මහින්ද අංකල්ට මොහාන් රාජ් ගෙන් ලිපියක්…!

ආදරණීය මහින්ද අංකල් වෙත ලියමි..

ඔබට මේ ලිපිය ලියන්නේ ඔබේ ගෞරවණීය නම අවභාවිත කරමින්, අද මැයි පළමුවැනිදා කිසිවෙකු විසින් මැයි පණිවිඩයක් නිකුත්කර ඇති නිසාය.

අවංක බෞද්ධයෙකු වන ඔබ,

එවැන්නක් නිකුත් නොකළ බව මට හොඳටම විශ්වාසය.

නැතිනම්, ඔබේ නිල නිවස ඉදිරිපිට සාමකාමී ලෙස උද්ඝෝෂණය කරන කම්කරු ජනතාවට පොලීසිය පහර දෙද්දී, මෙවැනි මැයි පණිවිඩයක් ඔබ නම් නිකුත් නොකරන බව මට විශ්වාසය. මොකද, ඔබ හරි අවංක බෞද්ධයෙකු බව ඔබම, ඔබ ගැන බොහෝ වර කියා ඇති නිසාය.

ඒ නිසා කරුණාකර ඔබේ නමින් මැයි පණිවිඩ යැයි කියා, අර බොරු ලියා ඇති මිනිහා කව්දැයි සොයා බලන්න.

එය ඔබේ අවංක බෞද්ධකමට හොද නැත.

ආදරණීය Mahinda අංකල්.,

මේ ගමන් ඔබ නොදන්නා තවත් යමක් කිවයුතුව තිබේ.

එයට හේතුව ඔබ මේ දවස්‌වල මේ රටේ සිද්ධ වෙන දේවල් ගැන ඒ තරම් දෙයක් නොදන්නා බව මට තේරෙන නිසාය.  එක අතකට එය සාධාරණය.

ආදරණීය සීයා කෙනෙකු ලෙස ඔබේ මුණුබුරන්ගේ දරු සුරතල් බැලීමට කාලය මිඩංගු කරද්දී, මෙලෝ මළ වැදගත්කමක් නැති රටේ සිද්ධ වෙන දේවල් ගැන හොයන්නට ඔබට වෙලාවක් නැති බව ඇත්තය.

නමුත් මා දන්නා තරමින්, ඔබ තරම් අවංක බෞද්ධයෙකු, මා මේ මිහිපිට දැක නැත.

ඔබ තරම් මහා සංඝරත්නයට ගෞරව කළ මිනිහෙකු, මා කොතනකවත් දැක නැත.

එබැවින්, ඔබ නිතර බැහැ දැකීමට යන මල්වතු හා අස්ගිරි නාහිමිවරුන් ඔබට අගමැතිකමෙන් ඉවත් වන්නට කියා ඇති බව ඔබ නොදන්නා බව මට සහතිකය.

එසේම ඔබ ඉවත්විය යුතු යැයි, මේ රටේ සංඝරත්නය සංඝ සම්මුතියක් සම්මත කර ගත් බවද ඔබ නොදන්නා බව මට සහතිකය.

නිකමටවත් ඔබ එය දන්නවා නම්,

“අනේ අපෙ හාන්දුරුවනේ, මං අයින් වෙන්නම්” යැයි කියා ඔබ එක තත්පරෙන් ඔය අගමැතිකම අතහැර යන බව මට විශ්වාසය.

කවුරු මොනා කිව්වත්

අවංක බෞද්ධයෙකු වන ඔබට,

මිළ මුදල් – තාන්න මාන්න සියල්ල අලුයම ලූ කෙළ පිඩක් මෙන් ‘තූ’ කියා විසි කළ හැකි බව, මට නම් විශ්වාසය.

ඒ නිසා වෙලාවක් තිබුනොත්, දරු සුරතල් බැලීමට බාධා නොකරන ඔබේ ආරක්ෂක නිලධාරීන්ගෙන් එය විමසා බලන්න. Namal පුතාගෙන් හා චිචී ( Rohitha ) පුතාගෙන් එය ආරංචි කර බලන්න.

ඔබට යහපතක්ම වේවා!

 

මෙයට,

හිතවත්

මොහාන් රාජ් මඩවල..

පසුව ලියමි.

ඔබේ නිල නිවසේ සිට මුළු රටටම ඇහෙන්නට ප්‍රචාරය කරන අර පිරිත් සජ්ජායනාව

එතැනින් යන අතර ශ්‍රවනය කළෙමි.

එය හරිම හැගීම්බරයි.

ඔබේ බෞද්ධකම ගැන, නැවත නැවතත්

මං පුදුම තරම් ආඩම්බරයි..

Social Sharing
නවතම විශේෂාංග