“සණස” ලොක්කෝ හිතාමතා බැංකුව වට්ටන බවට චෝදනා!

සණස සංවර්ධන බැංකුවේ කළමණාකාරීත්වය හිතාමතාම බැංකුව පරිහානියට පත් කරමින් සිටින අතර එයට එරෙහි වන වෘත්තිය සමිති නායකයන් සේවයෙන් පහ කිරීමේ නින්දිත උත්සාහයක නිරත වන බවට දිවයිනේ ප්‍රමුඛතම බැංකු සේවක සංගමයක් චෝදනා කරයි.

සිය මුලික සමුපකාර අරමුණුවලින් සම්පුර්ණයෙන්ම බැහැරව එහි සන්තකය මහා පරිමාන ව්‍යාපාරික ප්‍රජාව වෙත නතුකර දීමේ චේතනාවෙන් අයථා ගනුදෙනු, දුෂණ හා වංචා රැසක් සණස සංවර්ධන බැංකුවේ කළමනාකාරීත්වය සිදු කරමින් සිටින බවයි ලංකා බැංකු සේවක සංගමය පවසන්නේ.

ඒ අතර සේවකයන්ට ගෙවිය යුතු ගිවිසුම්ගත දීමනා ගෙවීම වසර ගණන් තිස්සේ මග හරිමින් සිටින බව ලංකා‌ බැංකු සේවක සංගමය ජුලි 22 බදාදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක දැක්වේ.

ලංකා බැංකු සේවක සංගමයේ ප්‍රධාන ලේකම් රන්ජන් සේනානායකගේ අතිසනින් යුතුව නිකුත් කර තිබෙන එම නිවේදනය මගින් පෙන්වා දී ඇත්තේ සණස බැංකුවේ ඉහත ක්‍රියාවලියට සෘජුවම විරුද්ධ වන්නේ ලංකා බැංකු සේවක සංගමය පමණක් බැවින් බැංකුවේ කළමනාකාරීත්වය එහි පාලනාධිකාරිය නොමග යවමින් ලංකා බැංකු සේවක සංගමයේ සණස සංවර්ධන බැංකුව ශාඛාවේ වෘත්තිය සමිති නායකයන්ට, වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වල යෙදීම හේතුවෙන් දඩුවම් පමුණුවමින් ඔවුන් සේවයෙන් පහ කිරීමේ නින්දිත උත්සාහයක නිරතවී සිටින බවයි

“එම වෘත්තීය සමිති නායකයන් අතර ශාඛා සංගමයේ සභාපති, ජ්‍යෙෂ්ඨ උප සභාපති හා ක්‍රියාකාරී මධ්‍යම කාරක සභිකයකුද සිටිති.”

සමන්තුරේ ශාඛාවේ සේවයේ නියුතු සංගමයේ මධ්‍යම කාරක සභික අමිල සුනිමල් වෘත්තීය සමිති කටයුතු වල ක්‍රියාකාරීව නිරත වීම හේතුවෙන් දින 173 ක් තිස්සේ වැඩ තහනමට ලක් කර ඇති අතර අනෙකුත් නායකයන්ගෙන් නිදහසට කරුණු විමසා ඇති බව රන්ජන් සේනානායක මාධ්‍ය ආයතන වෙත නිකුත් කළ නිවේදනයේ වැඩි දුරටත් සදහන්ය.

මෙසේ වැඩ තහනමට ලක් කර සිටින අමිල සුනිමල් නැවත සේවයේ පිහිටුවන ලෙස බල කරමින් කිරුලපොන සණස සංවර්ධන බැංකුවේ ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටදී ජුලි 22 බදාදා උද්ඝෝෂණයක් පැවැත්වීමටත් ලංකා බැංකු සේවක සංගමය කටයුතු කර තිබේ.

Social Sharing
නවතම