පුදුම නීතිපති, රිමාන්ඩ් කරන්න ඕනී දේශබන්දු ට මාරුවක්

අපිට ඉන්නේ නියම නීතිපතිවරයෙක් ය. මහජන ආරක්ෂාව පිළිබඳ ලේකම්ට විරුද්ධව උසාවියට අපහාස කිරීමේ චෝදනා ගොනුකරන්න යැයි අගවිනිසුරු නීතිපතිට කියනවිට මේ නීතිපති කළේ වහාම ලේකම්වරයා කැඳවා ඔහු අගවිනිසුරු හමුවට ගෙනගොස් අදාළ සිදුවීම ගොඩින් බේරාදීමය.

මේ ඔහුගේ එවැනි පන්නයේ දෙවෙනි විසඳුමයි. බස්නාහිර පළාත භාර ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා වන දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගෙන උසාවියට දාන්න යැයි උපදෙස් නොදෙන මේ නීතිපති, මෙවර පොලිස්පතිට උපදෙස් ලබාදී ඇත්තේ මැයි 09 දා ප්‍රහාරය පිළිබඳව සාධාරණ පරීක්ෂණයක් සඳහා මේ පුද්ගලයා වෙනත් පළාතකට මාරුකරන ලෙසය.

මැයි 09 වෙනිදා සිදුවූ ප්‍රචණ්ඩකාරී සිදුවීම් සම්බන්ධ විමර්ශනවලට අනවශ්‍ය ලෙස මැදිහත් වීම වැළැක්වීම, මෙම තීරණයේ අරමුණ බව ප්‍රකාශ වෙයි. පොලිස්පතිවරයා පසුගිය දා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ කියා ඇත්තේ දේශබන්දු තෙන්නකෝන් පසුගිය කාලයේ තමන්ගේ නියෝග කණකට නොගෙන ඉහළ දේශපාලන බලපෑම් මත කටයුතු කළ බවය.

මැයි 09 දා සිදුවීමේ ප්‍රධානම චූදිතයෙක් වන මේ පොලිස් නිළධාරියාට මෙසේ එහෙට මෙහෙට චක්කරම් පනින්න පුලුවන් වී තිබෙන්නේ ඔහු සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ අතර පවතින සමීප බැඳියාව නිසා ය. ඒ පිළිබඳව ඕනෑවටත් වඩා තොරතුරු ඇත.

මැයි 09 දා මෙම සිදුවීම පිළිබඳව පරීක්ෂණ භාරව කටයුතු කරන රාජපක්ෂ වළව්වේ වළං හෝදනු ලැබූ පොලිස් නිළධාරීන් ගැනද නීතිපතිවරයා මෙලෙසම හෝ කටයුතු කරනවා නම් එම පරීක්ෂණවල අනාගතයට එය හොඳ වනු ඇත..

කේ. සංජීව

Social Sharing
නවතම විශේෂාංග