මේ යල කන්නයෙන් අපි යළි නැගිටිමු!..

ඉන්දියානු ණය යටතේ යූරියා මෙට්‍රික් ටොන් 65,000ක් අපේ රටට ඉතා කඩිනමින් ලැබෙන බව දැන් ස්ථිරයි. බොහෝ දුරට යම් සහනාධාරයකුත් ලැබේවි. අපේ සමස්ත ගොවිජනතාවට තියෙන්නේ මේ වෙලාවේ හැකි උපරිමයෙන් නැවත වගාවට යොමුවෙන එක. විශේෂයෙන් කුඹුරු පුරන් වෙන්න නොදී වගා කරන එක. මේ ලැබෙන පොහොර ටික අරපිරිමැස්මෙන් පාවිච්චි කරන්න ඕන. කොහොමහරි මේ යල කන්නය ඉවර වෙද්දී හාල් පිටරටින් ගේන එක නතර කරන තැනට වැඩ කරන්න අපි මහන්සි වෙන්න ඕන. මේ යලේදි වෙනදා කරපු විදිහට වගා කරන්න අපිට බෑ. ලැබෙන පොහොර ප්‍රමාණය වෙනදට වඩා අඩුවෙන්න පුළුවන්. ඉතිං කොහොමද මේ සීමිත සම්පත් ප්‍රමාණය කළමනාකරණය කරගන්නේ කියන එකයි මේ විස්තර කරන්නේ.

සමහර තැනක මේ වෙද්දී යල කන්නයේ වගාව පටන් අරන් වෙන්න පුළුවන්. ඒක ප්‍රදේශයෙන් ප්‍රදේශයට වෙනස්. වතුර ලැබෙන විදිහට තමයි ගොඩක් පැතිවල කුඹුරු වැඩ පටන් ගන්නේ. කොහොම වුනත් කන්නයට වගා කිරීම හරිම වැදගත්.  ඒ විතරක් නෙමෙයි යාය එකට වගා කරන්නත් ඕන. මේ පාර කොහොමටවත් එක එක වෙලාවෙදි වගාවට බහින්න එපා. එහෙම වුනාම රෝග හා පලිබෝධ හානි වැඩියි. ඒ නිසා ගොවිසංවිධානවලට වගකීමක් තියෙනවා කන්න රැස්වීම තියලා වපුරන දිනය නිශ්චිතවම තීරණය කරගෙන කුඹුරු වැඩ පටන් ගන්න.

කුඹුරු දෙපැත්තේ වනාත සුද්ද කරන්න අමතක කරන්න එපා. ඔය ගස් වල වැඩිපුර අතුවලින් හෙවණ වැටුනම ඒ අවට පරිසරය කොපු පණුවට ඉතාම හිතකර වෙනවා. ඒක නිසා කුඹුරේ දෙපැත්ත හොඳට ඉර එළියට නිරාවරණය වෙන්න දෙන්න.

බිම් සකසනකොට රොටරියෙන් විතරක් හාන්න එපා. ලේසියට ගොඩක් අය ඒ වැඩේ  කරනවා. වල්නාශක හිඟ වෙලාවේ මහන්සියයි, කුලියයි වැඩිවෙන්න පුළුවන්. හැබැයි තැටි නගුලෙන් හරි මෝල්බෝඩ් නගුලෙන් හරි කුඹුරු හෑවොත් වාසි ගොඩයි. ඊටපස්සේ පුළුවන් දෙවෙනි හීය රොටවේටරයෙන් කරන්න.

කුඹුරු හදනකොට නියර පළලට හදන්න. එතකොට නියරෙත් පුළුවන් එළවළු කිහිපයක් වවන්න. ඒකෙන් අමතර ආදායමකුත් ලැබෙනවා. කුඹුරේ ජෛව විවිධත්වයත් රැකෙනවා. හිතකර කෘමි සතුන්ගේ ගහනයත් වැඩිවෙනවා.

