අන්තර්වාර ආණ්ඩුවක් ඕනෑ ඇයි?

ඩලස්-විමල්-වාසු-ගම්මන්පිළ සුසංයෝගය නිසා මේවනවිට අන්තර්වාර ආණ්ඩුව කියන වචනයද දූෂණය වී ඇත. දැන් මිනිසුන් පිහිටුවන්නට යෝජිත මේ ආණ්ඩුව දිහා බලන්නේ මේ හතරකට්ටුව දිහා බලන පිළිකුලෙන් මය.

මේ නිසා අන්තර්වාර ආණ්ඩුව යන්න රාජපක්ෂ කෙමනක් බව, ප්‍රෝඩාවක් බව, ව්‍යාජයක් බව බොහෝ දෙනෙක් පවසති. මෙහි සත්‍යතාවක් පවතී. ඒ සත්‍ය පවතින්නේ පොහොට්ටුව මුල්වී මෙම පාලනය බිහිකරන තුරු පමණි. අප එය තේරුන් ගත යුතුය.

එනිසා විපක්ෂ ප්‍රජාව ඉහත හතරකට්ටුව දඟදාන පාලනයක් බිහිකිරීම වැළැක්වීමට සෑම දෙයක්ම කළ යුතු අතරම ඊට සමාන්තරව අප හිතන පතන පන්නයේ පාලනයක් බිහිකර ගැනීම සඳහා අරගලය තීවුර කළ යුතුය.

ඒ සඳහා අප සිතන වර්ගයේ පාලනය කුමක් ද අපම කල්පනා කළ යුතුය. අපම ඒ ගැන වාදවිවාද සංවාද කළ යුතුය. මේ මගේ හිතේ තිබෙන අන්තර්වාර ආණ්ඩුව කළ යුතු දේවල් ය.

මා අන්තර්වාර ආණ්ඩුවක් ඉල්ලා සිටින්නේ මෙම ප්‍රතිසංස්කරණ දිනාගන්නට මීටවඩා හොඳ කාලයක් තවත් නැති නිසාය. ආයේ අනාගතයේ මෙවැනි කාලයක් උදා නොවෙන නිසාය.

විපක්ෂය (සජබ/ජාජාබ/ටීඑන්ඒ) මුල් වුණ ඔවුන් වැඩි වඟකීමක් දරණ ආණ්ඩුවක් අන්තර්කාලීන ආණ්ඩුවක් ලෙස පිහිටුවිය යුතු බව මගේ අදහසයි. එහි පොහොට්ටුවේ යම් යම් පිරිස් නියෝජනය කළාට කම් නැත. එහෙත් සාපේක්ෂව ගත්විට දූෂිතයන් අවම ආණ්ඩුවක් නිර්මානය කර ගත යුතුය.

මේ අන්තර් කාලීන ආණ්ඩුවේ ඇමති මණ්ඩලය 12ක් නොඉක්මිය යුතුය. නියෝජ්‍ය අමාත්‍යවරුන්ද 12ක් සිටියාට කම් නැත. මුදල් අමාත්‍ය ධුරය, විදේශ කටයුතු අමාත්‍ය ධුරය, කර්මාන්ත හා ආයෝජන, වෙළඳ, රාජ්‍ය පරිපාලන, නීතිය හා සාමය, අධිකරණය වැනි විෂයන් ඊට සුදුසුම අයවලුන්ට දිය යුතුය. (උදා: මුදල් අමාත්‍ය ධුරය : හර්ෂ ද සිල්වා, නීතිය හා සාමය : සරත් ෆොන්සේකා)

මෙම ආණ්ඩුව පත්වූ විගස මුලින්ම කළ යුතු වන්නේ නීති අණපනත් සම්මතයක් මගින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ සියලු මන්ත්‍රී වරප්‍රසාද වරදාන ඉවත් කිරීමය. එයට වාහන බලපත්‍රයේ සිට පාර්ලිමේන්තු කෑම වේල දක්වා දේවල් අන්තර්ගත විය යුතුය. පාර්ලිමේන්තු මන්ත්‍රී ධුරය සාමාන්‍ය රැකියාවක් බවට පත් කළ යුතුය. ඒ හරහා ජනතා නියෝජිතයන් ජනතාවගේ විශ්වාසය දිනාගත යුතුය.

ඊළඟට විධායක ශ්‍රේණිවල රැකියාව කරන රාජ්‍ය සේවකයන්ගේ වරප්‍රසාද වරදාන ඉවත් කළ යුතුය. ගමන මෙතනින් ආරම්භ කළ යුතුය.

ඉන්පසුව IMF සාකච්ඡා සමග රටේ ආර්ථිකය නැවත ගොඩනැඟීම සඳහා තිරසර වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුය. එහිදී රාජ්‍ය සේවක කප්පාදුවේ සිට පාඩු ලබන රාජ්‍ය ආයතන ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ දක්වා සියල්ල ඉතා ඉක්මනින් කළ යුතුය.

