රනිල්ට මුහුණ දීමට ගෝල්ෆේස් සූදානම්ද?

– දුලාන් දසනායක-

ගෝල්ෆේස් අරගලය ලංකාවේ වඩාත්ම දිග්ගැස්සුණු සාමකාමී සිවිල් අරගලය ලෙස ඉතිහාසගත වී ඇත. එය ආණ්ඩුවද විපක්ෂයද එපමණක් නොව ඇතැම් විට එම අරගලයට සම්බන්ධ වූ කණ්ඩායම්ද නොසිතූ ලෙස දීර්ඝ කාලයක් පවත්වා ගැනීමට හැකි විය.  එලෙස දීර්ඝ කාලයක් පැවතීම හේතු කොට ගෙනම ආණ්ඩුවේ අර්බුදය උත්සන්න වූ අතර ඒ මගින් ප්‍රාදේශිය අරගල මධ්‍යස්ථාන කිහිපයක්ද ස්ථාපිත කිරීමට හැකි විය.

ගෝල්ෆේස් අරගලයේ ප්‍රධාන සටන් පාඨය #GotaGoHome වුවද, එය සංකේතාත්මක බවත් එකී විරෝධ සටන් පාඨයේ ඊට වඩා බොහෝ දේ ගැබ් ව ඇති බවත් සමාජ ක්‍රමයේ වෙනසක්ද එහි ඇතුළත් බවත් ප්‍රකාශ කලෝ ගෝල්ෆේස් සටන් කාමීහුම වෙයි. එය එසේ වුවද අගමැති ලෙස රනිල් වික්‍රමසිංහ පත් වීමත් සමග පෙනෙන්ට තිබනේනේ ගෝල්ෆේස් සටන් බිම නැවතත් පටු ජනපති ගෙදර යැවීමේ සටන් පාඨයට පසු බසින බවත් හෝ එසේ නොමැතිනම් එවන් පසු බැස්මකට ඇද ගෙන යාමට කවුරුන් හෝ චේතනාන්විතව උත්සහ කරන බවක් පෙනේ.

ගෝල්ෆේස් අරගලයට මුල් කාලයේ උපහාසාත්මක කතා කිව් ජ.වි.පෙ දැන් ඔවුන්ගේ සුපුරුදු බසින් කියන්නේ මාළිගා කුමන්ත්‍රණ සටකපට කුමන්ත්‍රණ මගින් අගමැති පත්වීම අනුමත නොකරන බවත් ඔවුන් අරගලයේ සටන් පාඨය වන ජනපති ගෙදරයැවීම සටන් පාඨය පාවා නොදෙන බවත්ය. සජිත් ප්‍රේමදාස විපක්ෂ නායකයාද තමන් අරගලයට අවංක නිසා අගමැතිධූරය භාර ගැනීම ප්‍රතික්ෂේප කල බවත් ජනපති ඉල්ලා අස්වීම ප්‍රධාන ඉල්ලීම බවත් කියයි. ගෝල්ෆේස් අරගලය මේ තාක් දුරට පටු කිරීමට මේ විපක්ෂයේ නායකයන්ට අවස්ථාවක් දුන්නේ කුමන අරගලකරුවෙක්දැයි සොයා ගැනීම වටියි. කෙසේ හෝ මේ විපක්ෂයේ නායකයන් යන මග යන ගෝල්ෆේස් අරගලයේ එක්තරා සටන් කරුවන් පිරිසක්ද ගෝල්ෆේස් අරමුණු පටු කිරීමට උත්සහ කරයි. එනමුත් ඉතා වැදගත් ලෙස ගෝල්ෆේස් යෝජනා ලෙස යෝජනා අටක් එළි දක්වමින් එකී යෝජනා නව අගමැතිවරයාට ඉදිරිපත් කරන බවද එකී යෝජනා 8 එළි දැක්වූ ගෝල්ෆේස් මාධ්‍ය හමුවේදී ප්‍රකාශ කිරීම අරගලයේ අරමුණු පුළුල් කිරීමට ගත් ප්‍රයත්නයක් ලෙස පෙනේ.

දැන් කෙසේ හෝ අග්‍රාමාත්‍යධූරය රනිල් වික්‍රමසිංහ විසින් භාර ගෙන ඇත. ඔහු විසින් මේ අවස්ථාවේදී මෙම ධූරය භාර ගැනීම හුදු අවස්ථාවාදී යමක් නොව මෙය ආර්ථික කාල බෝම්බයක් භාර ගැනීමක් ලෙස කිව හැක. නිසි කළමණාකරිත්වයකින් යුතුව නිෂ්ක්‍රීය කර නොගතහොත් මේ ආර්ථික කාල බෝම්බය පුපුරා ඔහුද විනාශ වනු ඇත.

