ආගමික ස්ථාන යොදා ඡන්ද ප්‍රචාරයේ යෙදීම “අයුතු බලපෑමක්” වේ – මැකෝගෙන් නිවේදනයක්!

සමස්ත බස්නාහිර පළාත ඇතුළු දිස්ත්‍රික්ක කිහිපයක ආගමික ස්ථාන යොදා ගනිමින් මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකිරීම සම්බන්ධයෙන් විශාල ලෙස පැමිණිලි ලැබී ඇති බව පවසන මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඒ ගැන පැමිණිලි කරන ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

“විශේෂයෙන්ම කොළඹ,ගම්පහ, කලුතර, හම්බන්තොට හා අම්පාර යන දිස්ත්‍රික්කවලින් ආගමික ස්ථාන යොදා ගනිමින් ප්‍රචාරක කටයුතු සිදුකිරීම පිළිබද පැමිණිලි විශාල වශයෙන් ලැබී ඇති අතර ඒ පිළිබදව පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතී.”

“ආගමික ස්ථානවල සිදුකරන මැතිවරණ ප්‍රචාරණ කටයුතු” මැයෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රියගේ අත්සනින් යුතුව නිකුත් කර තිබෙන නිවේදනයක් මගින් පෙන්වා දී ඇත්තේ 1981 අංක 1 දරන පාර්ලිමේන්තු මැතිවරණ පනතේ 79 වන වගන්තිය යටතේ ආගමික ස්ථානයක සිදු කරන ප්‍රචාරක කටයුත්තක් හෝ ආගමික රැස්වීමකදී පක්ෂ, කණ්ඩායම්, අපේක්ෂක ප්‍රවර්ධනය වන ආකාරයෙන් හෝ අගතියට පත් වන ආකාරයේ අදහස් ප්‍රකාශ කිරීම “අයුතු බලපෑමක්” වන බවයි.

එය දඩුවම් ලැබිය හැකි වරදක් බව මහින්ද දේශප්‍රිය සභාපතිවරයා වැඩි දුරටත් අවධාරණය කරයි.

ඡන්ද විමසීමේ කාලසීමාවක් තුළ පක්ෂ, කණ්ඩායම්, අපේක්ෂක ප්‍රවර්ධන කටයුතු  සදහා ආගමික ස්ථාන යොදා ගැනීමට ඉඩ නොදීමට කාරුණික වන ලෙසත් පක්ෂ, කණ්ඩායම්, අපේක්ෂක  අගතියට පත් වන ආකාරයේ කටයුතු කිරීමෙන් වැලකී සිටින ලෙසත් මැතිවරණ කොමිෂන් සභාව භික්ෂුන් වහන්සේලාගෙන් සහ සියලුම  ආගමික පුජකවරුන්ගෙන් ඉල්ලා සිටී.

එමෙන්ම ආගමික ස්ථාන වල පක්ෂ, කණ්ඩායම්, අපේක්ෂක ප්‍රවර්ධන රැස්වීම් හා අගතියට හේතු වන අදහස් දැක්වීම් ඇතුලු කිසිදු කාර්යයක් සිදු කිරීමට ඉඩ ලබා නොදෙන ලෙසත් සියලු දේශපාලන පක්ෂ හා කණ්ඩායම් වල වගකිවයුත්තන් ගෙන් මැතිවරණ කොමිෂන් සභාවේ සභාපතිවරයා ඉල්ලා තිබේ.

යම් හෙයකින් ඉහතින් දක්වා ඇති ආකාරයේ යම් පක්ෂ, කණ්ඩායම්, අපේක්ෂක ප්‍රවර්ධනය හෝ අගතියට පත් කිරීම් සිදුවේනම් ඒ පිළිබදව ළගම ඇති පොලිස් ස්ථානයට, දිස්ත්‍රික් මැතිවරණ පැමිණිලි කළමනාකරණ ඒකකයට හෝ මැතිවරණ කොමිෂන් සභාවේ පිහිටුවා ඇති ජාතික මැතිවරණ පැමිණිලි කළමණාකරණ මධ්‍යස්ථානයට දන්වන ලෙස සියලුම පුරවැසියන්ගෙන් මැතිවරණ කොමිෂන් සභාව වැඩි දුරටත්  ඉල්ලා සිටී.

Social Sharing
නවතම