මෙම ආර්ථික වැඩපිළිවෙලට සමගාමීව දුප්පතුන් නඟාසිටුවීම සඳහා සහ ඔවුන් අපනයන ආර්ථිකයක්, කර්මාන්ත ආර්ථිකයක් තුළට උරාගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙල සකස් කළ යුතුය. එය ඉක්මනින් ක්‍රියාත්මක කළ යුතුය.

වෙළඳ ප්‍රජාව සාදාචාර සම්පන්න වෙළඳාමකට බැඳ දැමිය යුතුය. ගුණාත්මක සහ සාධාරණ වෙළඳාමක් මුදල් උපයාගැනීමක් පිළිබඳ වටපිටාවක් නිර්මානය කළ යුතුය. මහජනයාගේ මුදල්වලින් වංගු ගසා කරන ව්‍යාපාර ගැන සැලකිලිමත් විය යුතුය. ඒ සැලකිලිමත්භාවය උදෙසා නීති අණපනත් සම්පාදනය කළ යුතුය.

දේශපාලකයන් වාගේම ඉක්මන් සල්ලිකාරයන් වී සිටින ව්‍යාපාරිකයන්ද විගණනයට යටත් කළ යුතුය.

සල්ලිකාරයන්ගෙන් අයකරගන්නා සෘජු බදු වැඩි කළ යුතුය. ඒ සඳහා දියුණු බදු ප්‍රතිපත්තියක් හඳුන්වා දිය යුතුය. ධනවතුන්ගේ දරුවන්ට උසස් පාසල්වල දී අධ්‍යාපනය සඳහා යම් සාධාරණ මුදලක් අයකරගෙන, එයින් දුප්පතුන්ගේ දරුවන්ගේ අධ්‍යාපනය දියුණු කිරීම සඳහා යෙදවිය යුතුය.

මෙම අත්‍යාවශ්‍ය ආර්ථික ප්‍රතිසංස්කරණවලට පසුව රට ගොඩනඟන්නට පුලුවන් ව්‍යවස්ථාවක් වහාම සම්මත කරගත යුතුය.

එහිදී විධායකය අහෝසිකර රටට උචිත ආණ්ඩු ක්‍රමයක් සම්මත කරගැනීම සඳහා කල්පනා කළ යුතුය. ඒ සඳහා මෙම ආණ්ඩුවට නායකත්වය ගත හැකිය.

රටට ගැළපෙන ආසනයකට මන්ත්‍රීවරයෙක් ලැබෙන මැතිවරණ ක්‍රමයක් නිර්මානය කර ගත යුතුය. එහිදී පත්වෙන මන්ත්‍රීවරයා එම ප්‍රදේශයේ ජනතා අභිලාෂයන් නියෝජනය නොකරන්නේ නම් ඔහුව නැවත කැඳවා වෙනත් කෙනෙක් පත් කිරීම පිළිබඳව ප්‍රතිපාදන එම ක්‍රමයට ඇතුලත් කළ යුතුය.

පසුගිය කාලයේ සිදුවුණා යැයි කියන මුදල් වංචාවන්, අයතා උපයාගැනීම්, මනුෂ්‍ය ඝාතන, පැහැරගැනීමේ සිදුවීම් ආදිය පිළිබඳව නැවත විදිමත් සහ අපක්ෂපාත පරීක්ෂණ සහ අධිකරණ ක්‍රියාවලියක් ආරම්භ කිරීම සඳහා මෙම අන්තර්කාලීන ආණ්ඩුවය නායකත්වය ගත හැක. ඒ සඳහා මග පෙන්වීම කළ හැකිය. එමගින් නීතියේ පාලනය පිළිබඳ ජනතා විශ්වාසය නැවත ජනතාව තුළ ඇති කළ යුතුය.

මිනිස්සු නැඟිටලා තමන්ට හිමි අයිතීන් ඉල්ලා සටන් කරන මේ කාලේ තරම් සමාජ දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ කරන්න තවත් කාලයක් තියෙන්න විදිහක් නැති බව අප තේරුන් ගත යුතුය. මට හිතෙන්නේ ඒ සඳහා සුදුසුම ආණ්ඩුකරණ ව්‍යුහය අන්තර්කාලීන ආණ්ඩුව බවය. මේක සංකාන්තික කාලයක්. එහෙම තැනක දී පවත්නා ආණ්ඩුවේ වගකීම තමයි වඩා යහපත් වටපිටාවක් නිර්මානය කිරීම. අනෙක් පැත්තෙන් පවත්නා අර්බුදයෙන් රට ක්ෂණිකව මුදවා ගැනීම. ඒ මෙහෙයුම කරනකොට එන අභියෝග සාර්ථකව ජය ගැනීම.

මේ තත්ත්වයන් සමග මම නම් හිතන්නේ මේ අවස්ථාවේ සුදුසුම විසඳුම අන්තර්කාලීන ආණ්ඩුවක් බවය. එහෙත් එය පොහොට්ටු නායකත්වයෙන් දුවන එකක් වෙන්න කොහොමත්ම බැරිබව කිවයුතුය..!

 

කේ. සංජීව

Social Sharing
නවතම විශේෂාංග