රනිල් වික්‍රමසිංහගේ පත් කිරීමත් සමග ගෝල්ෆේස් අරගලකරුවන් යැයි කියන ඇතැම් පිරිස් අතිශයින් කලබල වී ඇති බව හොදින්ම පෙනේ. අරගලය හා අගමැති පත්කිරීම අතර සම්බන්ධයක් ඉතා ඕනෑකමින් ඇති කර ගනිමින් විරෝධයක් සැකසීමට ඇතැමුන් පියවර ගනිමින් සිටියි. අරගලයේ අරමුණ එක අතකින් ජනපති ඉල්ලා අස් වීම නම් සිදු කල යුතු වන්නේ කුමන අගමැතිවරයකු පත් කලද ජනපතිට ඉල්ලා අස්වෙන ලෙස තවත් ශක්තිමත්ව බලපෑම් කිරීමයි. අගමැති වටේ කැරකීම කිසිදු තේරුමක් නොමැත. නොඑසේ නම් ගෝල්ෆේස් අරගලයේ පුළුල් අරමුණු වෙත යමින් යටකී ඔවුන්ගේ යෝජනාවලියේ පළමු ඉල්ලීමට ජනපතිට කරන ගමන් ජනපති බලතල කප්පාදුව, සමාජ ආරක්ෂණ දැලක් සැකසීම, වගවීම් සහිත පාලන ක්‍රමයක් ඇති කිරීම වැනි ඉල්ලීම් ඇතුළු ඉතුරු ඉල්ලීම් 7 සදහා අගමැතිට බලපෑම් කිරීමයි. නමුත් සිදු වන්නේ එය නොව ආයාසයෙන් රනිල් විරෝධයක් සැකසීමට උත්සහ කිරීමයි.

මේ රනිල් විරෝධය ගෝල්ෆේස් අරගලයට ඇටවූ දේශපාලන උගුලකි. උගුල ඇටවූවන් කවුරුන් වෙතත් එක්කෙනා පසු පස එක්කෙනා මේ උගුලට හසුවද්දී ඇජෙන්ඩා නොමැති නිර්පාක්ෂික සටන්කරුවන් උගුලේ නොවැටී සිටීම භාග්‍යයක්. රනිල් විරෝධය වැනි පටු සටන් පාඨයකට නොවැටී ඉහත ඔවුන්ම සකස් කලා යැයි කියන යෝජනා 8 ක්‍රියා කරවා ගන්නා මට්ටමට සටන තියුණු කරන්නේ නම් ගෝල්ෆේස් අරගලය වඩා තියුණු වනු ඇත. විශේෂයෙන් ජනාධීපති බලතල කප්පාදු කර පසුව විධායක ජනාධිපතික්‍රමය අහෝසි කරන බලපෑම වඩා තියුණුව අරගලකරුවන්ට කල හැකි නම් මෙතෙක් කලක් කිසිවකුට කල නොහැකිව තිබූ කාර්යයක් කිරීමෙන් ගෝල්ෆේස් අරගලය ඉතිහාසගත වනු ඇත. රනිල් විරෝධය ඉස්මතු කිරීමෙන් සිදු වන්නේ ඉහත ප්‍රතිසංස්කරණ සිදු කිරීමට යොමු වී සිටින රනිල් ඉතිහාසගත වීමයි.

රනිල් මහින්දගේ නොදියුණු උපක්‍රම මගින් අරගලය හා ගනුදෙනු නොකරන බව දැන් පැහැදිලිය. ආන්ඩුවේ අනවශ්‍ය නොදියුණු උපක්‍රම නිසාම අරගලයට ශක්තිය ලැබුණි. අරගලයට යෝධ බල යෝධ ශක්තිය ලැබුණේ මහින්ද රාජපක්ෂගේ අරලිය ගහ මන්දිරයේ චණ්ඩින්ගේ පහර දීමෙනි. එකී ශක්තිය දිගුකාලීනව පවත්වා ගැනීමට අරගලකරුවන් දේශපාලනික විය යුතුය. එක එක්කෙනාගේ දේශපාලන ඇජෙන්ඩා වලට යටවීමෙන් සිදු වන්නේ අරගලය අදේශපාලනික වීමය. අරගලයේ අවස්ථා අහිමි කරගැනීමය.

අනවශ්‍ය රනිල් විරෝධයෙන් ඔද වැඩුනු අරගලකරුවන් කීපදෙනෙක් කඩුමුඩියේ ගොස් නෝඩීල්ගමක් අරලිය ගහ මන්දිරය ඉදිරිපිට සැකසීය. එය දියාරු වී රනිල් විරෝධී සිරස ප්‍රචාරක මෙහෙයුමක් බවට පමණක් එය පත් විය. තවත් කීපදෙනෙක් රනිල්ගේ නිවෙස ඉදිරිපිට උද්ඝෝෂණය කළහ. එයටද වෙච්ච දෙයක් නැත. දැන් නැවතත් ඒ සටන්ද ගෝල්ෆේස් පිටියටම පසු බැස ඇත.