පළවෙනි සී සෑමෙන් පස්සේ ලියැද්දේ තැනින් තැන පිදුරු ගොඩවල් ගහන්න. ඒකට උඩින් කුකුළු පොහොර යොදන්න. කුකුළු පොහොර වල නයිට්‍රජන් යහමින් තියෙන නිසා පිදුරු දිරන එක ඉක්මන් වෙනවා. පිදුරු ලියැද්ද පුරා විසුරුවන්න එපා. එතකොට දෙවෙනි සී සෑමේදි ට්‍රැක්ටරය හසුරුවන එක අමාරුයි. පිදුරු පැටලෙනවා. දෙවෙනි සී සෑමට කලින් දිරපු නැති පිදුරු ටික නියරට ගන්න. නියර මත විසිරුවන්න. ඒක නියරට හොඳ වසුනක් වෙනවා. ඒ වගේම ඒක උඩ මකුළුවෝ බෝ වෙනවා.

පළවෙනි සී සැමෙන් පස්සේ ලියැද්ද පුරාම ග්ලිරිසීඩියා අතු විසුරුවන්න. ග්ලිරිසිඩීයා කියන්නේ හොඳ නයිට්‍රජන් ප්‍රභවයක්. කොළ ඉක්මනින් දිරනවා. දෙවන සී සෑමට කලින් නොදිරූ අතු අයින් කරන්න පුළුවන්.

වපුරන්න කලින් කරදහයියා යහමින් කුඹුරට යොදන්න. කරදහයියා හදාගන්න ගොවි සංවිධාන මට්ටමින් එකතුවෙන්න. ඒක අමාරු වැඩක් නෙමෙයි.

මේ පාර බිත්තර වී හිඟයි. පුළුවන් හැමෝම ශ්‍රමය තියෙනවා නම් පැළ හිටවන්න. පැරෂුට් වී තැටි තියෙනවා නම් අනිවාර්යයෙන්ම පැරෂුට් ක්‍රමයට පැළ වපුරන්න. බලවේග පැළ සිටුවන යන්ත්‍රය තියෙනවා නම් ඒක පාවිච්චි කරන්න. අඩුගානේ බීජ වප්කර භාවිතා කරලා බිත්තර වී ටික ඉතුරු කරගන්න බලන්න.

හොඳම බිත්තර වී ටිකක් හොයාගන්න. රැල්ලට කීරිසම්බා හදන්න එපා. දැන් සාමාන්‍යය වෙළෙඳපොළේ කීරිසම්බා වලට පාරිභෝගිකයන්ගේ ඉල්ලුම අඩුයි ඉහළ මිල නිසා. ඒ වගේම ඔබ සියලු හිතකර සාධක ප්‍රශස්තව දුන්නත් කීරිසම්බා වලට වඩා මාස 3 1/2න් ඉහළ අස්වනු දෙන ප්‍රභේද තියෙනවා. වතුර තියෙනවා නම් මාස 4 හෝ 4 1/2 ප්‍රභේද හදන්න. ඒවට ලෙඩත් අඩුයි , අස්වැන්නත් වැඩියි.

නිතර කුඹුරට යන්න. උදේ හවස ගිහින් බලන්න. නියරේ වගාව කරොත් හැමදාම අනිවාර්යයෙන්ම කුඹුරට යන්න වෙනවා. ඒකෙන් වාසිම විතරයි.

පලිබෝධ හානියක් දැකපු ගමන් පලිබෝධනාශක ගහන්න යන්න එපා. නිතර කුඹුරට යනවා නම් නියපොත්තෙන් අයින් කරන්න පුළුවන් දේ පොරවෙන් කපන්න වෙන්නේ නෑ. නිරීක්ෂණය තමයි වැදගත්.

මඩ පොහොර (TSP) නෑ කියලා උද්ඝෝෂණ කරන්න එපා. TSP නැතුව අපිට වගා කරන්න පුළුවන්. අපේ පසේ යහමින් පොස්පරස් තියෙනවා. අනෙක් අතට TSP තමයි ගාන වැඩිම පොහොර. මේ වෙලාවේ ඒක අපිට දරන්න පුළුවන් වියදමක් නෙමෙයි.

ට්‍රැක්ටරයට තෙල් නැතිවෙන්න පුළුවන්. පුළුවන් හැමෝම තමන්ගේ ශ්‍රමය අනෙකා වෙනුවෙන් දන් දෙන්න. එකිනෙකාට උදව් කරගන්න. ගොවිසංවිධාන වලට පුළුවන් ඒ හයිය දෙන්න.

කරුණාකර මේ යලේ වවමු ! අපි යළි නැගිටිමු !

-සංජන රවිඳු-

Social Sharing
නවතම විශේෂාංග