද්ධ කරන්නේ.

මුලින්ම කිව්වා වගේ යෝ යෝ කලා විෂය ධාරාවෙන් තමයි උසස්පෙළ කරන්නේ. මිනිහට ඒ විභාගෙට සාමාන්‍ය සාමාර්ථ දෙකක් තමයි ගන්න පුලුවන් වෙන්නේ. යහපාලනය ආවට පස්සේ මේ නාවික පැටිගිරිය ගැන පරීක්ෂණ මණ්ඩලයක් කරුණු හොයනවා මතක ඇතිනේ. ඒ හෙවිල්ලෙදි යෝෂිතගේ පෞද්ගලික ලිපිගොනුව පරීක්ෂා කරලා තියෙනවා. ඔහුට අපොස සාපෙල විභාගයේ සිංහල වලට සම්මාන සාමාර්ථයක් තිබිලා නෑ 2003ට අදාළව. එතනත් කොස්සක්. බී සාමාර්ථයක් තිබිලා තියෙන්නේ 2004 වසරේ විභාගයට. හැබැයි ඉතිං මේ රිසල්ට් වලට අදාළ විභාග සහතිකත් ඒ ෆයිල් එකේ තිබිලා නෑ. නිකං ඇප්ලිකේෂනයක් විතරයි තිබිලා තියෙන්නේ. පරීක්ෂණ මණ්ඩලය කිව්වාම මුල් සහතික පොටෝ කොපි හරි ඉදිරිපත් කරන්න කියලා, මිනිහා කියන්නේ තමන් මුල් ඒවා නාවික හමුදාවට දුන්නා දැන් තමන් ළඟ පොටෝ කොපියක්වත් නෑ කියලා. ඔන්නොහොම තමයි මේ කුමාරයා කැප්ටන් හැඩොක් වගේ නාවිකයෙක් වෙන්නේ. නාවික හමුදාව කියන්නේ සෑහෙන්න පිළිගැනීමක් තියෙන තැනක්.

යෝ යෝ බැඳුන 45 වැනි කණ්ඩායම 2009 මාර්තු 07 තමයි පුහුණු පාඨමාලාව අවසන් කරලා විසිර යන්නේ. ඒ උත්සවයේදී ආස්චර්‍යයක් වෙනවා. පාඨමාලාව පටන් ගත්තට පස්සේ රටේවත් හිටපු නැති යෝ යෝ ට best midshipman කියන සම්මානය හම්බ වෙනවා. ලංකාවේ ඉදලා අමාරුවෙන් ට්‍රෙන් වෙච්ච නෞකයින්ට තරු පේන්න ඇති.

ඇත්තටම ඇයි යෝෂිත රටේ හිටියේ නැත්තේ? ඒ මිනිහට කිසිම සුදුසුකමක් නැතිව වුණත් එක පිට එක අන්තර්ජාතික නෞක පුහුණු පාඨමාලාවන් හම්බවුණ නිසා. හම්බවෙනවා නෙවෙයි රජයෙන් ගෙවලා යවනවා. අයියෝ සල්ලි කියලා තමයි කියන්න වෙන්නේ. මිනිහා ඒ එක පාඨමාලාවක් වත් හරියට සම්පූර්ණ කරන්නෙත් නෑ. මිනිහා සැපක් තමයි අරගෙන තියෙන්නේ. මෙහෙම සැප ගත්ත පවුලක් මීට කලින් ලංකාවේ හිටියද කියලා පොඩ්ඩක් සොයලා බලන්න.

2007 ජනවාරි 07 තමයි මිනිහා මුලින්ම නාවික පාඨමාලාවකට රට යන්නේ. නාවික හමුදාවට බැඳිලා මාසයක් නෑ. ලොතරැයියක් ඇඳුනා වගේ තමයි. යන්නෙත් ලේසි පහසු තැනකට නෙවෙයි. බි‍්‍රතාන්‍යයේ Britannia Royal Naval College Dartmouth එකට තමයි යන්නේ. රෝයල් නාවල් යන්ග් ඔෆිසර්ස් තමයි පාඨමාලාව. මේක ශිෂ්‍යත්වයක් නෙවෙයි. රජයෙන් ගෙවලා තමයි යවන්නේ. 2007/12/ 07 තමයි මේ පාඨමාලාව හරිනම් ඉවර වෙන්න තිබිලා තියෙන්නේ. ඒත් මේක නියමිත ක්‍රමයට අවසන් කරලා නෑ කියලා තමයි කතාව. ඊටපස්සේ එතනම තවත් පාඨමාලා දෙකකට මිනිහා යනවා. ඒත් ඉතිං රජයේ වියදමෙන් තමයි. ඊටපස්සේ 2008/05/15 උප ලූ‍තිනන් පාඨමාලාවකට යනවා. මේ පාඨමාලා තුනම යෝෂිත රාජපක්ෂ කරන්න ඕනී ඒවා නෙවෙයි, හැබැයි මේ පාඨමාලා සියල්ලටම ආරක්ෂක අමාත්‍යාංශයේ අනුමැතිය හම්බවෙනවා.