දැන් රනිල් කියන්නේ ගෝටාගෝගමට අවශ්‍ය පහසුකම් සදහා කමිටුවක් පත් කරන බවය. මීට පසු ගෝටාගෝගමට නානාවිධ පහසුකම් ලැබීමට නියමිතය. ඉන්පසු අරගලකරුවන් සමග සාකච්ඡා කිරීමටද කණ්ඩායමක් යෙදවීමය. දැන් මේ වන විටත් අරගලකරුවන් යැයි කියා ගන්නා කණ්ඩායමක් පැමිණ සජිත් සමගද සාකච්ඡා කරන ලදී. එසේ නම් තව කණ්ඩායමකට රනිල් සමගද සාකච්ඡා කල හැක. ඉන් පසු තවත් කණ්ඩායමකට ඔය අපේ අය නෙමේ කියන්නට පුළුවන. දැන්ද මෝටිවේෂන් අප්පච්චි, පානදුරේ ලාල් සිදුවීම් වැනි සිදුවීම් හරහා එයා අපේ මෙයා අපේ සිදුවීම් දැකගත හැකිය.

ඉන් පසු සිදු වන්නේ අරගලයේ ඉල්ලීම් අනුව අගමැති ලෙස මට කළ හැකි දේ යැයි කියමින් ජනපති බලය කප්පාදු කරන වගවීමක් සහිත පාලන ක්‍රමයක්ද, අයිඑම්එෆ් ආයතනයද පවසා ඇති පරිදි අරගලයේ ඉල්ලීමක්ද වන සමාජ සුරක්ෂිත දැල සැකසීමද රනිල් විසින් ඉටු කරනු ඇත. එපමණක් නොව රනිල් ඔය කොස් හෝ මේ අරගලයේ සිටින කණ්ඩායම් සොයා ගෙන පත් කිරීමට නියමිත කමිටු වලටද ඇතුළත් කර ගනු ඇත. එසේ නොවුනද රනිල් ඒ කමිටු වල සාමාජිකත්වය ගන්න යැයි තරුණයන්ට ආරාධනා කරනු ඇත. සජිත් මෙන්ම ගෝටා ඉන්නකම් ගන්නෙ නෑ වගේ දෙයක් කිවහොත් සජිත්ට අද අත් වී ඇති ඉරණමම අත්වීමටද ඉඩ ඇත. හුදු රනිල් විරෝධයට විවිධ ඇජෙන්ඩා මත අරගලය පසු බැස්සවීමෙන් සිදු වන්නේ අරගලයට අදාළ ඉතිහාසගත වටිනාකම මෙන්ම එහි නායකයන්ට සමාජ නායකයන් වීමේ විභවයද අහිමි වී යාමයි. එම නිසා අරගලය වඩා දේශපාලනිකව මූලෝපායික සටනක් රනිල් සමග කිරීමට සූදානම් විය යුතුය.

දැනටම යම් ආකාරයකට සමාජය පාලනය වීමක් රනිල්ගේ පත් කිරීම මගින් සිදු වී ඇත. මිනිස්සුන්ට යම් බලාපොරොත්තුවක් ඇති වී ඇති බව පෙනෙයි. මහජනයා රනිල්ට කැමති වුවත් අකමැති වුවත් පොදු ජනයාට බලාපොරොත්තුවක් ඇති වී ඇති බව නොරහසක්. මිනිස්සුන්ට සාමාන්‍ය පරිිදි ජීවත් වීමට නම් බලාපොරොත්තු අත්‍යවශ්‍යය. පසුගිය සමයේ සිදු වුනේ බලාපොරොත්තුද විනාශ වී යාමය.

රනිල්ගේ මේ ආගමනය සමග අරගලකරුවන් සූදානම් විය යුත්තේ තමන්ගේ අරගලය ජයග්‍රාහී තැනකට ගෙන යාමට මිස රනිල් විරෝධය වැනි පටු දේශපාලන සටන් පාඨයකට එය ලඝු කිරීම නොවේ. රනිල් සමග අරගලය ගනුදෙනු කල යුත්තේ වඩා දේශපාලනිකවය. එසේ නොවේ නම් අරගලය ඉදිරියට පැවතුණද පවතින්නේ පොදු මහජන සහයෙන් නොව හුදු දේශපාලන ඇජෙන්ඩා වල ශක්තියෙනි. වඩා දේශපාලනික හා මූලෝපායික සටනක් ප්‍රජාතන්ත්‍රවාදීය රනිල් සමග කරන්නට අරගලයට ශක්තිය ලැබුණහොත් එය රාජ්‍යයක් ලෙස යහපත්ය.

Social Sharing
නවතම විශේෂාංග