මේවා ඉවරවෙලා ලංකාවට ආවට පස්සේ 2009 ජනවාරි 26 සයුර නැවට දානවා එතන ජනවාරි 30 වෙනකම් ඉන්නවා. ඒ උප ලුතිනල් නිළය වෙනුවෙන්.
ඊට පස්සේ ඉතිං 2009/03/07 රන් අසිපතත් අරගෙනම විසිර යනවා. කොල්ලා කොච්චර වාසනාවන්තයිද? ඒකනේ කුමාරයෙක් කියලා අපි කියන්නේ.

යෝ යෝ ගේ සැපෙන් සතුටින් ජීවිතය මෙතනින් කෙළවර වෙන්නේ නෑ. ඊටපස්සේ කොල්ලා 2009/12/29 ඉඳලා 2010/08/31 වෙනකම් ඉන්නේ යුක්රේනයේ නැෂනල් යුනිවර්සිටි ඔෆ් ඩිෆෙන්ස් වල. ඒ මොකටද? පස්චාත් උපාධියකට. ශිෂ්‍යත්ව නෙවෙයි. මැදමුළනේ වළව්වෙනුත් නෙවෙයි. රජයෙන් තමයි වියදම්. ඊට පස්සේ මිනිහා ඩොක්ටර් ඔෆ් ෆිලෝෂොපි පාඨමාලාවක් කරනවා යමින් එමින්. 2011/08/01 ඉඳලා 2014/03/20 වෙනකම්. හැබැයි මේ කිසි පාඨමාලාවක් හරියට අවසන් කළා කියලා නම් තොරතුරු නෑ. සේරම අන්තිමට ඩේසි ආච්චිගේ මැණික් මල්ලේ කතාව වගේ තමයි.

මෙහෙම කෙළිලොල් ජීවිතයක් ගතකරපු යෝ යෝ ට රක්ෂිත බන්ධනාගාරයට යන්න වෙනවා. ඒ මුදල් විශුද්ධිකරණය යටතට වැටෙන වරදක් කරලා කියන චෝදනාව එක්ක. එෆ්සීඅයිඩීය කරපු මේ සිද්ධියට අදාළ පරීක්ෂණ වලින් එළියට එන කතාව යෝ යෝ ට තවත් සමාජ තත්ත්වයක් දෙනවා. එතනින් පස්සේ අපි යෝ යෝ ව දකින්නේ සී එස් එන් කියන රූපවාහිනී නාලිකාවේ අයිතිකාරය විඳිහට.. රුපියල් මිලියන 234ක් එහෙට මෙහෙට කරලා සූදු ගහලා තමයි මේ නාලිකාව යෝ යෝ ලා පටන් අරගෙන තියෙන්නේ. ඒක කියන්නේ අපි නෙවෙයි එෆ්සීඅයිඩීය.

එකම අවස්ථාවක රගර් ක්‍රීඩකයෙක් දීප්තිමත් නෞකයෙක් ජනාධිපති ආරක්ෂකයෙක් දක්ෂ ව්‍යාපාරිකයෙක් හොඳ ප්‍රේමවන්තයෙක් විදිහට දිලිසුන යෝ යෝට 2016/02/28 වැදගත් දවසක්. ඒ මිනිහගේ නාවික හමුදා තනතුර අත්හිටුවන නිසා. හැබැයි ඉතිං පස්සේ හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන ඒ දවසේ ඉඳම මිනිහව නැවත සේවයේ පිහිටුවනවා.

මෙහෙම හිටිය කොල්ලට අද තමන්ගේ රටට එන්න වෙලා තියෙන්නේ වෙස් අරගෙන. ඕස්ට්‍රේලියාව වගේ රටකවත් ජීවත් වෙන්න බැරිවෙලා තියෙනවා. ඒ උඩ විස්තර කරපු සැප ජීවිතේ ප්‍රතිපළය තමයි. මේ රට හෙට නිවැරදි මඟට වැටුණොත් යෝ යෝ ළඟේ ජීවන මාර්ගය වැටිලා තියෙන්නේ වැලිකඩ හරහා කියන එක කියන්න පුලුවන්.

 

කේ.සංජීව

Social Sharing
නවතම විශේෂාංග